කතුවැකි

සතොස හා සමුපකාර හෙණ ගහද්දී මිදුලට වීසිකරන යකඩයක් නොවේවා!

දිවයින පුරා නගර පනහකට වැඩි සංඛ්‍යාවක් ඊයේ සවස් වන විට ස්වයං අගුළු දැමීමකට පත්ව තිබිණ. පිටකොටුවේද ඇතැම් වීදිවල ව්‍යාපාරික ස්ථාන වසා දමා ඇත. ඉදිරියේදී ස්වයං අගුළු දැමීමට ලක්වන නගර සංඛ්‍යාව තවත් ඉහළ යෑමේ ප්‍රවණතාවක් දක්නට තිබේ. මේ අතරට පෞද්ගලික කඩ සාප්පු වසා දැමුවත් ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ සැපයීම සතොස හා සමුපකාර ප්‍රාදේශික හරහා ක්‍රියාත්මක කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.

මුළු රටේම අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම සතොස හා සමුපකාර හරහා කළ හැකි බවට විශ්වාස කිරීමත් ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තරම් ධෛර්යයක් තිබීම ගැනත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාට අපගේ ප්‍රශංසාව හිමිවේ. රටත්, ජනතාවත් අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවක දේශපාලකයන් නහයෙන් අඬන්නේ නොමැතිව සුබවාදීව ධෛර්යවත්ව හා විශ්වාසයෙන් කතා කිරීම ජනතාවගේද ධෛර්යය හා විශ්වාසය වඩවන්නට හේතුවන නිසාය.

අමාත්‍යවරයා කියන ආකාරයට අද සිට සතොස මගින් අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේ සේවාවක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම සේවාව මගින් ඕනෑම අයකුට හාල්, සීනි, පිටි වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් භාණ්ඩ මල්ලක් රුපියල් දෙදහසක් වැනි සහන මිලකට ලබා ගැනීමට හැකියාව තිබෙන බවද අමාත්‍යවරයා පවසයි.

රටේ ඇතිවිය හැකි හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා වෙළෙඳ අමාත්‍යවරයා ගන්නා මෙම පියවර ඔහු ජනතා අවශ්‍යතා අවබෝධ කර ගන්නා බව පෙන්නුම් කරන්නක් වන අතර ඉතා වැදගත් ව්‍යාපාරික තීරණයකි. මේ හරහා සතොස සන්නාමය හා සමුපකාර ප්‍රාදේශික ව්‍යාපාරික හා ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමට මෙය හොඳ අවස්ථාවක් වන බැවිනි.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මීට පෙර වෙළෙඳ අමාත්‍ය ධුරය දැරූ සමයේදී සතොසට හා සමුපකාර ව්‍යාපාරය ව්‍යාපාරික ආයතන ලෙස ශක්තිමත් කරන්නට උත්සාහ කළ බව අපට මතකය. අමාත්‍යවරයා දැන් යළිත් කොවිඩ් තත්ත්වය හමුවේ ලැබී ඇති අවස්ථාව ප්‍රයෝජනයට ගෙන එම උත්සාහය දරන බව පෙනෙන නමුත් එය සාර්ථක වනු ඇද්ද යන බරපතළ සැකයක් අපට තිබේ.

අද වනවිට සමුපකාර ව්‍යාපාරයක් රට තුළ තිබේද යන්න පවා බොහෝ දෙනකුට අමතකය. ආණ්ඩුවට සේම රටේ ජනතාවටද සමුපකාරය සිහිපත් වන්නේ මෙවැනි අර්බුදයකදී පමණය. මේ නිසා හත්දහසක් (7000) පමණ වූ සමුපකාර ප්‍රාදේශික සංඛ්‍යාව අද වන විට දෙදහස් හයසිය විසිහයක් (2626) දක්වා පහත වැටී ඇත. මෙම ප්‍රාදේශිකවලින්ද බොහොමයක් ඇත්තේ වැසෙන්නට ඔන්න මෙන්න තත්ත්වයකය. සමුපකාර ප්‍රාදේශිකවලින් නම් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නා අයෙකු සොයා ගැනීම කළුනික සොයනවාටත් වඩා අමාරු වැඩකි.

රටේ සියලු පෞද්ගලික වෙළෙඳසල් වසා දැමුවත් අත්‍යවශ්‍ය ආහාර සැපයුම ගැන බිය නොවන ලෙස වෙළෙඳ ඇමැතිවරයා ප්‍රකාශ කළත් මේ වන විට රට පුරා ඇත්තේ සතොස අලෙවිසල්ද හාරසීයකට මඳක් වැඩි ප්‍රමාණයකි. සේවකයන් කොවිඩ් ආසාදිතයන් වීම නිසා මේ අතරින්ද කිහිපයක් මේ දිනවල ඇත්තේ වසා දමාය.

දෙදහස් හය සියයක් පමණ වන සමුපකාර ප්‍රාදේශික සංඛ්‍යාව හා සතොස අලෙවිසල් හාරසියයක පමණ ප්‍රමාණයකට රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම සපුරාලන්නට හැකිවනු ඇතැයි අප සිතන්නේ නැත. අප එසේ සිතන්නේ සමුපකාර ප්‍රාදේශික හා සතොස අලෙවිසල් ප්‍රමාණය සංඛ්‍යාත්මකව අඩු වීම නිසා නොව ඒවා ගුණාත්මකව පිරිහී ඇති නිසාය.

සමුපකාර හා සතොස අලෙවිසල්වලට ඇති පොදු දුර්වලතාවක් වන්නේ ඒවායේ බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ පවා නොමැති වීමය. විවෘත වෙළෙඳපොළේ මිලට වඩා අඩු මිලට සහල්, සීනි, පිටි වැනි දේ සතොසේ ඇතැයි අමාත්‍යවරයා හැම විටම කියන නමුත් ස​තොසේ නැත්තේද එම භාණ්ඩය. මේ ආකාරයට අත්‍යවශ්‍ය භාණ්ඩ පවා හිඟවන්නේ ඇත්තෙන්ම භාණ්ඩ හිඟයක් නිසා නොව සතොස හා සමුපකාරවල නිලධාරීන් ඒවා කළු කඩයට විකිණීම නිසාය. මේ නිසා සතොස හා සමුපකාරය ජනතා අවශ්‍යතා ඉටු කරන ආයතන මෙන්ම ශක්තිමත් ව්‍යාපාරික ස්ථාන බවට පත් කිරීමට අවශ්‍යතාවක් ඇත්නම් පළමුවෙන්ම මේ හොරුන් සම්බන්ධයෙන් පියවරක් ගත යුතුය.

එසේම සතොස හා සමුපකාර පෞද්ගලික අංශය සමග තරග කළ හැකි තරමට ශක්තිමත් ව්‍යාපාරික ආයතන බවට පත් කිරීමට නම් පාරිභෝගිකයාගේ රුචියට ගැළපෙන සේම තත්ත්වයෙන් උසස් භාණ්ඩද ඒවාට සපයන්නටද පියවර ගත යුතුවනු ඇත. සමුපකාර පමණක් නොව සතොස අලෙවිසල්වල පවා ඇති ඇතැම් ආහාර ද්‍රව්‍ය මිනිසුන්ට පමණක් නොව සතෙකුට හෝ කන්නට දමන්නට නොහිතෙන ඒවාය.

මේ සියලු දේටම පෙර සතොස හා සමුපකාර වෙත පාරිභෝගිකයා ගෙන්වා ගැනීමට කළ යුතු දෙයක් තිබේ. සතොස හා සමුපකාර යනු පිං බෙහෙත් ශාලා නොව ව්‍යාපාරික ස්ථාන බව ඒවායේ කාර්ය මණ්ඩලයන්ට අවබෝධ කර දීමය. ව්‍යාපාරික ස්ථානයකදී රජු වන්නේ පාරිභෝගිකයාය. එහෙත් සතොස හා සමුපකාරවලට ගියවිට පාරිභෝගිකයා රජෙකු ලෙස නොව පාරිභෝගිකයකු ලෙසවත් සැලකුම් ලැබෙන්නේ නැත. සතොස සමුපකාර සේවකයන් සිටින්නේ ‘‘උඹලා ගත්තත් එකයි නැතත් එකයි’’ ආකල්පයෙනි. මේ ආයතන කොතරම් පාඩු ලැබුවත් ඔවුන්ගේ වැටුප් ලැබෙන නිසා විය හැකිය.

සතොස හා සමුපකාර තරගකාරී ව්‍යාපාරික ස්ථාන බවට පත් කිරීම සඳහා අප ඉදිරිපත් කරන යෝජනා ක්‍රියාත්මක කිරීම කියන තරම් පහසු නොවන බවද අපි දනිමු. කාලාන්තරයක් තිස්සේ මෙම ආයතනවලින් හොරකම් කර, නාස්තිකර විනාශ කර දමා ඇති තත්ත්වය අනුව ඒවා කෙළින් කිරීම පහසු නොවන බව දන්නා නිසාය.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාද මේ යථාර්ථය නොදන්නවා යැයි අප සිතන්නේ නැත. එහෙත් අප අගය කරන්නේ ඒ බව දැන දැනත් ඔහු ‘ගේමක්’ දෙන්නට කල්පනා කිරීමය. කාට කාටත් අමතකව ගොස් ඇති සමුපකාර ප්‍රාදේශික ‘කෝප් ෆ්‍රෙෂ්’ යනුවෙන් නව සන්නාමයක් යටතේ තිරිහන් කරන්නට කැබිනට් මණ්ඩලයට යෝජනා කරන්නේද ඒ අනුවය. ඔහුගේ සැලසුම වී ඇත්තේ සමුපකාර ප්‍රාදේශික දෙදහසකට වැඩි ප්‍රමාණයක් මේ ආකාරයට නවීන ව්‍යාපාරික ස්ථාන බවට පත් කිරීමය.

වෙළෙඳාමේදී පිට ඔපය වැදගත් වන නමුත් භාණ්ඩයක් වේවා ආයතනයක් වේවා ජනප්‍රිය වන්නට පිට ඔපය පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. එනිසා සමුපකාර ‘‘කෝප් ෆ්‍රෙෂ්’’ බවට පත් කරන්නා සේම ඒවාට ආවේණික අභ්‍යන්තර අඩුපාඩුද සකස් කරන්නට පියවර ගත යුතු බව අපි අමාත්‍යවරයාට යෝජනා කරමු.

මේ ආකාරයට සමුපකාර හා සතොස අලෙවිසල් පාරිභෝගිකයාට යන්නට හිතෙන, ගියාට පාඩුවක් නැති පෞද්ගලික අංශය සමග තරගයක් දිය හැකි ව්‍යාපාරික ආයතන බවට පත් කළ හැකි නම් එය පාරිභෝගිකයාට සේවාවක් සේම ආණ්ඩුවට බරක් නැති ලාභයක් උපයා දෙන ආයතන බවට පත් වනු නිසැකය. එසේ වුවහොත් සමුපකාර හා සතොස යනු හෙණ ගහනවිට මිදුලට දමන යකඩ කෑල්ල සේ ජාතික ආපදාවකදී ව්‍යසනයකදී පමණක් ප්‍රයෝජනයට ගන්නා ආයතන නොව ජාතික සංවර්ධනයේ ප්‍රමුඛ මෙන්ම සාඩම්බර කොටස්කරුවන් බවට පත් කර ගත හැකි වනු බවට සැකයක් නැත. වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනටද අවශ්‍ය වී ඇත්තේ අවස්ථාව පිරිමසා ගැනීමට නොව එවැනි දෙයක් බව අපට විශ්වාසය.