විශේෂාංග

සබරගමු මහනිලමෙට කේලම් කියන අලි

ඉඳහිට ප්‍රචණ්ඩ ලෙස හැසිරුණ ද, හීලෑකර ගත් විට ‘අලි-ඇතුන්’ වූ කලී බොහොම සෙල්ලක්කාර හුරුබුහුටි සත්ව කොට්ඨාසයකි. හීලෑ අලින් ඇතිදැඩි කරන ඇතැම් ප්‍රභූ නිවෙස්වල කුඩා අලි පොව්වන්ගේ හුරතලය ගැන කතා එමට අසන්නට ලැබේ.

කලකට ඉහත රත්නපුර ප්‍රදේශයේ එක්තරා වලව්වක, හීලෑ අලි ඇතුන් 16 දෙනෙක් පමණ උන්හ. උන්ගෙන් වැඩිහිටි සතුන් ‘ගෙදර’ එන්නේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයට විතර ය. අනෙක් කාලයට උන් සිටින්නේ, දුරබැහැර පිහිටි කොටන් අදින වැඩපොළවල්වල ය. එසේ වුව ද, අලුත් අවුරුද්ද එළඹෙන්නට පෙරාතුව උන් සියල්ලන් ම වලව්වට රැගෙන ආ යුතු ය යන්න, වලව්ව හිමි ‘නිලමේවරයාගේ’ නියෝගයයි. එබැවින් වලව්වේ ‘අලි බාස් උන්නැහේලා’ අවුරුද්දට උන් දක්කා ගෙන රත්නපුරයට ඒමට අමතක නො කරති. ඉන් පසුව උන් සුවිසල් වලව් වත්තේ ගස් බඳිනු ලැබේ.

කොයි හැටි වෙතත්, මේ වලව්වේ අලි ඇතුන් තම හාම්පුතා වන ‘නිලමේවරයාට’ කේලාම් කීමට උපන් හපන්නු ය. එය සිදු වන්නේ මෙසේ ය.

අලි බාස් උන්නැහේලා කොතෙක් හොඳ අය වුව ද, නිලමේට ඔවුන් ගැන ලොකු විශ්වාසයක් නැත. දුර බැහැර වැඩපොළවල්වල වැඩ ගැනීමේ දී ඔවුන් තම අලි ඇතුන්ට නොයෙක් හිරිහැර කරන බව නිලමේ දනී. එබැවින් අලුත් අවුරුද්දට වලව්වට එන අලින්ගේ සිරුරු පරීක්ෂා කිරීම නිලමේගේ සිරිතයි. උන්ගේ කර පෙදෙස සහ පාද ආදී විවිධ ස්ථාන එහි දී නිරික්ෂණයට ලක් වෙයි. ඕනෑවට වඩා හෙණ්ඩු පාරවල් ඇන කකුල් කැපෙන තුරු දම්වැල් බඳිමින් උන්ට රිදවා තිබීම නිලමේට රුස්සන්නේ නැත. ඇතැම් විට තුවාල බහුල සතුන් බලා කියා ගත් අලි බාස් උන්නැහේලාට, අලුත් අවුරුද්දේ ම රස්සාව ද අහිමි වන තැනට වැඩ සිදුවන අවස්ථා ගැන ද අසන්නට ලැබේ.

අවුරුද්දට වලව්වට එන අලි ඇතුන් ද නිලමේගේ සුරතලයට ලක්වන්නට කැමැත්තෝ ය. උන්ගේ කැමැත්ත, නිලමේ උන්ට කන්නට දෙන කෙසෙල් ඇවරිය, අන්නාසි ගෙඩිය හෝ වී කුල්ල නිසාම නොවේ. උන් පැටි වියෙහි පටන් ම, නිලමේගේ ඇසුරෙහි දැවටි දැවටී හැදී වැඩී තිබීම නිසා ය. කැලෑ වැඩ පොළවල්වල දී තුවාල ලැබූ ඇතැම් අලි, නිලමේ දකින විට ම, ‘ගුඩු ගුඩු’ හඬ නංවති. එය, ‘ගතු කීමක්’ බව නිලමේ දනියි. ඉන් පසුව නිලමේ උන්ගේ සිරුරු පිරික්සා බලයි. වලව්වේ අලි බාස් උන්නැහේලා මේ ’ගුඩු ගුඩුවට’ බෙහොම බය ය. ඒ, ඇතැම් විට එයින් රස්සාව වුව ද නැති වෙන්නට ඉඩ ඇති නිසා ය.

වලව්වේ හැදෙන අලි පැටවුන් කුඩා කාලයේ දී මහත් ‘හුරතලයෝ’ ය. උන් වලව්ව ඇතුළේ ද, කාමරවල ද ඔබ මොබ දුවති. වලව්වේ ඇත්තන් ගෙන් එයට කිසි තහනමක් නැත. වලව් මුළුතැන් ගෙයට පවා වැදී, හැළි වලං ආදිය පෙරළමින් සෙල්ලම් කිරීම උන්ගේ සිරිතයි. ඒ අතර තුර, බෙටි දැමීම හෝ මුත්‍රා කිරීම් ද සිදු වෙයි. වලව්වේ සේවකකාරකාදීහු, උන්ගේ නම් කියා හුරතලයට බණිමින් ඒවා ඉවසන්නෝ ය. වලව්ව පුරා දඟලන අතරවාරයේ යම් යම් පැණිරස කෑම ජාති ද උන්ට ලැබේ. කෙසේ වෙතත්, වලව්වේ ඇත්තන්ට අලි හුරතලය භුක්ති විඳින්නට ලැබෙන්නේ වසරක් හමාරක් පමණ ය. අලි පැටවුන් ලොකු මහත්වී, වලව්වේ දොරවල්වලින් රිංගන්නට බැරි තත්ත්වයට පත් වුණු විට, ගේ ඇතුළේ හුරතලය හමාර වේ. ඉන් පසුව උන්ගේ ගැටවර විය දිග හැරෙන්නේ වලව් වත්ත ඇතුළේ හෝ වලව් මිදුලේ ය. වලව්ව ඇතුළේ හුරතලයට හැදුණු ඇතැම් අලි පොව්වන්, ලොකු මහත් වුණු පසුව ද සිය සෙල්ලක්කාරකම් අත් නො හරින්නෝ ය. වරක් එක්තරා හුරතල් ඇතින්නක් වන වදුලක සැඟවී සිට, එක්වර ම පාරේ යන එන අයගේ ඉස්සරහට පනින්නට පුරුදුව සිටියා ය.

ඇය කරන්නේ පහර දීමක් නොව, පාරේ යන අය බය කිරීමයි. වලව්ව අහල පහල අය ඌ ගැන දන්නා නිසා ‘මොන යස්සණියක් ද’ කියා ඌ මගහැර යන්නට පුරුදුව සිටියහ. එහෙත් දිනක් එළවළු වෙළෙන්දියක් ඇතින්නියගේ කොලොප්පමට බය බිරාන්ත වී ඇළකට ද ඇද වැටුණා ය. ඇය බැණ බැණ ගියේ, ‘මේකිට මොන මදනයා ගහලා ද මන්දා’ යයි කියමිනි.

ඇසළ පෙරහැර සමයට එන සමහර අලි ඇතුන් ද හොඳ කොලොප්පම්කාරයෝ ය. වරක් සබරගමු මහ සමන් දේවාල පෙරහැරේ ගිය අලියෙක් දෙපැත්තට වැනෙමින් ‘නටනු’ දැකිය හැකි විය. තවත් පෙරහැරක ගිය ඇතින්නක්, තමන් ඉදිරිපසින් රැඟුම් පාන ‘ලී කෙළි’ ශිල්පිනියන්ගේ කොණ්ඩ කරල් සුරතලයට ඇල්ලීම නිසා මහත් කලබලයක් ඇති විය.

වර්තමානයේ හීලැ අලි පැටවුන් හිඟ ය. එහෙත් එය ‘උඩ වලවේ ඇත් අතුරු සෙවණට’ හෝ පින්නවල අලි අනාථාගාරයට නම් බලපාන්නේ නැත. ඒවායෙහි නිතර ම පාහේ ඇලි පැටවුන් සිටීම, ඊට හේතුව ය. ඇත් අතුරු සෙවණෙහි සිඟිති අලි පැටවුන්ට ‘කිරි’ දෙන්නේ බෝතලයකට රබර් බටයක් සවිකර සකස් කළ සූප්පුවකිනි. එහි පැටවුන්ට වේලකට නියමිත කිරි ප්‍රමාණය තීරණය කරන්නේ, එහි සේවය කරන වනජීවී පශු වෛද්‍යවරයා ය. එය පැටවාගේ ශරීර පෝෂණයේ තත්ත්වය අනුව තීරණය වන කාරණයකි. නියමිත ප්‍රමාණයෙන් ඔබ්බට කිරි දෙන්නේ නැත. එහෙත් සිඟිති අලි පැටවුන් තවත් කිරි ඉල්ලමින් රබර් බටය අත් නො හැර ම බලා සිටිති. තවත් සමහරු කිරි ගෙන එන සේවකයන් පසුපස්සේ ද යති.

උඩවලවේ ඇත් අතුරු සෙවණෙහි ඇති දැඩි කරන්නේ වනයෙහි අතරමං වුණු අලි පැටවුන් ය. උන් ලොකු මහත්කර යළිත් වනයට මුදා හැරීම, එහි තේමාවයි. තෝරා ගත් ගැටවර අලින් වනයට මුදා හරින අවස්ථාව, ඇත් අතුරු සෙවණට බොහොම සංවේදී අවස්ථාවකි.

එදා උදෙන් ම කෙරෙන්නේ, උන් අල්ලා කැලෑ ගමනට සූදානම් කිරීමයි. එහි මූලික පියවරක් වන්නේ, ‘වන අලි බෙටි’ වතුරේ දියකර උන්ගේ සිරුරු ඒවායින් නැහැවීමයි. වනජීවී නිලධාරීන් එසේ කරන්නේ විශේෂ හේතුවක් නිසා ය. ඇත් අතුරු සෙවණෙහි අලි පැටවුන් හදා වඩන්නේ එහි සේවකයින් විසින් බොහොම ආදරයෙන් රැක බලා ගනිමිනි. එහි දී උන් නිතරම අත-පත ගෑමට ද සිදු වේ. එබැවින් උන්ගේ සිරුරෙහි ‘මිනිස් ගඳ (කුයිලය)’ තැවරී තිබෙන්නේ ය. වන අලි ‘මිනිස් කුයිලය’ ප්‍රිය නො කරති. වනයට එන යම් අලි පොව්වෙක් මිනිස් ඇසුරෙහි හැදුණු වැඩුණු එකෙකු බවට දැනුණ හොත් වන අලි රංචු උන් ප්‍රතික්ෂේප කරති. වනයට යවන අලි පැටවුන් ‘අලි බෙටි දියරෙන්’ නැහැ වීම, වනජීවී නිලධාරීන් එයින් මිදෙන්නට කරන උප්පරවැට්ටියයි. අලි බෙටි නැහැ වීම නිසා පැටවුන්ගේ ‘මිනිස් කුයිලය’, වනයේ අලින්ට දැනෙන්නේ නැත. වරක් ලියුම්කරු, උඩවලවේ අලි පැටවුන් පිරිසක් වනයට මුදා හරින අවස්ථාවක මාධ්‍ය ආවරණය සඳහා සහභාගි විය. එහි යන විටත්, වනයට ගෙන යන අලි පැටවුන් කණ්ඩායම, විසල් ට්‍රක් රථවලට ද නංවා තිබිණි. උන් පිටත්කර යැවීමට තවත් කල් වේලා තිබුණු බැවින්, මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් ඇත් අතුරු සෙවණ අසලට ගොස් සිඟිති අලි පැටවුන්ගේ සුරතල් නරඹන්නට වූහ.

මේ අතර උන් හිටි ගමන් එක් අලි සිඟිත්තෙක් ගේට්ටුවෙන් පැන මාධ්‍යවේදීන් සිටින තැනට දිව ආවේ ය. පැටවා උගේ සිඟිති හොඬයෙන් මාධ්‍යවේදීන්ගේ අත් අදිමින්, කකුල් ඔතා ගනිමින් සෙල්ලමට වැටුණේ ය. ඌ පලවා හරින්නට ද බැරි විය. මාධ්‍යවේදීන් මදක් ඈතට ගිය ද අලි සිඟිත්තා එතැනට ද පැමිණියේ ය.
මේ අතර එක් ඡායාරූප ශිල්පියෙකුට ‘සුළු දිය කිසක්’ ඇති විය. අසල ගසකට මුවා වුණු ඔහු, කැමරා බෑගය ද කරේ එල්ලා ගෙන සිය කාරියෙහි යෙදී සිටියේ ය. අනෙක් කරේ එල්ලා ගෙන සිටියේ පින්තූර ගන්නට සූදානම් කෙරුණු කැමරාවයි.

ඒ අල්ලපනල්ලේ අලි පැටියා ඔහු වෙත දුවමින් හොඬය දිගුකර කැමරා බෑගයේ පටිය අල්ලා ගත්තේ ය. ටික වේලාවකින් එය අත හැර කැමරාවේ ‘ලෙන්සය’ අල්ලා ගත්තේ ය. ඡායාරූප ශිල්පියාට කර කියා ගන්නට දෙයක් නැති විය. ඔහු අලි පොව්වාගේ ග්‍රහණයෙන් ගැලවුණේ අසීරුවෙනි.

පෘතුගීසීන් ලංකාවට එන්නට පෙරාතුව උඩරට රජවරුන්ගේ එක් වරායක් වූයේ ගාල්ලයි. එකල නාවික වෙළෙඳාම්වල යෙදී සිටියේ අරාබි ජාතිකයන් ය. එකල අලි ඇතුන් ද එතෙර යැවුණේ ගාල්ලෙනි. පසුව ලන්දේසි පාලන සමයෙහි අලි ඇතුන් සහ ඇත් දළ ආදිය පිටරට යැවීම, විශාල වෙළෙඳාමක් විය. රට ඇතුළතින් අල්ලා ගන්නා අලි ඇතුන්, පිටරට යවන ලද්දේ ගාලු වරායෙනි.

ගාලු උරුමය පදනමේ ව්‍යාපෘති නිලධාරී, තරංග ලියනාරච්චි මහතා පවසන අන්දමට, එකල රට ඇතුළතින් අල්ලා ගන්නා වල් අලි, නැව් එන තුරු ගාල්කර තිබී ඇත්තේ මාතර ලන්දේසි බළකොටුවේ ය. එහි අලි නාවන්නට දිය වළවල් පවා සකසා තිබිණි. ගාලු වරායට ‘අලි නැව්’ පැමිණි බවට ආරංචිය ලැබුණු විට, ලන්දේසීහු මාතර කොටුවේ රඳවා සිටි අලි පා ගමනින් ම ගාල්ල වරායට දක්කා ගෙන පැමිණියහ.

‘ඔය කාලේ අලියෙක් නැවට නංවා ගන්න බොහොම මහන්සි වෙන්න වුණා. මුලින් ම අලියා ජැටියට පිවිසවා ගන්න වෙනවා. ඉන් පසුව ඌ බත්තලට නග්ගා ගන්න වෙනවා. ඊට පස්සේ බත්තල නැවට පදවලා, අලියා නැවට නග්ගනවා. මේක ටිකක් අසීරු වැඩක්.

හුඟක් අලි ජැටියට නගින්නේ නෑ. ඉතින් එයාලා කොළ අතු දාලා ජැටිය කැලයක් වගේ හදනවා. බත්තලටත් එහෙම කරනවා. ඊට පස්සේ තමයි අලියා නග්ගවා ගන්නේ. එක බත්තලකට එක අලියයි. ඒ කාලේ නැව් විශාල ඒවා නෙවෙයි. ඉතින් එක නැවකට දාන්නේ එක අලියයි. උන් ගාල්ලෙන් ගෙන යන්නේ ඉන්දුනීසියාවේ බතාවිය යුද නගරයටයි. උන් එතැනින් යුරෝපයට අලෙවි කෙරුණු බව, පැරණි ලේඛනවල දැක්වෙනවා’, තරංග ලියනාරච්චි මහතා කියන්නේ ය.

ලන්දේසීන්ගේ අලි හුරතලයත් නරක ම නැත!

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර