කතුවැකි

සජිත් දිනුවා නං සුදු වෑන් රියැදුරෝ අධ්‍යක්ෂවරු වේවි

සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර හා අතුල සංජීව මදනායක යන නම්වලින් හඳුන්වන පුද්ගලයන් මේ රටේ වැඩි දෙනකු හඳුනන්නේ නැත. එහෙත් රාජිත සේනාරත්නගේ සුදු වෑන් රියැදුරන් හෝ රාජිතගේ වඩිග පටුන නළුවන් හෝ රාජිතගේ කිඹුලන් යැයි කී විට ඒ කියන්නේ කවුරුන් ගැන දැයි මුළු රටම දන්නේය. ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ මේ දෙදෙනා දැන් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය.

මේ දෙදෙනාගේ කතාව දේශපාලකයන් තමන්ගේ වාසියට ඕනෑම සක්කිලි වැඩක් කිරීමට පසුබට නොවන බවට හොඳ උදාහරණයකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරය දැරූ සමයේ මිනිසුන් පැහැර ගැනීමට යොදාගත් සුදු වෑන් රියැදුරන් වූයේ තමන් බව මේ අය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය පෙනි පෙනී තිබියදීය. ඔවුන්ව මේ මාධ්‍ය හමුවට ගෙන ආවේ එවකට ඇමැතිවරයකු වූ රාජිත සේනාරත්නය. ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය නොගන්නට එදා ඔවුන් කළ භයානක ප්‍රකාශය සත්‍යයක් ලෙස මේ සමාජය තුළ තහවුරු වන්නට ඉඩ තිබිණි.

නමුත් දැන් සියල්ල හෙළිදරව් වී තිබේ. ඔවුන් එදා කළ ප්‍රකාශය අසත්‍යයක් පමණක් නොව ඔවුන් දෙදෙනාගේ පැටිකිරියද එළියට පැමිණ ඇත. එහෙත් එදා ඔවුන් මාධ්‍ය හමුවේ සඳහන් කළ එක් කාරණයක් ඇත්තය. ඒ ඔවුන් සුදුවෑන් පැදවූ බවය. ඔවුන් මිනිස් ඝාතනවලට සම්බන්ධ වී ඇත්තේ ද රුපියල් කෝටි ගණනින් මුදල් මංකොල්ල කා ඇත්තේද සුදු වෑන් එකකින් ගමන් කරමිනි. දැන් ඔවුන්ගේ මේ අපරාධ චෝදනා අතරට තවත් චෝදනාවක් එක් වී තිබේ. ඒ සම්බන්ධයෙන්ද ඉදිරියේදී ඔවුන්ට දඬුවම් විඳීමට සිදුවනු ඇත. එහෙත් එතැනින් මේ කතාව අවසන් වන්නේ නැත. ඔවුන්ව තමන්ගේ කැත දේශපාලන සෙල්ලමේ ඉත්තන් බවට පත් කළ දේශපාලකයන් ඒ වෙනුවෙන් දඬුවම් විඳින්නේ කවදාද?

අපරාධකරුවන්, ඝාතකයන්, ස්ත්‍රී දූෂකයන් මෙරට දේශපාලනයේ ඉත්තන් පමණක් නොව ප්‍රධාන චරිතද බවට පත් වෙන්නට පටන් ගත්තේ 1977 න් පසුව මේ රටේ ඇති කළ ඊනියා ධර්මිෂ්ට සමාජයත් සමගය. ස්ත්‍රී දූෂකයන්ට සමාදාන විනිශ්චයකාර පදවි දෙමින් ආරම්භ වූ මේ ක්‍රියාවලිය කුලියට මිනී මරන්නන් පක්ෂවල කෘත්‍යාධිකාරී මණ්ඩලවලට පත් කිරීම, ජනාධිපති ආරක්ෂක අංශවල ප්‍රධානීන් බවට පත් කිරීම තරම් දුරකට ගිය බවට මතකය.

එදා ද අද මෙන්ම අපරාධකරුවන්ගෙන් වැඩ ගත් දේශපාලකයන් නිර්දෝෂී වූ අතර වන්දි ගෙවන්නට සිදු වූයේ දේශපාලනය වෙනුවෙන් කොන්ත්‍රාත් ඉටුකළ අයට පමණය. රාජිත සේනාරත්න නම් පාරාජිකා වූ දේශපාලකයාට මේ ‘බිලී’ දීම ඉතාමත් හුරුපුරුදු කටයුත්තක් බව ඔහුගේ ඉතිහාසය දන්නා අය දන්නා කරුණකි. ඒ ගැන නොදන්නා අයට 88-89 භීෂණ යුගයේ ‘ප්‍රා’ නමැති රාජ්‍ය අනුග්‍රහය ලැබූ මිනීමරු කල්ලිය ගැන විස්තර සොයා ගැනීමෙන් දැනගත හැකි වනු ඇත.

අප රටේ දේශපාලනය ජාවාරමක් බවට පත්ව ඇත්තේ නුසුදුස්සන්, පාර්ලිමේන්තුවට යැවීම නිසා බව බොහෝ හාන්සි පුටු විචාරකයන් කියනා කාරණයකි. ඔවුන් කියන්නේ දේශපාලනයේ ගරා වැටීමට නොවරදින විසඳුම උගතුන්, බුද්ධිමතුන් තෝරා ගැනීම බවය. එහෙත් මාධ්‍ය හමුවට අපරාධකරුවන් ගෙනැවිත් වඩිගපටුන නැටුවේ අටපාස් දේශපාලකයකු නොව වෛද්‍ය උපාධියක් හිමි, කලක් වාමාංශික දේශපාලනයේද යෙදුණු බව කියන රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාය. එසේ නම් පාදඩ දේශපාලනයේ නිරතවීම හෝ නොවීම උගත්කම මත තීරණය වන දෙයක් නොවන බව අපට පිළිගැනීමට සිදුවේ. මෙහි ඇති භයානකම කාරණය වන්නේ රාජිත සේනාරත්න වැනි උගතුන් ලෙස ලෝකය හමුවේ පෙනී සිටින අය මේ පාදඩ දේශපාලනයේ නිරත වීමය.

යම් හෙයකින් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජයට පත් වී සජිත් ප්‍රේමදාස මහතා ජය ගත්තේ නම් රාජිතගේ සුදු වෑන් රියැදුරන් කිසියම් සංස්ථාවක ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් බවට පත් වන්නටද ඉඩ තිබිණ. අපේ දේශපාලනයේ හැටි එහෙමය. අප තිත තැබිය යුත්තේ එම ප්‍රතිපත්තියටය.

මේ නිසා අපරාධකරුවන් තම දේශපාලනයට එක්කර ගැනීම ගැන රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට දඬුවම් කිරීමෙන් පමණක් මේ ක්‍රමය නවතිනු ඇතැයි අප කල්පනා කරන්නේ නැත. මේ පාදඩ දේශපාලනයේ යෙදෙන එකම දේශපාලකයා රාජිත සේනාරත්න පමණක් නොවන බැවිනි.

අප රටේ යහපත්, දියුණු දේශපාලන සංස්කෘතියක් ඇතිකර ගැනීම අප සැමගේ අවශ්‍යතාවක් නම් මෙවැනි අපරාධ සහායක දේශපාලකයන් මෙරට දේශපාලන භූමියෙන් පිටමං කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවකි. එය ජනතාවගේ තීන්දුවක් වුවත් ඒ සඳහා පළමු පියවර තැබිය යුත්තේ දේශපාලන පක්ෂ විසිනි. තමන් අපරාධ සහායක දේශපාලකයන්ට ඉඩක් නොදෙන බවට එක් දේශපාලන පක්ෂයකට හෝ සහතිකයක් දිය හැකි නම් අනෙකුත් පක්ෂවලටද ඒ මග ගැනීම හැර අන් විකල්පයක් නොමැති වනු ඇත. ඒ සඳහා වැඩි හැකියාව ඇත්තේ බලයේ සිටින පක්ෂයට බව අපගේ අදහසය. ආණ්ඩුවට එවැනි සහතිකයක් දිය හැකි නම් රාජිත සේනාරත්නට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම හුදු දේශපාලන පළිගැනීමක් ලෙස අර්ථ දක්වන්නට කිසිවකුට නොහැකි වනු ඇත.

මෙවැනි අපරාධ සහායක දේශපාලකයන් ප්‍රතික්ෂේප කිරීම මේ රටේ දේශපාලනය පමණක් නොව සමස්ත සමාජයම පිරිසුදු කිරීමට හේතුවක්ද වන බව අමුතුවෙන් කිව යුතු නැති කාරණයකි. දේශපාලන අනුග්‍රහය නොමැති නම් රටේ අපරාධ මර්දනය කිරීම බොහෝ පහසු කටයුත්තක් වන බැවිනි.