brand logo
logo

සන්නාසි බිල්ලන්ගේ පරපුරේ ගම් දෙකක් ගණේමුල්ලේ

11 February 2019

කෑම නොකන සහ දඟකාරකම් කරන කුඩා දරුවන් තම ඔලොගුවල බහා රැගෙන යන ‘‘සන්නාසි බිල්ලන්’’ පිළිබඳව අපි කුඩා කාලයේදී ඕනෑතරම් අසා ඇත්තෙමු. එමෙන්ම ඔලොගුවක් කරේ එල්ලා ගෙන ගමින් ගමට ඇවිද යන අතරේ අම්බලම්වල රැය පහන් කළ ආඬි මිනිසුන් පිළිබඳ කතාපුවත්ද අප ජන සමාජයේ කොතෙකුත් තිබේ. එහෙත් මෙලෙස කුඩා දරුවන් පැහැරගෙන යන බව පැවසෙන සන්නාසීන් සහ අම්බලම්වල රැය පහන් කළ ආඬින් යනු එකම ජන කොටසක්ද? ඔවුන් කුමන අරමුණක් පෙරදැරිව කවර කලෙක කවර දෙසකින් අප ජන සමාජයට පිවිසියේද යන්න පිළිබඳව අදටත් බොහෝ දෙනෙක් නොදනිති. එමෙන්ම එලෙස පැමිණි සන්නාසීන්ට සහ ආඬින්ට ඉන්පසු කුමක්වීද යන්න පිළිබඳව ද බොහෝ දෙනකු නොදන්නා බව නිසැකය. කෙසේ හෝ අතීතයේ කවර හෝ අවදියක අප ශ්‍රී ලාංකීය සිංහල සමාජයට කිනම් හෝ බලපෑමක් කළ එම සන්නාසීන්ගේ සහ ආඬින්ගේ පරපුරෙන් පැවැත එන ජනතාවක් වෙසෙන ගම්මාන දෙකක් තිබ්බටුගොඩ සහ හොරගොල්ල නමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ගණේමුල්ල ආශ්‍රිතව තවමත් තිබෙන බව ඔබට විශ්වාස කළ හැකිද? නමුදු ඒ පිළිබඳ වැඩි විස්තර කීමට පෙර මෙම සන්නාසීන් සහ ආඬින් පිළිබඳව කෙටියෙන් හෝ හැඳින්වීමක් කළ යුතුය. සාමාන්‍ය ව්‍යවහාරයේදී සන්නාසි නමින් හැඳින්වුවද එම වදනේ නියම උච්චාරණය වනුයේ ‘සන්‍යාසී’ යන්නය. සංස්කෘත භාෂාවෙහි මෙය සම්න්‍යාසී යනුවෙන් වර නැගෙයි. මෙම වදනෙහි අරුත ‘සම්’ හෙවත් සියල්ල ‘න්‍යාස’ හෙවත් නැසීම යන්නය. මෙහි සියල්ල යනු හටගත් සියලු දේ යන්නය. සංස්කෘත භාෂාවෙහි සම්ස්කාර යනුවෙන් දැක්වෙන මෙය පාලි භාෂාවෙහි වර නැගෙනුයේ අප කවුරුත් දන්නා ‘සංඛාර’ යන වදන ලෙසිනි. යමකු මෙසේ සියල්ල නසා දැමීමෙන් මෝහය දුරුවන බව පෙරදිග ආගමික දර්ශනයන්හි විස්තර කෙරේ. මෙලෙස මෝහය ක්ෂය වීමෙන් ලබා ගත හැකි පරම සුවය නම් මෝක්ෂයයි. බුදු දහමට අනුව මෙය විස්තර කෙරෙනුයේ නිර්වාණය යනුවෙනි. භාරතීය හින්දු ආගමික සංස්කෘතික ධාරාවේ මුල් තැනක් ගනු ලබන වර්ණාශ්‍රම ධර්මවලට අනුව මිනිස් ජීවිතය කොටස් හතරකට බෙදෙයි. එනම් බ්‍රහ්මචාරී, ගෘහස්ථ, සන්‍යාසි සහ වාතප්‍රස්ථ යනුවෙනි. මින් සන්‍යාසි යනු මිනිසා ලෞකික සැප සම්පත් අතහැර ආධ්‍යාත්මික පක්ෂයට නැඹුරු විය යුතු ජීවිතයේ තුන්වන අවදියයි. ඒ අනුව සාමාන්‍ය කාමභෝගී ගිහි ජීවිතයක තෙවන කාර්තුවට අයත් සන්‍යාසි සමය ලෞකිකත්වයෙන් අත්මිදුණු සමයක් විය යුතුය. නමුදු එම වීතරාගි දිවි පැවැත්ම තරුණ වියේ පටන් පුරුදු පුහුණු කරන ගිහි ජීවිතයෙන් දුරස් වූ පැවිදි පිරිසක්ද අදටත් ඉන්දියාවේ වෙසෙති. කාමභෝගිත්වයෙන් සම්පූර්ණයෙන් අත්මිදුණු ඔවුහු මුහුණ පුරා වැඩුණු රැවුලකින් සහ හිස මුදුනට වන්නට ජටාවක් සේ බැඳගත් කෙස් කළඹකින් යුතු ඇතැම් විට ජටාවක් හිස දැරූ කහ හෝ සුදු පැහැති අඳනයකින් සහ උතුරු සළුවකින් සිරුර වසා ගත් සංචාරක පූජක පරපුරකට අයත් පිරිසකි. බොහෝ විට ඔවුන්ගේ අත්වල සෙම්බුවක් සහ සෝලු ලීයක් හෙවත් සැරයටියක් දැකිය හැකිය. උරෙහි එල්ලා ගත් ඔලොගුව මේ සෑම සන්නාසියකුගේම එකම ධනය බව පැවසෙයි. තම දිවි පෙවෙත මුළුමනින්ම ආධ්‍යාත්මික පක්ෂයට කැප කොට ඇති බැවින් අන්‍යයන්ගෙන් යැපීමෙන් ජීවිතය පවත්වා ගෙන යන මොවුන් ලබන එම ආහාරය හැඳින්වෙනුයේ ‘භික්ෂා’ යනුවෙනි. මෙය බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් අනුගමනය කළ යුතු පිණ්ඩපාතයට අතිශයින් සමානය. එසේම බොහෝ සන්නාසීන්ගේ ගෙලෙහි ජපමාලයක්ද තිබෙනු දක්නට ලැබේ. ඉහත සඳහන් තොරතුරු අනුව අතීත සමාජය තුළ මුල් බැසගෙන තිබූ සන්නාසීන් බිල්ලන් නොවන බවත් ළමුන් පැහැරගෙන යාමේ කතාව හුදෙක් කිරි සප්පයන් රැවටීමට පමණක් යොදා ගන්නා ලද්දක් බවත් පැහැදිලිය. ‘ආඬි’ යන නම ඇසුණු සැණින් එක්වරම අප කාගේත් මතකයට නැගෙන රසවත් පිරුළක් තිබේ. එනම් ‘ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ’ යන්නය. එය එක්තරා රාත්‍රියක අම්බලමක නතර වුණු ආඬි මිනිසුන් හත් දෙනකු එකිනෙකා හට වංචා කිරීමට වෙර දරනු ලදුව අවසානයේ සියල්ලන්ම රැවටීමට ලක්වූ බව පැවසෙන ජන කතාවක් මුල් කොටගත් පිරුළකි. එමෙන්ම ආඬි නම් මිනිසුන්ගේ සංචාරක ජීවිතය නිරූපණය කෙරෙන එවන් ප්‍රවාද මුළුමනින් කල්පිතයන් විය නොහැකි යැයි මට සිතේ. ඒ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කටාන ප්‍රදේශයේ ‘ආඬිඅම්බලම’ නමින් ගම්වරයක්ද ඇති බැවිනි. අප ජන සමාජය ආඬින් වශයෙන් හඳුන්වා ඇත්තේ ඉතිහාසයේ යම් යම් යුගවලදී දකුණු ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ ගිහි පූජක පිරිසකි. මෙහිදී ඉහත සඳහන් කළ සන්‍යාසීන්ද බොහෝ විට මෙහිදී ‘ආඬි’ යන පොදු නමින් හැඳින්වෙන්නට ඇත. ආඬි යන ශබ්දය දකුණු ඉන්දියාවේ ඔවුන්ගේ නිජබිම වූ ‘ආන්ද්‍රා’ යන්න සිංහල ඌරුවට උච්චාරණය වීමකි. එමෙන්ම ඔවුන් විසින් භාවිත කරනු ලැබූ ඔවුන්ගේ මව්බස වන තෙළිඟු ශ්‍රී ලාංකීය ජන සමාජය හඳුන්වන ලද්දේ ‘අණ්ඩර දෙමළ’ යනුවෙනි. ඊට හේතුව ඒ වන විටත් සිංහල සමාජයට යම් තරමකින් හුරුව තිබූ දෙමළ භාෂාවට වඩා මෙම භාෂාව මුළුමනින්ම වෙනස් කිසිවක් නොවැටහෙන බසක් වීමය. ද්‍රවිඩ භාෂා පවුලට අයත් වුවද තෙළිඟු සහ දෙමළ මුළුමනින්ම වෙනස් වන අතර එම ජන වර්ගද සම්පූර්යෙන් එකිනෙකාට වෙනස් බව විශේෂයෙන් කිව යුතුව තිබේ. දකුණු ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ සංචාරක ජීවිත ගත කරන ගිහි පූජකයන් වශයෙන් මෙරට ජන සමාජයේ හැඳින්වීමට ලක්ව සිටිය ද මෙම ‘ආඬි’ යන ජන කොටස මීට සියවස් ගණනකට පෙර සිට ශ්‍රී ලාංකීය ජන සමාජයට අති ප්‍රබල බලපෑමක් කළ බවට මානව විද්‍යාත්මක සහ ඓතිහාසික සාක්ෂි තිබේ. පී.එම්.පී. අබේසිංහයන්ගේ උඩරට විත්ති කෘතිය මගින් ඉදිරිපත් කොට ඇති ‘අස්ගිරිපුවත’ නම් පැරණි මූලාශ්‍රයට අනුව එලෙස දකුණු ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ආඬි මිනිසුන් සංක්‍රමණය වීම ගම්පොළ රජකළ හතරවන බුවනෙකබාහු රජතුමන්ගේ සමයේ (ක්‍රි.ව. 1344-1353) සිට සිදුවී තිබේ. ඒ රාජ්‍යත්වය සම්බන්ධ ප්‍රසාදීන් වශයෙනි. පූජකවරුන් සහ යක් දෙස්සන් වශයෙන් අප රටට පැමිණි මෙම ආඬි ජනයා තම මව් රටේ දී නීලපෙරුමාල් වශයෙන් භාවිත කළ පෙළපත් නාමය මෙහිදී ‘කළුකපුගේ’ නමින් සිංහලයට පෙරළා ගත් බවට සාක්ෂි තිබේ. පසුකාලීනව ද මෙරට රජවරුන්ගේ සමග සමීප ඇසුරක් ලත් මෙම පරපුර උඩරට රාජධානියෙන් සේම ඕලන්ද සහ ඉංග්‍රීසීන්ගේ කුලවත් නම් ලැබ නිදහස් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට සම්බන්ධ ප්‍රබල පරම්පරාවන් බවට පත්ව ඇති බවට ඓතිහාසික සහ මානව විද්‍යාත්මක සාක්ෂි ඇත. ගණේමුල්ල නගරාසන්නයේ ඇති තිබ්බටුගොඩ සහ හොරගොල්ල යන ගම්මානවල වෙසෙන පාරම්පරික ජනයා අතීතයේ සිංහලයන් විසින් ආඬින් සහ සන්නාසීන් වශයෙන් හඳුන්වා ඇති දකුණු ඉන්දීය සංක්‍රමණිකයන්ගෙන් පැවැත එන්නවුන් බවට ප්‍රබලතම සාක්ෂිය ඔවුන්ගේ පෙළපත් නාමයන්ය. ඒවා අදටත් ‘ආඬිගේ’ සහ සේනාසිගේ යනුවෙන් හැඳින්වෙයි. මෙහි සේනාසිගේ යන්න සන්යාසීගේ යන්නට ඉංග්‍රීසි යටත් විජිත සමයේ ඇති වූ යම් වෙනසක් බවට සැක නැත. ආඬි නමින් හඳුන්වනු ලැබූ මෙම ජන කොටස ශ්‍රී ලාංකීය දේශපාලනයේ ඉහළම ස්ථානයකට පිවිසෙනුයේ සීතාවක රාජසිංහ (ක්‍රි.ව. 1581-1593) සමයේදීය. එහිදී රජතුමන්ගේ ප්‍රධානතම ආධ්‍යාත්මික සේම යුද උපදේශකයා ද වූ අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් එවක පවා වඩාත් ප්‍රචලිත වූයේද ‘ආඬිගුරු’යනුවෙනි. දාහත් වන සියවසේ ලියැවුණු රාජාවලියේ සඳහන් අන්දමට සොළී රටින් පැමිණියකු වන ඔහුට රජතුමා මාන්නප්පෙරුම මොහොට්ටාල යන කුලවත් නම ලබාදී තිබේ. අතීතයේ ‘සොළී රට’ යනුවෙන් හැඳින්වුණු දේශ සීමාවට වත්මන් ආන්ද්‍රා ප්‍රදේශය ඇතුළත්ව තිබීම නිසා රාජාවලි ප්‍රකාශය අසත්‍යයක් සේ නොහැඟේ. ඒ කෙසේ හෝ සීතාවක රාජසිංහයන්ගේ මරණයෙන් පසු අරිට්ඨ කී වෙණ්ඩු සීතාවක රාජ්‍යය අත්පත් කර ගැනීමට දැක්වූ ප්‍රබල වෑයම සහ එය ව්‍යර්ථ වූ පසු එවක කොළඹ කොටුව පාලනය කළ පෘතුගීසීන් වෙතට පලා ගොස් ඔවුන්ගෙන් ගරු නම්බු තාන්න මාන්න හිමිකර ගත් බවත් ඉතිහාසයේ සඳහන්ය. ශ්‍රී ලංකාවේ දී ආඬින් නමින් හැඳින්වෙන මෙම දකුණු ඉන්දීය ජන කොටස දේව පූජා යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම් ආදියෙන් ශ්‍රී ලාංකීය ජන සමාජය බියවද්දා ගෙන සිටි බවට තොරතුරු තිබේ. විල්බාවේ ගණින්නාන්සේ නමින් ප්‍රකටව සිටි ආඬි යකැදුරකු විසින් එවකට රාජ්‍යය අත්පත් කර ගැනීම පිණිස ප්‍රබල කුමන්ත්‍රණයක් දියත් කළ බවක් දහසය වන සියවසේ දී ලියවැණු ‘ආඬි මාලය’ නම් පද්‍ය සංග්‍රහයෙහි ඇතුළත්ය. ඒ කෙසේ වෙතත් දැනට ගණේමුල්ල තිබ්බටුගොඩ සහ හොරගොල්ල යන ගම්මානවල වෙසෙන ජනතාව ඉහත සඳහන් සමාජ, ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික බලපෑම්වලට කෙලෙස සම්බන්ධ වීද යන්න සොයා ගත හැකි මූලාශ්‍ර නොමැත. නමුදු පසුකාලීන ඕලන්ද යටත් විජිත සමය වන විට මුළුමනින්ම සිංහල බෞද්ධ ජනතාවක් බවට පත් මොවුන් එම යුගයේදී වගාව සහ එම කර්මාන්තය සම්බන්ධ ජීවනෝපායයන්ට යොමුව තිබූ බව පෙනෙයි. එනිසාම එම යුගයේදී සිල්වා, ප්‍රනාන්දු, රාජපක්ෂ ආදී නාම තම පෙළපත් නාමවලට යොදාගත් මෙම ගම්වාසීන්ගෙන් යම් කොටසක් මීට වසර එකසිය පනහකටත් මෙපිට යුගයකදී කතෝලික ආගම වැලඳ ගෙන තිබේ. අතීතයේ මෙම සංචාරක පූජකයන් මෙම ප්‍රදේශය හරහා ගලා බසින ඌරුවල්ඔය ඔස්සේ පාරු මගින් පැමිණ පුද පූජා පැවැත්වූ භූමිය අදටත් ‘පත්තිනි පිටිය’ යන නමින් හැඳින්වෙයි. එවක අන්ද්‍රා ප්‍රදේශයේ ද පත්තිනි ඇදහීම අතිශයින්ම ප්‍රචලිතව තිබිණි. ඔවුන් පුද පූජා පැවැත්වූ එම පැරණි පත්තිනි දෙවොල අදටත් දක්නට ලැබේ. එහෙත් තිබ්බටුගොඩ ග්‍රාමයේ කෙළවරක පිහිටි එය ඉංග්‍රීසි යුගයේදී ඊට යාබද කුඩාබොල්ලත නම් ගම්මානයට එක්ව තිබේ. එමෙන්ම ‘ශුද්ධ ජලය’ යන සංකල්පය පදනම් කරගෙන ඔවුන් දිය සෙම්බු ආදියෙන් පූජා චාරිත්‍ර පැවැත්වූ තවත් ස්ථානයක් හොරගොල්ල ග්‍රාමයේ ඇති අතර එය මේ වන විට හැඳින්වෙනුයේ සෙම්බුදෙණිය නමින් බිඳීගත් සෙම්බදෙණිය යන නමිනි. තිබ්බටුගොඩ යන ග්‍රාම නාමය පිළිබඳව විමසීමේ දී බැලූ බැල්මට පෙනී යන්නේ තිබ්බටු නම් බෝග වර්ගය බහුල නිසා ඊට ඒ නම ලැබී ඇති බවය. එහෙත් ඉහත සඳහන් ගම්මානය සම්බන්ධ සමස්ථ සංසිද්ධීන් තුලනාත්මකව විමසීමේ දී එම තිබ්බටුගොඩ ග්‍රාම නාමය තුළින් ඊට වඩා ප්‍රබල අරුතක් මතු කර ගත හැක. එනම් පූජකයන් හෙවත් තීර්ථකයන් ගොඩ බසින ලද ස්ථානය හෙවත් තිත් + බට + ගොඩ පසුව තිබ්බටුගොඩ යනුවෙන් ව්‍යවහාරයට පත්ව ඇති බවය. තිලක් සේනාසිංහ ඡායාරූප - සහන් සංකල්ප සිල්වා
 

More News..