විශේෂාංග

සති අග අරුණේ ‘කිරණ’ කියවා ලකුණු 195ක් ගත් සෙනෝද්

‘‘පහේ ශිෂ්‍යත්ව විභාගය” ලෙස අප හැඳින්වුවත් බොහෝදෙනා මෙය හඳුන්වන්නේ අම්මලාගේ විභාගය හැටියටයි. මේ අම්මලාගේ විභාගය බොහෝ විට ධාවන තරගයක් සේ අරම්භ වන්නේ පළමු ශ්‍රේණිය සඳහා තම දරුවා නගරයේ පාසලකට ඇතුළත් කිරීමට නොහැකි වූ තැන සිටය. ඉන් පසුව අම්මලා තාත්තලා මතු නොව ඥාති සනුහරයම උත්සාහ කරන්නේ පුංචි පැටියා රේස් ඔට්ටුවට තබා පහේ ශිෂ්‍යත්වය නම් කඩඉම පැන්නවීමටය. මේ හේතුව නිසාම දෙමව්පියන් විසින් තම දරුවා ශිෂ්‍යත්ව විභාගයට වාඩි කරවද්දී දැනුම පොවන්නට උත්සාහ දරති. තවත් බොහෝ දරුවන්ට මේ පොවන්නට උත්සාහ දරන දැනුම ලුණු වතුර මෙනි. පත්තියම් නොවූ තැන උගුරෙන් පහළට ​නොගොස් බිමට හැළෙන්නේය.

නමුත්, ලලිත් සහ ඉන්දිකා යනු තම දරුවාට දැනුම ලුණු වතුර නොකර පිරිසුදු කර පෙවූ දෙමාපියන් යුවළකි. එනිසාම මෙහි ප්‍රතිඵලය ද සුබවිය. ඔවුන්ගේ දරුවා වන සෙනෝද් චන්මිර පසුගිය ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 195ක් ලබා දිවයිනේ ප්‍රථමයා වූ සිසුවාගේ ලකුණු මට්ටම වූ 199ක් වූ ප්‍රමාණය ආසන්නයටම පැමිණියේය. මේ ජයග්‍රහණය ලබා ගැනීමට සෙනෝද්ගේ මාපියන් විසින් ඔහුට ලබා දුන් පිරිසුදු ජලය වන්නේ ”කිරණ” නම් ශිෂ්‍යත්ව අතිරේකයයි. මේ ශිෂ්‍යත්ව අතිරේකය සෙනෝද් චන්මිරගේ අතට ගියේ සෑම ඉරු දිනයකම ඔහුගේ පියා පුරුද්දක් ලෙස ගන්නා ‘‘සති අග අරුණ පුවත්පත” අස්සේ සැඟවීගෙනය.

සෑම ඉරු දිනයකම සාලයේ මැද තබා ඇති බට්ටා ඔරලෝසුවේ හයේ කනිසමෙන් අවදි වන සෙනෝද්ගේ පියා කඩිමුඩියේ ලක ලෑස්ති වන්නේ ගෝනපොල කඩමන්ඩියට යෑමටය. ඒ වෙනදා මෙන් කඩමන්ඩියේ මැද පිහිටි පත්තර ලෑල්ලේ පත්තර මල්ලිව හමු වී තමන් වෙනුවෙන්ම වෙන්කර තිබූ ‘‘සති අග අරුණ” පුවත්පත මිලදී ගැනීමටයි. ඉන් අනතුරුව ඔහු අඩියට දෙකට නිවසට පැමිණෙන්නේ රටේ ලෝකේ සිදු වූ දේශපාලන තතු විත්ති මොනවාදැයි දැන ගැනීමට ය. එමෙන්ම පියා විසින් උදෑසනම අරුණ පුවත්පත ගෙන එන නිසා සෙනෝද් ද ඉරිදා උදෙන්ම අවදි වන්නේය.‘‘අපේ තාත්තා හැම ඉරිදා උදේකම ‘‘සති අග අරුණ” පත්තරේ ගේන කල් මම පාර දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ තාත්තා ආපු ගමන්ම ඒකෙ තියෙන අරුණ ‘‘කිරණ” ශිෂ්‍යත්ව අතිරේකය ගන්නවා. එ්ක අරගෙන මම මුලින්ම බලන්නේ මොනවද අද තියෙන අලුත් දේවල් කියලා. ඒ විතරක් නෙවෙයි කිරණේ මම කැමැතිම පිටුව තමයි ගණන් පාඩම තියෙන පිටුව. ”

සෑම පාසල් වාරයකම පන්තියේ වැඩිම ලකුණු ලබා ගන්නා ශිෂ්‍යයන් තිදෙනා අතර පෙරමුණ ගැනීම සෙනෝද්ගේ මූලික ඉලක්කය වී තිබුණි. ඒ ඉලක්කය වෙත යන ගමනේ ගණන් යනු ඔහුට සීනිබෝලයකි. මේ නිසාම පාසලේ කා අතරත් සෙනෝද් ජනප්‍රිය වූයේ ‘‘පුංචි පයිතගරස්” යනුවෙනි. එයට හේතුව වූයේ පාසලේදී හෝ ඔහු යන අමතර පන්තියේ දී හෝ ඔහුට දෙන ගණිත ගැටලු ඔහු විසඳන්නේ තප්පරයක් වැනි කෙටි කාලයක් තුළ වීම නිසාය. කිරණ ශිෂ්‍යත්ව අතිරේකය අතට ගත් මුල් දවස ගැන සෙනෝද් කතා කරන්නේ පුදුමාකාර උද්‍යෝගයකින්ය. ඒ වාගේම තවත් පුදුමය දනවන කාරණයක් එදා සිදුවිය. එනම්, මෙතරම් කාලයක් ගණිතය සීනිබෝලයක් වූ සෙනෝද්ට කිරණේ තිබූ පළමු ගණිත ගැටලුවම සංකීර්ණ සේ සිතීමයි.

‘‘ මම කිරණ ගන්න කලින් අපේ අම්මයි, තාත්තායි මට ළමා පත්තර ගෙනත් දුන්නා. එ්වයේ තිබුණු ගණිත ගැටලු හදන්න මට ගියෙත් තත්පරයයි. ඒත් එදා තාත්තා ගෙනත් දුන්න කිරණ පත්තරේ තිබුණු පළවෙනිම ගණිත ගැටලුවම මට අමාරු වුණේ කොහොමද කියලවත් හිතා ගන්න බැරි වුණා. එ්ත් මම හිතුවා ගණිත ගැටලුව වැරදි ඇති කියලා. එ්ත් ඊළඟ සතියේ උත්තරේත් එක්ක ඒ ගණිත ගැටලුව විසඳලා තිබ්බේ ගොඩක් ලෙහෙසි විදිහටයි. ”

තමන් ගණිතයට කෙතරම් හපනෙක් වුවත් කිරණේ තිබූ පළමු ගණිත ගැටලුව පවා අමාරු වූයේ පුංචි සෙනෝද්ගේ සිතේ චකිතයක් ද ඇති කරමින් ය. එ්ත් ඒ චකිතය මැඬ ගැනීමට ඔහු කළේ නිරන්තරයෙන්ම කිරණේ තිබූ ගණිත ප්‍රශ්න පත්‍රයේ ගැටලු විසඳීමයි.

‘‘ කලින් මට අමාරුයි කියලා හිතුණ ගණන් නැවත නැවතත් මම කළා. ඒ විදිහට කරලා උත්තර පත්තරේ එනකන් බලන් හිටියා. ඊට පස්සේ මම හදපු විදිහයි එ්කේ තියන විදිහයි හොඳට බැලුවා. පස්සේ තමයි මට තේරුණේ මම ගණිත ගැටලු විසඳන විදිහට වඩා පත්තරේ තිබූ ක්‍රමය ගොඩක්ම ලෙහෙසි කියලා. ඒ නිසා මම දිගටම පත්තරේ දාලා තියෙන විදිහටම ගණිත ගැටලු විසඳන්න බැලුවා. ඒ විතරක් නෙවෙයි මේ පාර ශිෂ්‍යත්ව විභාගයට දාලා තිබුණු සමහර ගණිත ගැටලු මම කිරණින්ම කරලා ති​ෙයනවා වගේ දෙයකුත් මට දැනුණා.” සෙනෝද් පවසන ආකාරයට නම් කිරණ කියලා කියන්නේ ඔහුට ශිෂ්‍යත්වය ජය ගන්න මාර්ගය පහදා දුන් කලණ මිතුරා බවයි.

සෙනෝද්ගේ පියා වන ලලිත් චන්දන කොඩිතුවක්කු සිවිල් ඉංජිනේරුවෙකි. මව ඉන්දිකා සඳමාලි ප්‍රමාණ සමීක්ෂිකාවකි. පවුලේ වැඩිමල් දරුවා වන සෙනෝද් කුඩා කල සිටම ගණිතයට සේම අනෙකුත් විෂයන්වලටත් දක්ෂ දරුවෙකි. ඔහුගේ මේ දක්ෂතාවන් තව තවත් ඔප්නැංවූයේ කිරණ ශිෂ්‍යත්ව අතිරේකය බව ලලිත් පවසන්නේ ආඩම්බරයෙනි. ඒ නිසාම ශිෂ්‍යත්ව ප්‍රතිඵල පැමිණි දවසේ ඔහුට මුලින්ම මතක් වූයේ වෙන කිසිවකු නොව ‘කිරණ’ කර්තෘ මණ්ඩලයයි. ඒ නිසාම ඔවුන් කළේ කිරණ කර්තෘ මණ්ඩලය අමතා ස්තුතිය පළ කිරීමයි. එක් අමතර පන්තියකට පමණක් ගිය සෙනෝද්ට පාසලන් ලැබෙන දැනුමට අමතරව දැනුමක් කිරණ තුළින් ලැබූ බැවිනි.‘‘මම ‘‘සති අග අරුණ” පත්තරය ගන්නේ දැන් මාස දහයක ඉඳන්. එ්ක ඇත්තටම හොඳ පත්තරයක්. ඒත්, මම මුලින්ම පත්තරය ගත්තේ කිසිම හේතුවක් නැතුව. මොකක් ද මේ පත්තරය කියා බලන්නයි මම මුලින්ම ගත්තේ. එ්ත් පස්සේ මටත් නොදැනීම මම මේ පත්තරයේ පාඨකයෙක් වුණා. ඒ විතරක් නෙවෙයි දේශපාලනයට අදාළ කරුණු කියවන්න තමයි මම ගොඩක් කැමති. ඒ නිසා ඒ අතිරේක ටික කියවන ගමන් ‘‘කිරණ” ශිෂ්‍යත්ව අතිරේකය මම පුතාට බලන්න දුන්නා. එ්ත්, මම හිතුවේ නැහැ ‘‘සති අග අරුණ” පත්තරේ පුතා මටත් වඩා හොඳ පාඨකයෙක් වෙයි කියලා ” තමන් සති අග ඇරුණේ පාඨකයෙක් වූ දා පටන් තමන් ලද අද්දැකීම් විස්තර කළේ හදෙහි උපන් සැබෑ සතුට සමගිනි.

ඒ විතරක් නොවේ. තමා සති අග අරුණේ පාඨකයෙක් වූ නිසා තම දරුවාට එයින් ලැබුණු සහයෝගය කෙතරම්දැයි කීමට වචන නොමැති බව ඔහු පවසන්නේ සතුටු සිනහ පිරි මුවකින්ය.

‘‘අද මම ඇත්තටම සතුටු වෙනවා මීට මාස දහයකට කලින් අරුණ පත්තරේ පාඨකයෙක් විදිහට එකතු වෙන්න පුළුවන් වෙච්ච එකට. ඒ විතරක් නෙවෙයි, මගේ පුතා හරි අාසාවෙන් තමයි කිරණ එක්ක වැඩ කළේ. මේ සතියේ කිරණේ ගාණක් හැදුවොත් ඊළඟ සතිය වෙනකම් එයා ඇඟිලි ගනිමින් ඉන්නේ එ්කේ පිළිතුර දැන ගන්නකන්. එයා කිරණේ ගණන් ප්‍රශ්න පත්‍රයට වගේම අනිත් විෂයන්වලටත් ගොඩක් කැමතියි. ඒ නිසා මම කිරණට ස්තුතිවන්ත වෙනවා මගේ පුතාගේ ජයග්‍රහණයේ කොටස්කරුවෙක් වුණු එකට.” තම පුතුගේ ජයග්‍රහණයේ කොටස්කරුවෙකු වූ කිරණ කර්තෘ මණ්ඩලය වෙත හදපිරි ස්තුතිය පුද කරන්නේ නොපැකිලිවම ය.

හර්ෂණී දිසානායක