විශේෂාංග

සජිත් මගේ ප්‍රතිවාදියෙක් නෙවේ

මෙම මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ අගමැති ධුර අපේක්ෂකයා ලෙස මෙවරත් තරග කරන්නේ එහි නායක රනිල් වික්‍රමසිංහය.ඔහු සමග ‘සති අග අරුණ’ කළ සම්මුණ සාකච්ඡාවකි මේ.

මින් පෙර මහ මැතිවරණවලදී ඔබට හිටියේ එක ප්‍රතිවාදියායි. දැන් දෙන්නෙක් ඉන්නවා . සජිත් ප්‍රේමදාස සහ මහින්ද රාජපක්ෂ. ඔබට පුළුවන්ද මේ ප්‍රතිවාදීන් දෙදෙනාටම මුහුණ දෙන්න…

ආණ්ඩුව හදන්න ආණ්ඩු බලය ගන්න අපට ඉන්නේ එක ප්‍රතිවාදියායි. ඒ පොහොට්ටුව. අපි හැර වෙන කවුරුවත් ආණ්ඩු බලය ඉල්ලා නැහැ. එක්සත් ජාතික පක්ෂය සහ පොදු ජන පෙරමුණ විතරයි මේ මැතිවරණයේදී ආණ්ඩු බලය ඉල්ලන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ වැඩි බර ආණ්ඩුව පරදවන්නද නැත්නම් සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය පරදවන්නද..

අපිට ඕනෑ ආණ්ඩුව පරදවන්න. මොකද ආණ්ඩුවට විරුද්ධ අය අපට ඡන්දෙ දෙනවා.

එජාපයේ හිටපු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ඉන්නේ සජිත් ප්‍රේමදාස සමග. යම් විදිහකට එජාපය තුන්වැනි ස්ථානයට පත් වුණොත් මොකද වෙන්නෙ?

පසුගිය ජනාධිපතිවරණයේදී අපිට ලක්ෂ විසි පහක ඡන්ද අහිමි වුණා. ඒ සියල්ල මහ ජාතියේ සිංහල ඡන්ද. ඒවා දිනා ගන්නේ නැත්නම් එක්සත් ජාතික පක්ෂයට ඉදිරියට යන්න බැහැ. සුළු ජාතීන් වන මුස්ලිම් සහ දෙමළ අයත් අපට කිව්වේ අපේ කරපිටින් යන්න බැහැ සිංහල ඡන්ද තියෙද්දී අපේ ඡන්දත් අරගන්න නැත්නම් අපිව කොන්වෙලා අපිටයි ගහන්නේ කියලා. ඒක අපි ඇතිකර ගත යුතුයි. නැත්නම් තව ප්‍රශ්න ඇතිවෙයි. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ තියෙන්නෙත් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමක් ඇති කළ යුතුයි කියලා.

එජාපයට මන්ත්‍රීධුර 110 ක් පමණ ලැබුණොත් ආණ්ඩුවක් හදන්න විපක්ෂයේ සහාය ගන්න වෙනවා. එවිට ඔබ තෝරා ගන්නේ සජිත්ගේ සහායද නැත්නම් වෙන පක්ෂයක සහායද?

මම හිතන හැටියට මේ රටේ ජනතාව එක පක්ෂයකට බහුතරයක් දෙයි ආණ්ඩුවක් හදන්න. මං හිතන්නේ රට අද ඉල්ලන්නේ යහපාලන ආණ්ඩුවක් නෙවෙයි එක පක්ෂයක ආණ්ඩුවක් ඇති කරන්නයි. ඒ නිසායි අපි එක්සත් ජාතික පක්ෂයට බලය ඉල්ලන්නේ.

රට අධික ණය බරකින් පසුවෙනවා. එජාප ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා ආර්ථිකය පණ ගැන්වීම සඳහා ජාත්‍යන්ත මූල්‍ය අරමුදල හා වෙනත් මාර්ග ඔස්සේ ඇමරිකානු ඩොලර් මිලියන 6000 ක් සොයා ගන්නා බව. මේ නිසා ණය බර තවත් වැඩි වෙනවා නේද..?

ඇත්ත වශයෙන් ලෝකේ හැම ආර්ථිකයක්ම ණය වැඩිකර ගන්නවා. ඇමරිකාවෙත් ණය වැඩි වෙන්නේ ඇමරිකාවෙම වෙළෙඳපොලෙන් මුදල් හොයා ගන්න. එක්සත් රාජධානියෙත් එහෙමයි. අපිට තියෙන්නේ ඒ ගැන සාකච්ඡා කරලා මේ ඉතිරි ණය ගෙවන එක තව ටිකක් කල් දා ගන්න. දැනට දුප්පත්ම රටවලට ඒ අවස්ථාව දීලා තියෙනවා. හුඟක් අය කියන්නේ අනෙක් රටවලටත් ඒ අවස්ථාව දෙන්න කියලා. අපි ගන්න ණය කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ජාත්‍යන්තර හා අනෙකුත් මිත්‍ර රාජ්‍යවලින් ගත් ණය. ඒ නිල වශයෙන් ගත් ණය. අනෙක් ඒවා පෞද්ගලික ණය. වෙළෙඳපොළේ පෞද්ගලික ආයතනවලින් ගත් ණය. අපට වෙලා තියෙන්නේ පෞද්ගලික ආයතනවලින් ගත් ණය තමයි විශාල. ඒවා පාලනය කිරීම තනිවම බැහැ . වෙනම රැස්වීමකදී මේ ගැන සාකච්ඡා කරන්න තියෙනවා.

ප්‍රධාන පක්ෂ එකට එකතුවුණොත් රට සංවර්ධනය කළ හැකි කීවත් ඒ 2015 දී පිහිටුවා ගත් යහපාලන ආණ්ඩුව එය කරන්න අසමත් වුණා. පරිණත දේශපාලඥයෙක් ලෙස මේ ගැන ඔබට මොනවද කිව හැක්කේ..?

නැහැ..මේක සිද්ධ වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළෙම තිබුණු සටනක් නිසා. ඒක ඒ අයට හරියට විසඳගන්න තිබුණා. කොටසක් ඉවත් වෙලා ගියා එක්සත් ජාතික පක්ෂ විරෝධී බලවේගයක් ඇති කරන්න පොහොට්ටුව කියලා. මේක එක්සත් ජාතික පක්ෂ විරෝධී නම් ඉතින් අපිට බැහැනෙ එජාප විරෝධී බලවේග එක්ක වැඩ කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළෙම මේ ගැන සාකච්ඡා කරලා ඒ අයට යන්න තිබුණා. ඒත් ඒක සිදු වුණේ නැහැ.

එක්සත් ජාතික පක්ෂය බලයට ආ සෑම අවස්ථාවකදීම රටේ ජාතික ආරක්ෂාවට හානියක් වූ බවට පොදු මතයක් තියෙනවා. 2002 සාම ගිවිසුම හේතුවෙන් එල්ටීටීඊ පාලන ප්‍රදේශ පිහිටුවා ගැනීම, මිලේනියම් සිටි සිද්ධිය සහ මෑත කාලයේදී පාස්කු දින ප්‍රහාරය උදාහරණ වශයෙන් දක්වනවා. මේ ගැන ඔබට මොනවද කිව හැක්කේ..

මිලේනියම් සිටි සිද්ධියේදී කිසිම හානියක් වුණේ නැහැ. ඒ අය මගේ නෙවෙයි චන්ද්‍රිකා කුමාරතුංග දුන්නු තීරණයට පටහැනිව ක්‍රියා කළා. තමන්ට නිවාස තියා ගන්න බැහැ. ඇතිවුණු හානියක් නැහැ. සාම ගිවිසුම නිසා පසු බැස්ස හමුදාව අපි අලුතින් ශක්තිමත් කළා. ඊට පස්සේ යුද්ධය පරාජය වුණේ නැහැ. මුහුදු කොටි සංවිධානය කඩා කප්පල් කළා. කරුණා අම්මාන් එතැනින් ඈත්වුණා. ඒක නිසා තමයි ප්‍රභාකරන් කිව්වේ සාම කතා උගුලක් කියලා.

පාස්කු ඉරිදා ප්‍රහාරයේදී සිද්ධියේදී විශාල අඩුපාඩුවක් තිබුණා. ඒක දැනගෙන ක්‍රියා කළේ නැහැ. අනෙක මේ ගැන මාවත් ඇමැතිවරුන්වත් දැනුවත් කළේ නැහැ. දැනුවත් කළා නම් අපි ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වෙනවා. අපි ඔක්කොම ලංකාවෙ හිටියේ. ඒ ගැන අපි පාර්ලිමේන්තුවට කියලා පාර්ලිමේන්තුව පරීක්ෂණයක් කරලා වාර්තාවක් දී තිබෙනවා.

ඔබව ඒ දවස්වල ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට කැඳවීම් නොකළ බවත් කියනවා..

ඔව්.. කැඳවීම් කළේ නැහැ.

ඇයි ඔබට ඒ බව එළියට ඇවිත් ඒ දවස්වල කියන්න බැරි වුණේ..

ආරක්ෂක මණ්ඩලයක නීත්‍යනුකූල බලතල නැහැ. ඒකෙ ජනාධිපතිවරයා ඉන්නේ . මං හිතන්නේ මහින්ද රාජපක්ෂ දවස් පනස් දෙකකට අගමැති වුණ වෙලාවේ එයාවත් ආරක්ෂක මණ්ඩලයට කැඳවල තිබුණෙ නැහැ. අපි කිව්වේ අපිට නැවත නීතිය හා සාමය අමාත්‍යාංශය ඕනේ කියලා. ඒ තුළින් තමයි මම සාමාන්‍යයෙන් හුඟක් කරුණු දැන ගත්තේ. ඊට කලින් අවස්ථාවල මම ආරක්ෂක මණ්ඩලයට ගියාට ආරක්ෂක මණ්ඩලය හැමදාම සතියකට සැරයක් පැවැත්වූයේ නැහැ. සමහර විට සති තුනකට හතරකට සැරයක් තමයි ආරක්ෂක මණ්ඩලය රැස්වුණේ. ඒ කාලය තුළ සතියෙන් සතිය නීතිය හා සාමය භාර ඇමැතිවරයා අපිට ඒ කරුණු පැවැසුවා. එවකට සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කිව්වා එයාව ඝාතනය කිරීමට උත්සාහ කළා කියන සිද්ධියේ පරීක්ෂණ අවසන් වුණාට පස්සේ ඇමැති ධුරය ලබා දෙන්නම් කියලා. මාර්තු මාසයේ නොතිබ්බ නිසා අපි ජනාධිපතිවරයාට ආපහු කතා කරලා සිංහල අවුරුදු කාලෙට ගැනීම ගැන කතාකර කර හිටියේ. ඒකයි වුණේ. ඇත්ත වශයෙන්ම නීතිය හා සාමය අමාත්‍යාංශය වැදගත් . ජාතික ආරක්ෂක මණ්ඩලය සතියෙන් සතිය මුණ ගැහුනේ නැති නිසා ඒකේ වැදගත්කම අඩු වුණා.

රටේ ආරක්ෂාව බිඳ වැටීම සහ එම්. සී. සී. ගිවිසුම නිසා එජාපය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටි තිබෙනවා..?

එම්.සී.සී. ගිවිසුම මේ ආණ්ඩුවත් අත්සන් කරන්න යනවා.

එජාප ආණ්ඩුව මොන දෙයක් කළත් ජනතාව හිතනවා රට විනාශ කරන්න හදනවා කියා..

ඉතින් ඒකට විරුද්ධ ව්‍යාපාරයක් ගෙන ගියා.. මාධ්‍යත් ඒකට විරුද්ධ ව්‍යාපාරයක් ගෙන ගියා. දැන් ආණ්ඩුව අත්සන් කළොත් මොකක්ද මාධ්‍ය කරන්නේ. ඒක මාධ්‍යයෙන් ගෙන ගිය විරෝධයක් . මේගොල්ලන් තනියම ගියානම් සාර්ථක වෙන්නේ නැහැ. ඒකයි දැන් වියත් මග එකක් කියනවා..ආණ්ඩුව නිශ්ශබ්ද වෙලා ඉන්නවා.

එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් දැන් ඔබ දරන මතය මොකක්ද..?

අපි මීට ඉස්සෙල්ලත් එම්.සී.සී. ගිවිසුමක් අත්සන් කළා.ඒ 2004 දී. චන්ද්‍රිකා කුමාරතුංග බලයේ සිටිද්දී එය ක්‍රියාත්මක කරන්න මහින්ද රාජපක්ෂ පියවර ගත්තා. එතන එක කොන්දේසියක් වූ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ කොන්දේසිය. එය උල්ලංඝනය කළ නිසා ඇමරිකානු ඩොලර් මිලියන 1000ක් අපට ලැබුණේ නැහැ. ඒ කොන්දේසිම තමයි මෙතැනත් තියෙන්නේ.

කොරෝනා වසංගතය එද්දී යහපාලනය හෝ එජාප ආණ්ඩුවක් තිබුණා නම් රටට දෙයියන්ගෙම පිහිටයි කියලා සමහරු කියනවා..

කොරෝනා පරීක්ෂණ නැතුව දැන් හැම එක්කෙනාටම දෙයියන්ගේ පිහිට තමයි. එක්සත් ජාතික පක්ෂය තිබුණා නම් ඇඳිරි නීතිය දානවා විතරක් නෙවෙයි පරීක්ෂණත් ආරම්භ කරනවා. පරීක්ෂණ නැතිකිරීමේ ප්‍රතිවිපාකයනේ දැන් රටේ තියෙන විශාලතම ප්‍රශ්නේ.

ඒ කියන්නේ කොරෝනා මර්දනය පිළිබඳ මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන ඔබ තුළ විවේචනයක් තියෙනවා…?

ඔව්. පරීක්ෂණ කළේ නැහැ. ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය දැන් නැති වෙලා තියෙන්නේ. දෙන සංඛ්‍යා ලේඛන වැරදියි.

ඒ නිසාද එජාප ප්‍රතිපත්ති ප්‍රකාශයටත් කොරෝනා මර්දනය ඇතුළත් කළේ..?

ඔව්..අපි සැලැස්මක් දීලා තියෙනවා.

කොරෝනා වසංගතය සදාකාලිකයි කියන එකද ඔබ කියන්නේ..?

නෑ..අපි ඒ ගැන පරීක්ෂණ පවත්වන්න ඕනේ. දෙවනුව අපේ සෞඛ්‍ය ක්‍රමය ශක්තිමත් කළ යුතුයි. නැත්නම් කෙරෝනා සමග ඩෙංගු හෝ වෙනත් වසංගතයක් එන්න පුළුවන්.

එජාප නායකත්වය සම්බන්ධ අර්බුදය නිසා සජිත් ප්‍රේමදාස පක්ෂයට අහිමි වුණා. දින කීපයකට කලින් නුවරඑළියෙදී නවීන් දිසානායක කියනවා ඉන්න නායකයා පරණයි නව නායකත්වය තමන්ට ලැබිය යුතුයි කියා. මේ පක්ෂ නායකත්ව අර්බුදය තවත් මුහුණුවරකින් කරළියට ඒමක්ද ?

කිසිම අර්බුදයක් නැහැ. මමත් කියලා තියෙනවා මේ පක්ෂය තරුණ නායකයෝ ගන්න ඕනේ කියලා. ඉතිං ඒක තමන් අතර විසඳගන්න තියෙන එකක්. අපි පෙරේදා තරුණ සම්මන්ත්‍රණයක් පැවැත්වූවා. තරුණයන් මේවා භාර ගත යුතුයි. අපේ වැඩ කටයුත්ත තියෙන්නේ එතැනට මාර්ගය හදන්නයි. වෙන අර්බුදයක් නැහැ. මම මේ සති අන්තයේ නුවරඑළියෙ ඉන්නේ. එතකොට කියන්න තියෙන දෙයක් කියන්න පුළුවන්නේ. එහෙම මොකුත් ඇති වෙන්නේ නෑ.

සජිත් ප්‍රේමදාසගේ ප්‍රශ්නයෙදිත් ඔබ කිව්වේ වැඩි කල් නායකත්වයේ ඉන්නෙ නැහැ.. තරුණ කෙනකුට භාර දෙනවා කියලා. එහෙම කියපු ඔබ මෙවරත් එජාප නායකයා ලෙස අගමැතිකමට තරග කරන්නේ ඇයි ?

මම නෙමෙයි…පක්ෂයේ බහුතරයක් තීරණය කළා අපි යූ. එන්. පී. යෙන් තරග කරන්නෙ කියලා. සජිත් ප්‍රේමදාසට කිව්වා එයාට වුවමනානම් අගමැති අපේක්ෂකයා වෙන්න පුළුවන් කියලා. ඒත් ඒ අය වෙනත් පක්ෂයකින් එන්න ඕනේ කියලා පක්ෂයක් හැදුවා. එක්සත් ජාතික පක්ෂය ගැන ඒ අයට විශ්වාසයක් තිබුණෙ නැහැ. අපි පක්ෂය හැටියට ඉදිරිපත් වුණා. අපේ ප්‍රතිවාදියා ආණ්ඩු බලයට තරග කරන කෙනායි. සජිත් ප්‍රේමදාස අපේ ප්‍රතිවාදියා කියල කිසිම දවසක අපි කියලා නැහැ.

88 – 89 එජාප පාලන කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඝාතනයට ලක්වුණා. එජාපය සහ ජවිපෙ කියන්නේ අන්ත දෙකක පක්ෂ දෙකක්. ඒත් පහුගිය කාලේ මේ පක්ෂ දෙකේ බෙදීම් ⁣රේඛාව තරමක් දුරට අඩු වෙලා සමීප වුණා. එවැනි දේකට ඔබ සමත්වුණේ කොහොමද..?

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගත්තා. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපි එක මතයක ඉන්නේ. අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කටයුතු කරද්දී ඒ අයත් ඊට පියවර ගත්තා. අනෙක් කරුණු ගැන වෙන වෙන මත තියෙනවා. දේශපාලනය තුළ වෙනත් මත තියෙන්න ඕනේ. ජවිපෙ සන්නද්ධ අරගලය අතහැරලා ප්‍රජාතන්ත්‍රවාදයට ආ එක හොඳයි. එල්.ටී.ටී.ඊ.යත් එහෙම කළානම් ඒ අයත් අද දේශපාලනයේ ඉන්නවා.

ඉන්දු චීන සහ චීන ඇමරිකා අරගලවලදී ශ්‍රී ලංකාව දිගටම ගොදුරක් බවට පත්වුණා. ඔබ ඇමරිකානු හිතවාදී පුද්ගලයෙක්. ඔබේ පාලනයකදි මේ තත්ත්වය කළමනාකරණය කර ගන්නෙ කොහොමද..?

අපි ගොදුරු වුණේ නැහැ. හොඳ මිත්‍රත්වයක් තිබුණා. චීනය, ඉන්දියාව , ජපානය සහ ඇමරිකාව මේ හැම එක්කෙනෙක් එක්කම මිත්‍රත්වයෙන් හිටපු එක තමයි අපේ කළමනාකරණය.

ඔබ ඔය කියන්නේ මේ ආණ්ඩුව ඒ මිත්‍රත්වය පළුදු කරගෙන කියලද..?

මම හිතන්නෙ නෑ හැම කෙනා එක්කම මිත්‍ර බව ඒ අයට පෙන්වන්න පුළුවන් කියලා. ප්‍රශ්න ඇති කරගෙනනෙ තියෙන්නේ.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධන වෙනස් කළ යුතු බව මේ ආණ්ඩුව කියනවා. එය වෙනස්කරන්න තුනෙන් දෙකේ බලයක් ඉල්ලනවා. මෙය වෙනස් කළ යුතුද.?

ඒ ගොල්ලන් තීරණය කළ යුතුයි අගමැති සහ ජනාධිපති අතර තියෙන ප්‍රශ්න. බලතල කොහෙද තියෙන්නෙ කියලා රටට කියන්න. ජනාධිපතිට බලය දෙනවනම් ඒ අයට පාර්ලිමේන්තුවේ බහුතරයක් වුවමනා නැහැ. ඒ ගොල්ලන් අතර තියෙන ප්‍රශ්නයකට අපි නිකන් මැදිහත් වෙලා වැඩක් නැහැ.

සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති පුකාශයේ තියෙනවා 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරලා ඒකීය රටක් තුළ බලය බෙදා හරිනවා කියලා. එජාප ප්‍රතිපත්තියත් මෙයමද..?

දැන් බලය බෙදලා ඉවරයි. මං කියන්නේ ඉතිරි ප්‍රශ්නවලට පාර්ලිමෙන්තුවේ සාකච්ඡා කර විසඳුමක් දෙනවා . වැඩිපුර බලය දෙනවද, ඒකීය රාජ්‍යයට හානිවෙනවද කියන එක විතරයි ප්‍රශ්නයකට තියෙන්නේ. ඒකීය රජයට හානි නොවන ලෙස වැඩිපුර බලය දෙන්න අපි සාකච්ඡා කරලා තියෙනවා . සමුපකාර බලතල, සෞඛ්‍ය බලතල වැඩිපුර දුන්නා කියලා ඒකීය රාජ්‍යය නැතිවෙන්නෙ නැහැ. තව ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. බලය බෙදීම නිසා අපේ වියදම වැඩි වෙලා . ඒත් කාර්යක්ෂමතාව වැඩි වෙලා නැහැ. සමහරු කියනවා පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තුව කියන තුනේම මහජන නියෝජිතයන් වැඩියි කියලා. ඔය ප්‍රශ්න හැම එකක්ම අපි විසඳන්න ඕනේ

ටී. එන්. ඒ. සංවිධානය ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ෆෙඩරල් පාලනයක් ඉල්ලනවා. ඔබේ ආණ්ඩුවකදී ටී.එන්.ඒ. ඉල්ලීම් ලබා දෙනවද.?

ඒ අය හැමදාම ෆෙඩරල් ගැන කිව්වා. ඔවුන් විසඳුමකට එන්න ලෑස්තියි.

ඔබ ෆෙඩරල් ලබා දෙනවද.?

නැහැ. අපි ෆෙඩරල් පිළිගන්නෙ නැහැ..

අර්ජුන මහේන්ද්‍රන් ඔබේ හිතවතෙක්. ඔහු රටින් පැන ගිහින්. නමත් වෙනස් කර ඇති බව කියනවා. මහ බැංකු බැඳුම්කර වංචාවෙන් රටට අලාභයක් වී නැති බව ඔබ කියනවා. බැලූ බැල්මට මෙහිදී අපරාධයක් සිදුව තිබෙනවා. ඔබේ ආණ්ඩුවකදී මේ සිද්ධිය සම්බන්ධයෙන් ගන්නා පියවර මොනවද.. ඔබේ හිතවතා ලංකාවට ගෙන්වනවද.?

මම මේ ගැන විපරම් කළා. එහෙම නම වෙනස් කරලා නැහැ කියලා තමයි අපිට ආරංචි වුණේ. සිංගප්පූරුවේ නමක් වෙනස් කරනවනම් ඒ ආණ්ඩුවට දැනුම් දෙන්න ඕනේ. එහෙම දෙයක් වෙලා නෑ කියලා දෙතුන් දෙනෙක් මට දැනුම් දුන්නා. මෙතැන අලාභයක් වෙලා නැහැ. රුපියල් මිලියන 12000 ක් අපේ භාරයට ගත්තා. දැන් තියෙන ප්‍රශ්නය තමයි කාටද මේ මුදල් අයිති කියා ඔප්පු කරන එක. ඒක වැදගත් අපරාධ නඩුවක් දානවානම්. එතැන සිවිල් ප්‍රශ්නයි අපරාධ ප්‍රශ්නයි දෙකම තියෙනවා. අපි කිව්වා නඩු දාලා ක්‍රියා කරන්න කියලා. එයා ආපහු ගෙන්වා ගන්න සිංගප්පූරු උසාවියට දැනුම් දෙන්න ඕනේ. දැනුම් දුන්නට පස්සෙ තමයි ඔවුන් ක්‍රියා කරන්නේ. තියෙන සාක්කි අනුව ක්‍රියා කරන්න පුළුවන්. මේ අලුත් ආණ්ඩුව බලන්න ඇතිනේ ඒ ගැන.

අජිත් අලහකෝන්