කතුවැකි

සත්ත්ව – මිනිස් ගැටුම් දෙස ඩාවින් තියරියෙන් බැලීම

වන සතුන් පහරදීම නිසා ජීවිත හා දේපළ හානි සිදුවීම වළක්වා ගැනීම සඳහා වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය කිරිගහට ඇන්නා සේ නොවරදින විසඳුමක් යෝජනා කර තිබේ. අප මේ බව දැන ගත්තේ අමාත්‍යාංශයේ මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය ලැබී ඇති බව කැබිනට් සම ප්‍රකාශක රමේෂ් පතිරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළ නිසාය. වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ යෝජනාවට අනුව කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ වන අලි, දිවියන්, වලසුන්, කුළු හරකුන් හා කිඹුලන් යන සතුන්ගෙන් සිදුවන ජීවිත හා දේපළ හානි සඳහා දැනට ගෙවනු ලබන වන්දි මුදල දෙගුණ කිරීමටය.

මේ අනුව වන සත්ත්ව පහරදීමකින් පුද්ගලයකු මිය ගිය හොත් දැනට ගෙවන වන්දි මුදල රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 10 දක්වා වැඩි කෙරෙනු ඇත. ආබාධිත වූවෙකුට ගෙවන රුපියල් හැත්තෑපන්දහසක (75,000) වන්දි මුදල රුපියල් එක්ලක්ෂ පනස් දහස (150,000) දක්වා ඉහළ නැංවීමට නියමිතය. එසේම දේපළ හානියක් වෙනුවෙන් ගෙවනු ලබන රුපියල් ලක්ෂයක වන්දි මුදල රුපියල් ලක්ෂ දෙක දක්වා ඉහළ නැංවීමටද තීරණය කර තිබේ.

අමාත්‍යාංශයේ මේ යෝජනාව හා කැබිනට් මණ්ඩලයේ තීරණය නිසා මින් ඉදිරියට වන සතුන්ගෙන් මිනිසුන්ට කරදරයක් නොවන බව හොඳටම ෂුවර්ය. බැරිවෙලාවත් මින් පසුත් වන සතුන්ගෙන් මිනිසුන්ට හිරිහැර වුණොත් කළ යුත්තේ මේ ආකාරයටම ගෙවනු ලබන වන්දි මුදල ඉහළ නැංවීම පමණය. 2004 වසරේ සිටම අප කර ඇත්තේ මේ ආකාරයටය.

2004 සිට 2016 සැප්තැම්බර් මාසය දක්වා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙලෙස වන්දි ගෙවා ඇති අතර එතැන් සිට වන්දි ගෙවීම සිදු කර ඇත්තේ දිස්ත්‍රික් වන්දි කමිටු මගිනි. මේ අනුව පසුගිය 2020 වසරේ පුද්ගල මරණ 114ක් වෙනුවෙන් රුපියල් මිලියන 34යි දශම 85ක් වන්දි ගෙවා තිබේ.

වන්දි ගෙවීමේ මේ සුපිරි වැඩපිළිවෙළ සාර්ථක වන්නට නම් තවත් පොඩි දෙයක් කළ යුතුය. මේ වනවිට ගම්බද පමණක් නොව නගරබදවද උවදුරක් බවට පත්ව තිබෙන රිලා, වඳුරු, දඬු ලේනා වැනි සතුන්ගෙන් සිදුවන අලාභ හානි සඳහාද ලක්ෂ ගණන් නැතත් සොච්චම් වන්දියක් හෝ ගෙවිය යුතුය. අයාලේ යන බල්ලන්ද, මිනිසාට මළවදයක් වී ඇතත් බල්ලෙක් සපා කෑවාට වන්දි ගෙවිය යුතු යැයි අප කියන්නේ නැත. බල්ලා වන සතකු නොවන නිසාය. එහෙත් නිවෙස් ආශ්‍රිතව කුරුමානම් අල්ලන වන සතෙක් නිසා සර්ප දෂ්ටන වෙනුවෙන්ද වන්දියක් ගෙවිය හැකි නම් වැඩේ සර්ව සම්පූර්ණ වනු ඇත.

මේ වැඩේ බකල් කරනවානම් ඒ විපක්ෂය සහ පරිසරවේදීන් පමණය. වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයක් ඇත්තේ වන සත්ත්ව හානි සඳහා වන්දි ගෙවමින් යෑමටද, නැතහොත් මේ ගැටුම් නැවැත්වීමට පියවර ගැනීමටදැයි ඔවුන් ප්‍රශ්න කරන්නට ඉඩ තිබේ. මිනිස් සත්ත්ව ගැටුම් නැවැත්වීමට පියවර නොගැනීම නිසා සතුන්ද මිය යනවා පමණක් නොව ඇතැම් සතුන් වඳ වෙන්නට පවා ඉඩ තිබෙන බව මේ අය කියන්නට ඉඩ තිබේ. එසේම ජීවිතයක වටිනාකම රුපියල් ලක්ෂ 10දැයි ප්‍රශ්න කරනු ඇත. මේ තර්කවලට නම් සැලෙන්නටම නරකය. ඔවුන්ගේ දෙකොන පූට්ටුවන ලෙස දිය හැකි පිළිතුරක් අපට පෙන්වා දිය හැකිය. ඒ මෙසේය,

වන සතුන් හේතුවක් නොමැතිව මිනිසුන්ට තබා සතෙකුටවත් පහර දෙන්නේ නැත. මේ නිසා මනසින් උසස් සතා යැයි කියන මිනිසා වන සතුන් සමග ගැටුම් ඇති කර නොගෙන සිටීමට දැන යුතුය. කුමන හේතුවක් නිසා හෝ ඇතිවන සත්ත්ව මිනිස් ගැටුම් වැළැක්වීමට කටයුතු කළහොත් පාඩුව සිදුවන්නේද සතුන්ටමය. එවිට සතුන් මරා දමන්නට සිදුවන නිසාය. එහෙත් සතුන්ටද ජීවත්වීමේ අයිතිය පිළිගන්නා ආණ්ඩුවක් ලෙස එසේ කිරීමට අප සූදානම් නැත. මේ දක්වා පැවැති ආණ්ඩු සියල්ලක්ම කටයුතු කර ඇත්තේ එම ප්‍රතිපත්තියට අනුවය. 2004 සිටම වන සත්ත්ව ප්‍රහාර වෙනුවෙන් වන්දි ගෙවන්නේ ඒ නිසාය. මිනිස් ජීවිතයක් වටින්නේ රුපියල් ලක්ෂ 10 දැයි ප්‍රශ්න කිරීම ඵලක් නැති තර්කයකි. මේ වන්දිය රුපියල් ලක්ෂ පහේ සිට දහය දක්වා වැඩි කර ඇති නිසාය. අනෙක් අතට මහ මගදී කහ ඉරක් උඩ වාහනයකට යටවී මිය යන කෙනකුටවත් මේ තරම් වන්දියක් ලැබෙන්නේ නැත.

සත්ත්ව මිනිස් ගැටුම්වලදී මිනිසුන් පමණක් නොව සතුන්ද මිය යන අවස්ථා තිබේ. මෙලෙස මිය යන සතුන්ගේ ජීවිතවලට වටිනාකමක් නැද්දැයි පරිසරවේදීන් ප්‍රශ්න කරන්න ඉඩ තිබේ. මිනිසුන් අතින් සතුන් මිය යෑම කොතරම් ශෝකජනක වුවත් ඒ ගැන ආණ්ඩුවකට කරන්නට දෙයක් නැත. සතුන් පහරදීමෙන් මිය යන හෝ අලාභ සිදුවන මිනිසුන් වෙනුවෙන් වන්දි ගෙවිය හැකි නමුත් මිය යන සතෙකු වෙනුවෙන් වන්දි ගෙවිය නොහැක්කේ ඌ වෙනුවෙන් වන්දි ලබා ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවන නිසාය. යම් හෙයකින් මිනිසුන් නිසා මිය යන සතෙකුගේ අයිතිය වෙනුවෙන් තවත් සතෙකු ඉදිරිපත් වන්නේ නම් වන්දි ගෙවීම පිළිබඳ සලකා බැලීමට සූදානම් බවද ප්‍රකාශ කළ හැකිය. මෙවැනි ප්‍රකාශයක් කිරීමට බිය විය යුතු නැත්තේ කියන හැම දේම කරන්නටම ඕනෑ යැයි නියමයක් නැති නිසා හා ජනතාව දේශපාලකයන් කියන හැමදේම වැඩි කාලයක් මතක තබා ගැනීමේද සිරිතක් නැති නිසාය.

එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මරා ගන්නා සේ මෙම සිද්ධිය තුළින් පරිසරවේදීන් හා සත්ත්ව ප්‍රේමීන් බ්ලාස්ට් කර දමන්නටද මහඟු අවස්ථාවක් තිබේ. ඩාවින්ගේ පරිනාමවාදයට අනුව පැවැත්මක් තිබෙන්නේ පරිසරයට අනුගත විය හැකි සත්ත්වයන්ට පමණය. ඩාවින්ගේ පැහැදිලි කිරීමට අනුව කිසියම් සත්ත්වයකු ජීවත් වීම සඳහා අනෙකුත් සතුන් සමග ඇති කර ගන්නා සටනද උගේ පැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධකයකි. මෙම ක්‍රියාදාමය වැළැක්වීමට උත්සාහ කිරීම යනු පරිනාමීය ක්‍රියාවලිය නැවැත්වීමට උත්සාහ කිරීමකි. එහෙත් ඊට සමත්කමක් ඇති ජගතෙකු තවත් අසංඛේ‍යය කල්ප ලක්ෂයකින් හෝ පහළවනු අතැයි සිතිය නොහැකිය.

පරිසරවේදීන් තේරුම් නොගන්නා මේ ඓතිහාසික සත්‍ය පිළිගන්නා නිසා අයින් වෙලා පයින් යන ගමන් සතෙකුගේ පහරදීමකින් මියයන කෙනකුට ඔවුන්ගේම මුදලින් කීයක් හෝ දෙනවා හැර අන් කුමක් කරන්නද?

එහෙමවත් නොකළහොත් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයක් මේ ර​ටේ ඇති බව හෝ කාට කාටත් අමතක වී යනවා නොවේද?