විශේෂාංග

සඟවන සහල් එළියට ගන්න බැරිනම් පාලන මිලක් වැඩක් නෑ

අද වනවිට මෙරට සහල් මිල ඉහළ ගොස් ඇත. එනිසා සහල් මිල පාලනයට පාලන මිලක් නියම කිරීමටද රජයට සිදුව ඇත. නමුත් ඒ මිලට සහල් මිලදී ගැනීමට නොමැති අතර, මේ වනවිට සහල් හිඟයක්ද ඇතිවෙමින් තිබේ. ඒ අතර මෙවර මහ කන්නයෙන් පසු රජයේ වී සංචිතය මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි. එකී ඉලක්කය සපුරාගත හැකිද? මෙරට සහල් මිල වැඩිවීමට බලපෑම් කරන ආර්ථික සාධකයන් මොනවාද යන්න පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අජිත් දිසානායක සමග කළ සංවාදයයි මේ.

වෙළෙඳපොළ තුළ සහල් මිල ඉහළ යෑමත් සමග ඒ සඳහා මේ වනවිට රජය පාලන මිලක් නියම කරල තියෙනව. හැබයි ඒ පාලන මිලට දෙන්න හාල් නැති බව වෙළෙන්දන් පවසනව. ඒ නිසා ‘පාලන මිල’ කියන එක මේ වෙද්දි සමාජය තුළ විහිළුවට ලක්වෙන කාරණයක් වෙලා. මේ විදිහට හාල් මිල පාලනය කරන්න යෑම කෙතරම්දුරට ප්‍රායෝගිකද?

හාල් මිල අඩුකරන්න පාලන මිලක් දැමීම නෙමේ එකම විසඳුම. පළමුවෙන් අපේ වෙළඳපොළ අසමත්වීම් නිවැරැදි කිරීම කළ යුතුයි. අපි හිතමු සහල් රුපියල් 100ට වෙළෙඳපොළ තුළ විකුණනව කියල. එතනදි රුපියල් 80ක පාලන මිලක් ගෙනාපු ගමන් සහල් තොග පිටින් තියාගෙන ඉන්න ව්‍යාපාරිකයො තමන්ගෙ තොග සඟවනව. ඒ නිසා රජය පාලන මිලක් දැමිය යුත්තෙ දෙවැනි, තෙවැනි, සිව්වැනි පියවරයන් ගන්න බලාගෙන. එතැනදි සඟවන සහල් තොග එළියට ගන්න ක්‍රමයක් හදන්න ඕන. මිලදී ගන්න මූල්‍ය පහසුකම් තියෙන්න ඕන. දෙවනුව ඒවා ප්‍රවාහනය කරන්න, ගබඩා කරන්න පහසුකම් සලසා ගන්න ඕන. ඊට පස්සෙ ඒවා හැම පාරිභෝගිකයෙක්ටම සාධාරණ ලෙස බෙදී යන ආකාරයෙන් සලාක ක්‍රමයකට වෙළෙඳපොළට මුදාහරින්න ඕන. නැත්නම් වෙන්නෙ මිල අඩුවුණු ගමන් මහා පරිමාණ වෙළෙන්දන් එක්කෙනෙක් දෙන්නෙක් ඇවිත් අඩු මිලට තියෙන සහල් තොග සියල්ල මිලදී ගෙන ගබඩා කරල, නැවත සහල් සැඟවීම. ඒ නිසා බෙදාහැරීමේ යාන්ත්‍රණය නිවැරදිව සැකසීම අනිවාර්යයයි. එහෙම නැත්නම් කළු කඩ මිලක් ඇති වෙනව. කවුරුන් හෝ එහෙම කළු කඩ මිලක් ඇතිකරනව නම් ඒ ව්‍යාපාරිකයන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. එහෙම නැතිව නිකම් පාලන මිලක් දාල ගැසට් ගැහුවට වැඩක් නෑ.

ඊළඟ කාරණය තමයි පාලන මිලක් දාද්දි සහල් ඉල්ලුමට සරිලන සැපයුමක් වෙළෙඳපොළ තුළ ඇති කිරීමට රජය කටයුතු කරන්න ඕන. මොකද අඩු මිලට සහල් තියෙද්දි නැවත ඉල්ලුම වැඩිවුණොත් මිල ඉහළ යනව. ඒ නිසා ලොකු සංචිතයක් තියාගෙන තමයි පාලන මිලට යන්න ඕන.

කෘෂිකර්ම ඇමැතිවරයා පවසන්නෙ ගොවියන් වී තොග රජයට දෙන්නෙ නැත්නම් ඊළඟ වතාවෙදි පොහොර සහනාධාර ලබානොදෙන බව. ඇයි ගොවියන් වී තොග සඟවන්නේ…

ඒකට එක හේතුවක් තමයි ලංකාවෙ බියර් සමාගම් ගොවියන්ගෙන් රතු සහල් තොග පිටින් මිලදී ගැනීම. අනෙක් කාරණය රජය ලබාදෙන සහතික මිලට වඩා වැඩි මිලකට මෙරට මාෆියාකර ව්‍යාපාරික පන්තිය ගොවියන්ගෙන් වී මිලදී ගැනීමට කටයුතු කිරීම. එතනදි ඔවුන් ගොවියන්ගෙන් ගන්නෙ ඉස්තරම් තත්ත්වයේ වී විතරයි. නමුත් රජය වී මිලදී ගනිද්දි බොල් වී අයින් කිරීමක් කරන්නෙ නෑ. ඒ නිසා ඇතැම් විට ගොවියන් බොල්වී කලවම් කරල වී තොග රජයට ලබාදෙනව. එතනදි රජයට පාඩු සිද්ධ වෙනව.

අනෙක් කාරණය අපේ සුළු ගොවි ප්‍රජාවට දෙන පොහොර ප්‍රමාණය ඉතාම ස්වල්ප ප්‍රමාණයක්. ඔවුන්ට යැපුම් මට්ටමේ ඉන්නෙ. හැබැයි මහා පරිමාණයෙන් ගොවිතැන් කරන අය තමයි මේ වී සැඟවීම් කරන්නෙ. එතනදි රජයට නිවැරැදි සංඛ්‍යා දත්ත තියෙන්න ඕන ගොවිබිමේ සැබෑ අයිතිය කාටද තියෙන්න කියන එක ගැන. අද මහා පරිමාණ ව්‍යාපාරිකයො ගොවියන්ගෙන් මහා පරිමාණ ඉඩම් බදු ගන්නව. එතනදි ගොවියගෙ නමට තමයි කුඹුර තියෙන්නෙ. ඒ නිසා ඒ ගොවියගෙ නමට තමයි පොහොර නිකුත් කරන්නෙ. ඒත් ගොවියා පොහොර මිලදී ගන්නෙ අර මහා පරිමාණ ව්‍යාපාරිකයට. ඒක තමයි රජය අල්ලගන්න ඕන.

මේ තත්ත්වය නතර කරන්න නම් රජය තමන් සතුව තියෙන කුඹුරුවල වී වගා කළ යුතුයි. රජයට තියෙනව ලොකු ගබඩා පහසුකම්. ප්‍රවාහන පහසුකම්. මේව ශක්තිමත් කරල රජය ගොවිතැන් කරන්න ඕන. රජය සතු ගොවිපළවල් කොච්චර තියෙනවද? ඒත් ඒව පෞද්ගලික අංශයට බදු දීලනෙ තියෙන්නෙ. ඒව අරගෙන රජය ගොවිතැන් කරන්න ඕන. උදාහරණයකට විදුලිබල මණ්ඩලය ගමුකො. විදුලිබලය නිෂ්පාදනය කරන්න තමයි ලංකා විදුලිබල මණ්ඩලය පිහිටෙව්වෙ. ඒත් අද ඒක වෙන්නෙ ගල්අගුරු, ඩීසල් පිටරටින් ගෙනල්ල විදුලිය විකිණීම. ඒ වගේ දෙයක් තමයි කෘෂිකර්ම අමාත්‍යාංශයත් කරන්නෙ. ගොවිතැන් කරන්නෙ නෑ. පොහොර නිකුත් කිරීම පාලනය කරන්න යනව. කෘෂිකර්ම අමාත්‍යාංශයෙ ප්‍රධාන රාජකාරිය වෙන්න ඕන ගොවිතැන. කෘෂිකර්ම අමාත්‍යාංශයෙ ගොවියො ඉන්න ඕන. කෘෂිකර්ම අමාත්‍යාංශය අද නිෂ්පාදකයො නොවී පාලකයො වෙලා. අද එක ගොවියෙක් නෑ කෘෂිකර්ම අමාත්‍යාංශයෙ. ඉන්නෙ නිලධාරීන් කියල වැටුප් ලබන සූරාකන බහිරවයො ටිකක්.

කෘෂිකාර්මික රටක් වෙලා සහල් අතිරික්තයක් තිබුණු රටක අද සහල් මිල ඉහළ යෑමට බලපෑම් කරල තියෙන ආර්ථික සාධක මොනවාද?

අපි නිදහසින් පස්සෙ අපට ගැළපෙන අාර්ථික ක්‍රමයක් හදාගත්තෙ නෑ. යටත්විජිත පාලකයො හිතාමතාම අපේ කෘෂි කර්මාන්තයට පහරදුන්න. ඔවුන්ගෙ වැවිලි කර්මාන්තවලට තමයි සානුබලයන් සැපයුවෙ. ඒ වගේම 1978 ආපු විවෘත ආර්ථිකයත් එක්ක දේශීය වශයෙන් සහල් නිෂ්පාදනය කරනවට වඩා විදෙස් රටවලින් සහල් ආනයනය කිරීම ලාබදායී බව එවක පාලකයො තේරුම් ගත්ත. ඒ නිසා ඉන්දියාව, බුරුමය වගේ රටවලින් සහල් ආනයනය කළා. පූර්ණ තරගකාරීත්ව විවෘත ආර්ථිකයෙ න්‍යාය වුණාට ප්‍රායෝගිකව ඒක සිද්ධ වුණෙ නෑ. ඉල්ලුම හා සැපයුම මත මිල තීරණය වීම න්‍යාය වුණත්, වෙළඳපොළ සමස්ත විදිහට පූර්ණ තරගකාරී වුණත් ශීර්ෂ වෙන් කළාම ඒක තුළ මාෆියාවක් ගොඩනැගුන. පූර්ණ තරගකාරී වෙළෙඳපොළක් වෙනුවට බිහිවුණෙ ඒකාධිකාරී සහ කතිපෙයාධිකාරී වෙළෙඳපොළක්. ඒ නිසා පූර්ණ තරගකාරී වෙළෙඳපොළ තුළ ඇතිවුණ කොටස් අසම්පූර්ණයි. ඒ කියන්නෙ වෙළඳපොළ අසමත්වීම් ඇතිවෙන්න පටන් ගත්ත. මේ බාහිරතාවලට සාර්ථක පිළිතුරු නොදීමේ ප්‍රතිවිපාක අද හැමෝටම භුක්ති විඳින්න වෙලා තියෙනව. ඒ නිසා තමයි සහල් වෙළෙඳ අධිකාරියක්, වෙළෙඳ මාෆියාවක් ගොඩ නැගෙන්නෙ.

යටත්විජිත පාලකයො හිතාමතාම අපේ දේශීය කෘෂිකර්මාන්තය විනාශ කළ බව ඔබ පවසනව. ඒත් එලෙස යටත්විජිතයක්ව තිබුණු ඉන්දියාව අද සහල් අපනයනය කරනව. ඔවුන් දේශීය කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමට කටයුතු කර තියෙනව. අපි කොතැනද අසමත් වුණේ…?

අපේ රටේ නිදහසින් පස්සෙ ජාතික ප්‍රතිපත්තියක් නොතිබීම තමයි මේ අසමත්වීම්වලට හේතුවෙලා තියෙන්නෙ. 1948 ඉඳල මේ දක්වා මාරුවුණු ආණ්ඩුවලට ස්ථිර ජාතික ප්‍රතිපත්තියක් තිබුණෙ නෑ. නමුත් ඉන්දියාව අරගෙන ගියේ ජාතික ප්‍රතිපත්තියක්. ඔවුන් ඒ ඔස්සේ ඉලක්කවලට ඇවිත් තියෙනව. එදා සිංගප්පූරුව දියුණු වුණෙ අපි දිහා බලල. ඔවුන් දියුණු වෙන්නත් අපිට බැරිවෙන්නත් හේතුව තමයි අපේ රට පාලනය කළ දේශපාලකයන්ට කිසිම සැලැස්මක් නොතිබීම.

අද වෙද්දි දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් ආහාර ආනයනය සීමා කරල තියෙනව. සහල් වුණත් අද වෙද්දි ආනයනය කරන්නෙ නෑ. මේ තත්ත්වයත් සහල් මිල ඉහළ යන්න හේතුවෙලා තියෙනවද?

දේශීය වශයෙන් අවශ්‍ය කරන වී ප්‍රමාණය අපට සැපයුම් කරගන්න බැරිවුණ අවස්ථා ආව. එතකොට අපේ ව්‍යාපාරිකයො විදේශීය වශයෙන් සහල් ආනයනය කළා. 2014දි ලංකාවෙ සහල් අතිරික්තයක් තිබුණ. හැබැයි 2018 මැද වෙද්දි 42%ක් විදේශීය වශයෙන් ආනයනය කරනව. සහල් ආනයනය කරන අය දේශීය ගොවිය ආරක්ෂා කරන්න කටයුතු කරන්නෙ නෑ. ඔවුන් අතරමැදි ව්‍යාපාරිකයො. සාප්පුකාරයො. එවැනි කණ්ඩායමක් මේ වෙළෙඳ අධිකාරිය හිමිකරගෙන තියෙනව. විදේශීය වශයෙන් සහල් ආනයනය රජය සීමා කළත් ඒ අය තමයි සහල් මාෆියාව ඇති කරන්නෙ. මොකද ඒ අයටම පුළුවන් දේශීය වශයෙන් තියෙන සහල් මිලදී අරගෙන සැඟවීමක් කරන්න.

සහල් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් මහා පරිමාණ මෝල් හිමියන්ට චෝදනා එල්ල වෙනව. ඔවුන් මේ වෙළෙඳපොළ සහල් මිල ඉහළ යෑම කෙරෙහි සෘජුව බලපෑම් කරන බවට පැවැසෙනව….

වී ගොවියගෙන් වී මිලදී ගැනීමේ ව්‍යාපාරික පන්තියක් බිහිවෙලා තියෙනව. ඒ ව්‍යාපාරික පන්තියත් ප්‍රධාන වශයෙන් ස්ථර ගණනාවක් යටතෙ හඳුනගන්න පුළුවන්. සුළු පරිමාණයෙ ව්‍යාපාරිකයො ටිකක් ඉන්නව. සුළු මෝල් හිමියො කියන්නෙ ඒ අයට. ඒ අයට මහා පරිමාණයෙන් ප්‍රාග්ධනය වියදම් කරන්න බෑ. පොඩි මෝලක් තියෙන්නෙ. ලොකු ප්‍රවාහන පහසුකම් නෑ. ලොකු ගබඩා නෑ. ඒ විදිහට කුඩා ප්‍රාග්ධනයක් යටතෙ ඔවුන් කුඩා පරිමාණයේ ගොවියන්ගෙන් වී මිලදී ගන්නව. ඔවුන් ඉන්නෙ අපූර්ණ වෙළෙඳපොළ මාදිලියක. ඔවුන්ට මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට තරගයක් දෙන්න බෑ. ඒ නිසා වෙළෙඳපොළ මිලට බලපෑමක් කිරීමේ හැකියාවක් මේ සුළු ව්‍යාපාරිකයන්ට නෑ.

සහල් මිලට බලපෑම් කරන පිරිස තමයි ව්‍යාපාරික ගොවියො සහ මහා පරිමාණ මෝල් හිමියො නැත්නම් ව්‍යාපාරිකයො. ලංකාවෙ මහා පරිමාණ ව්‍යාපාරිකයො කොටසක් ගොවිතැනේ නියැළිලා ඉන්නව. එතැනදි අයිය ගොවිතැන් කරනව මල්ලි මිලදී ගන්නව. ඒ විදිහට මහා පරිමාණයෙන් වී නිෂ්පාදනය කරල ඒ අයම ඒ අයගෙ නිෂ්පාදනය මිලදී ගන්නව. ඒ අයට ලොකු ප්‍රාග්ධන ශක්තියක් තියෙනව. ඒ නිසා ඔවුන්ට විශාල මෝල්, මහා පරිමාණයේ ගබඩා තියෙනව. මේ පිරිස ඉතාම අතලොස්සක්. එතන තියෙන්නෙ කතිපෙයාධිකාරී වෙළෙඳපොළ ස්වභාවයක්. ඒ කියන්නෙ වෙළෙඳපොළ සැපයුම සහ මිල කියන දෙකටම බලපෑම් කරන්නෙ මොවුන්. මොවුන් භාණ්ඩ සඟවා තබමින් කළු කඩ මිලක් ඇති කරනව. ඒ විදිහට වී සඟවා තැබීමෙන් ඇතිකරන වෙළඳපොළ හිඟය තුළින් සහල් මිල ඉහළ යනව. මේක මාෆියාවක්.

කෘෂිකර්ම ඇමැතිවරයා පවසන්නේ මෙවර මහ කන්නයෙන් පස්සෙ රජයේ වී සංචිතය මෙට්‍රික් ටොන් ලක්ෂ තුන දක්වා ඉහළ නංවන බව. ඒ ඉලක්කය සපුරාගන්න රජයට හැකිවෙයිද?

ඒක හොඳ ඉක්කයක්. ඒත් රජය මතක තබාගත යුතුයි ව්‍යාපාරිකයො අත තමයි වත්මන් සහල් අධිකාරිය තියෙන්නෙ කියන එක. අනෙක ගොවියන්ගෙ සියලු නිෂ්පාදන මිලදී ගන්න, ඒව ප්‍රවාහනය කරන්න, ගබඩා කරන්න, නියමිත කාලයට වෙළෙඳපොළ මුදාහරින්න රජය මැදිහත් වුණත්, ඒ සඳහා රජයට ඇති ශක්‍යතාව ඉතා අඩුයි. ඒකට හේතුව තමයි බටහිර ගැති දක්ෂිණාංෂික අදහස් තියෙන පාලකයො පෞද්ගලික ව්‍යාපාරිකයො ගැන විශ්වාස කරල රාජ්‍ය අංශයේ කොඳු කඩා දැමීම. රාජ්‍ය අංශයේ බලය බිඳීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඒ හැකියාව රජයට නැති වුණෙ. ඒ මත ගොඩනැගුණු ව්‍යාපාරික ප්‍රජාවක් රජයෙ වෙළෙඳ අධිකාරිය බලෙන් අල්ලගෙන තියෙනව. ඒ අය මත තමයි අද අපේ ආර්ථිකය රඳා පවතින්නෙ. මේ මහා පරිමාණ ව්‍යාපාරිකයො මහා පරිමාණයෙන් වගාකරන ගොවියන්ගෙ වී මිලදී අරගෙන ගබඩා කරගන්නව. ඒව වෙළෙඳපොළට දාන්නෙනෑ. එතකොට වෙළෙඳපොළේ තියෙන සීමිත සහල් ප්‍රමාණයේ මිල ඉහළ යනව.

මේ විදිහට සහල් හිඟ සමයන්හිදි ඉහළ යන මිල නැවත සහල් වෙළෙඳපොළ තුළ සුලබ වුණත් පහල යන්නෙ නෑ. ඒ මිල සහල් වෙළෙඳපොළ තුළ ස්ථාවර වෙනව. ඇයි එහෙම වෙන්නේ…?

2000-2001 සමයෙ තාවකාලික ආණ්ඩුවක් පත්වුණානෙ. මේ ආණ්ඩුව එන්න කලින් සහල් මිල තිබුණෙ රුපියල් 30ත්, 40ත් අතර. ඒ කාලයෙ එකපාරටම සහල් මිල රුපියල් 10කින් වගේ ඉහළ ගියා. ඒක වුණෙ මහා පරිමාණ ව්‍යාපාරිකයො සහල් සැඟවීම නිසා. ඒ සඟවපු ගමන් සීමිත සහල් ප්‍රමාණයේ මිල ඉහළ ගියා. එතනදි විදේශීය වශයෙන් සහල් ආනයනය කරන්න පටන් ගත්ත. මේ හාල් මිල ඉහළයාම එසමයේ ආණ්ඩු පෙරළියටත් බලපෑමක් වුණා. ඒ ආණ්ඩු පෙරළියත් එක්ක අර ඉහළ ගිය සහල් මිල පහළ හෙළන්න රජය මැදිහත්වුණෙ නෑ. ඒ සහල් මිල නැගීම අද වෙනකම් අඩුවුණෙ නෑ. එහෙම වුණෙ ව්‍යාපාරිකයන්ට වෙළඳපොළ බාරදීම නිසා.

වී මිල ඉහළ ගියාම ඒ ලැබෙන ආදායමට නිෂ්පාදකය හුරුවෙනව. ඒ ආදායමට ගැළපෙන්න වියදම් හදාගන්නව. ඒක නිසා සහල් සැපයුම වැඩිවෙද්දි මිල පහල දාල තමන්ට ලැබෙන ආදායම අඩුකරගන්න වී නිෂ්පාදකයො කැමති නෑ. ඒකට කියන්නෙ අනුපාත බලපෑම කියල (Rate Effect) ඒ කියන්නෙ ආදායමට සරිලන විදිහට පරිභෝජනය ඉහළට ගමන් කරන මිසක් පහළට ගමන් කිරීමක් සිදුවෙන්නෙ නෑ. මෙතැන තියෙන්නෙ මූල්‍ය මායාවක්. මේ මූල්‍ය මායාව නිසා සහල් මිල අඩුකරන්න ඔවුන් කැමති වෙන්නෙ නෑ.

සංවාදය – ලක්මාල් බෝගහවත්ත