ක්‍රීඩා

සන්තුෂ්ගේ දස්කම් වැඩිද මන්දා..

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ලෝක කුසලාන බලාපොරොත්තු සුන් වී යාමේ වේදනාව බංග්ලාදේශයට එරෙහිව ලබාගත් ‘වයිට් වොෂ්’ හෙවත් පූර්ණ තරගාවලි ජයත් සමගින් තරමක් තුනී වූයේය. ඒත් සමග පරාජයන්ගෙන් වියරු වැටී සමාජ මාධ්‍ය ඔස්සේ නොකඩවා ශ්‍රී ලංකා පිලට මඩ ගැසූ ක්‍රීඩාවට ලැදි ‘ක්‍රිකට් පිස්සන්’ ගේ වේදනාවන්ද තරමක් දුරට සමනය වී තිබෙයි.

මේ අතර දිගින් දිගටම ක්‍රිකට් ක්‍රීඩාවේ මාතෘකා මැවිනි. ඒ අතර ප්‍රධාන මාතෘකාවක් වූයේ මාලිංගගේ සමුගැන්මය. මීළඟට ‘කුලේ’ නැතිව කුලේගේ නමින් වූ සමුගැන්මේ තරගයය. දැන් මාතෘකාවට බඳුන් වී ඇත්තේ බංග්ලාදේශය හතුරු වී ලංකාවට මිතුරු වූ චන්දික හතුරුසිංහ ගැනය.

ජාතික කණ්ඩායමේ මෙකී කෙළි සිදුවන අතරතුර, අනෙක් තලවල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක්ම විදෙස් සංචාර සඳහා පිටත් වුවත්, ලෝක කුසලාන උණුසුම මැදින් ඒ සඳහා යොමු වූ ප්‍රේක්ෂක අවධානය තිබුණේ සෘණ මට්ටමේය. එසේ විදෙස්ගත වූ එක් කණ්ඩායමක් වූයේ ඉන්දීය තරග සංචාරයකට පිටත් වූ ශ්‍රී ලංකා ‘ඒ’ පිලය. ලෝක කුසලාන සංචිතයෙන් නම හැළී ගිය බහුතරයක් ක්‍රීඩකයන්ට සිය දක්ෂතා යළිත් වරක් සිය දක්‍ෂතා උරගාබැලීම පිණිස දොරටු විවර වූයේ එම කණ්ඩායමේය.

අනතුරුව විදෙස්ගත වූයේ ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමය. තුන්කොන් තරගාවලියක් සඳහා ඔවුන් පිටත් වූයේ දකුණු අප්‍රිකාවටය. කලින් කී ‘ඒ’ කණ්ඩායමේ සහ නැගී එන කණ්ඩායම් දෙකෙහිම තේරීම් කටයුතු භාරව සිටියේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තේරීම් කටයුතු භාරව කටයුතු කරන එහි සභාපති අසන්තා ද මෙල්ය. මෙල් මහතාගේ තීරණයට අනුව මෙම නැගී එන කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරුණේ චරිත් අසලංකටය. එහි ප්‍රධාන පුහුණුකරු වශයෙන් ඔවුන්ගේ තේරීම වූයේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්ය.

ලෝක කුසලාන කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබූ නිසාදෝ දකුණු අප්‍රිකාණු සංචාරය සඳහා සුදුස්සෙක් වීමට ඕනෑවටත් වඩා සුදුසුකම් සපුරා තිබුණු ක්‍රීඩකයකුව තේරීම් කමිටුවට මග හැරුණේය. (අපි මගහැරුණා යැයි සිතමු). කෙතරම් නම් මේ ක්‍රීඩකයාව මග හැරුණාදැයි කිවහොත් ඔහුට එම තරගාවලිය සඳහා වූ තෝරා ගැනීමේ තරගයට සහභාගී වෙන්න කියාවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඇරයුම් ලැබී නොතිබුණේය. නමුත් සම වයසේ බහුතරයක් ක්‍රීඩකයන්ට ඒ සඳහා ඇරයුම් ලැබෙද්දී මෙකී ක්‍රීඩකයාට ඇරයුමක් නොලැබී තිබීම එක්තරා අයුරක අරුමයකි.

ඒ අයුරින් තේරීම් කමිටුවට මගහැරුණු මේ ක්‍රීඩකයා සංතුෂ් ගුණතිලකය. වයස අවුරුදු 13 දී බම්බලපිටිය ශාන්ත පීතර විදුලෙන් ක්‍රිකට් මුල්පොත් කියවන සන්තුෂ් මුල් වරට පාසල් කණ්ඩායමක නායකත්වය දරන්නේ 2014 වසරේදීය. එම වසරේදීම වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා පිල නියෝජනය කරන්න වරම් හිමිකර ගන්නා ඔහු මැලේසියාවේ පැවැති සිව්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ වීරයා බවට පත් වූයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුවාර 10කදී ලකුණු 10කට කඩුළු 3 ක් දවා ගනිමිනි. ඉන් පසු අවුරුදු 17න් සහ 19න් පහළ පාසල් කණ්ඩායමේ නායකත්වය හිමි වූයේද ඔහුටය. එම අවදියේ පැවැති අවුරුදු 19 න් පහළ පළාත් ක්‍රිකට් තරගාවලියේ බස්නාහිර කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කිරීම ඔහුගේ ක්‍රිකට් දිවියේ එක් සුවිශේෂී අවස්ථාවකි.

‘84 වැනි සාන්තුවරයන්ගේ සටන’ වාර්ෂික ක්‍රිකට් තරගයේ සාන්ත පීතර පිලේ නායකත්වයේ වගකීම පැවරුණේද ඔහුටය. දිනෙන් දින සිය දක්ෂතා දියුණුකර ගනිමින් සිටි හේ ඉකුත් වසරේ අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන සංචිතයට පවා තේරී පත් වූයේය. ඒ ග්‍රැහැම් ලැබ්රෝයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයාව සිටි අවදියේදීය.

පිත්තෙන් හා පන්දුවෙන් මදි නොකියන්න දක්ෂතා දක්වා තිබුණත්, 2018 ලෝක කුසලාන තරගාවලියේදී සන්තුෂ්ට අවස්ථාව උදා වන්නේ ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර පැවැති තරග දෙකේ ක්‍රීඩා කිරීමට පමණි. ඒත් ඔහුට පිත්ත හැසිරවීමට අවස්ථාව උදා වූයේ පිතිකරුවන් හත්දෙනකු දැවී යාමෙන් පසුය. ඒ අනුව ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර තරගයන්හිදී පිළිවෙළින් ඔහුට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 12 ක් සහ 16 ක් පමණි.
දකුණත් පිතිකරුවකු වූ ඔහු වයස අවුරුදු 19 න් පහළ පළමු කාණ්ඩයේ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග 18කදී මුළු ලකුණු 1572 ක් රැස් කිරීමට සමත් වූයේ මෑත ඉතිහාසයේ පිතිකරුවකු රැස්කළ වැඩිම ලකුණු වාර්තා කරමිනි. එම ලකුණු සංඛ්‍යාව දෙවැනි වන්නේ 1980 දශකයේ මුළු ලකුණු 1625 ක් රැස්කරගෙන සිටි මොරටුව වේල්ස් කුමර විදුහලේ හේමාල් මෙන්ඩිස්ට පමණි.

සංතුෂ්ගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය දැක්වෙන්නේ 82.74 ක් ලෙසිනි. ඒ අතර ශතක 8 ක් සහ අර්ධ ශතක 5 ක් අන්තර්ගත විය. ආන්නද විද්‍යාලයට එරෙහිව නොදැවී වාර්තා කළ ලකුණු 252 ඒ අතරින් වැඩිම ලකුණු සංඛ්‍යාව වශයෙන් සටහන් වී තිබිණි. පන්දු 243 කදී වාර්තා වී තිබුණු එම ලකුණු සංඛ්‍යාව හයේ පහර අටකින් සහ හතරේ පහර 29 කින් වර්ණවත් වූයේය.

පිත්තෙන් සේම ඕනෑම මොහොතක සිය මඳවේග පන්දුවෙන් දස්කම් දැක්වූ සන්තුෂ් එම තරගවාරයේ කඳාන ද මැසනොද් විද්‍යාලයට එරෙහිව ලකුණු 6ට කඩුළු 5ක් දවා ගැනීම ඇතුළුව දවාගෙන තිබෙන මුළු කඩුළු සංඛ්‍යාව 33 කි.

ඉහත සඳහන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට සන්තුෂ් ගැන අමතක ඔහුගේ සම වයසේ ක්‍රීඩකයින් පස් දෙනෙක් සහ මේ වන විට වයස අවුරුදු 19න් පහළ වේග පන්දු යවන ක්‍රීඩකයෙක් ඇතුළත්ව සිටියි.

ඒ අතරින් කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි. කණ්ඩායමට නම් වී සිටි පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩකයා සමග සන්තුෂ් ගුණතිලකගේ දක්ෂතා සංසන්දනය කිරීමේදී සන්තුෂ් අඩි ගාණක් ඉදරියෙන් වෙයි. නමුත් මේ අති දක්ෂයාව අදාළ තෝරා ගැනීම වෙනුවෙන් පැවැති තරගයකට හෝ කැඳවා නොතිබීම ඇදහිය නොහැක්කකි. ශ්‍රී ලංකා ක්‍රිකට් මේ ගෙවනුයේ පැටළුණු පඹගාලෙන් ගොඩ ඒමට උත්සාහා දරන සමයකය. ඔවුන්ට දක්ෂතා සහිත ක්‍රීඩකයන්ගේ ඌනතාවක් පවතින බැව් පසුගිය වසරක දෙකක කාලය දෙස හැරී බැලීමේදී පෙනී යයි. එබැවින් දක්ෂතා සහිත ක්‍රීඩකයන් සොයන අවදියක මෙවැනි ක්‍රීඩකයන්ව තෝරා ගැනීමේ තරගයකට හෝ කැඳවීමක් කළහොත් එහි ඇති වැරැද්ද කාගේද?

ලෝක කුසලානෙන් පසු ලංකාවට පැමිණි ශ්‍රී ලංකා පිල පැවැත්වූ පළමු මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නුවන් කුලසේකර ගැන අසන්තා ද මෙල්ගෙන් විමසුවේය. එවිට ‘එයා තාම ඉන්නවාද? මම නම් දැකලා නැහැ’ යි කියා තේරීම් කමිටු සභාපති මෙල් කියා සිටියේ හාස්‍ය උපදවන ස්වරූපයෙනි. වරෙක ලොව අංක එකේ පන්දු යවන්නා බවට පත් වූ නුවන් කුලසේකර තවමත් ක්‍රීඩාවේ සිටීද, විශ්‍රාම ගෙනද, කියාවත් ඔහු එදා නොදත්තේය. එහෙව් තේරීම් කමිටු සභාපතිවරයෙක් ශ්‍රී ලංකා පිලට එන්නට වෙර දරන සන්තුෂ් වන් කොලු ගැටයින් ගැන කෙසේ නම් දැනගන්නද?

ගයාශාන් විතානආරච්චි