කතුවැකි

සක්කරයාගේ මල්ලි වයිමටත් බැරි දේ අපි කරමු

කොරෝනා ආසාදිත පළමු මරණය වාර්තා වීමෙන් පසුව හෝ මේ රටේ ජනතාව පවතින තත්ත්වයේ බරපතළකම වටහාගෙන ඇති බවක් පෙනෙන්නට නැත. අපට එසේ සිතෙන්නේ කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හැරුණු විට දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ඊයේ (30 වැනිදා) පෙරවරුවේ ඇඳිරි නීතිය ඉවත් කළ පසු මිනිසුන්ගේ හැසිරීම දුටු විටය. එසේ නැතිනම් මේ රටේ ජනතාව කියන දෙයක් තේරුම් ගත නොහැකි අමු මෝඩයන් බවය.

මෙරට පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූයේ මේ මස 11 දාය. ඊයේ සවස් වන විට වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 122 කි. ඒ අනුව 11 දා සිට 30 දා දක්වා දින 19 ක කාලය තුළ රෝගීන්ගේ වැඩිවීමේ ප්‍රතිශතය සියයට 600 ක්ද ඉක්මවයි.

කෙසේ වුවත් ඇමෙරිකාව, ඉතාලිය ඇතුළු ලෝකයේ අනෙකුත් රටවල් හා සසඳන විට අප රටෙන් වාර්තා වී ඇත්තේ සුළු රෝගීන් සංඛ්‍යාවකි. තවමත් වාර්තා වී ඇත්තේද එක් මරණයක් පමණකි. අපගේ සෞඛ්‍යය අංශ කොරෝනා මර්දනයට ගෙන යන වැඩපිළිවෙළ ජාත්‍යන්තරයේද පැසසුමට ලක්ව තිබේ. එහෙත් මේ එකදු කාරණයක් හෝ අපට ‘පිස්සු නටන්නට’ ලැබෙන ලැයිසම් නොවන බව අප කවුරුත් දැනගත යුතු උදේ සවස මන්තරයක් මෙන් සිහිපත් කළ යුතු කාරණයකි. අප තවමත් කොරෝනා වසංගතයේ දරුණු බරපතළ අවදියට එළඹ නොමැති බැවිනි.

අපගේ සෞඛ්‍ය අංශ සිය උපරිමයටත් වඩා මහන්සියකින්, කැපවීමකින් කොරෝනා පැරදවීමේ සටනේ යෙදී සිටින බව සැබෑය. එසේ වුවත් අපට ඇති පිරිස් බලය සීමිතය. සම්පත් සීමිතය. රටේ පොදු ජනතාව පිස්සන් මෙන් කටයුතු කර රෝගීන්ගේ සීග්‍ර වැඩිවීමක් සිදු වුවහොත් අපගේ සෞඛ්‍යය අංශයට දරා ගැනීමට බැරිතරම් රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුවහොත් මේ රට විසාලාවක් වීම නැවැත්වීමට සක්කරයගෙ මල්ලී වයිමාටවත් නොහැකි වනු ඇත.

එහෙත් වයිමට කළ නොහැකි ඒ වික්‍රමය ඔබට, අපට කළ හැකිය. විදේශයකට ගොස් පැමිණ සිටී නම් සෞඛ්‍ය අංශ වෙත ඒ තොරතුරු ලබා දීම, කොරෝනා යැයි සැක කළ හැකි රෝගී ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ඒ අනුව කටයුතු කිරීම මගින් ඒ වික්‍රමයට ඔබටත් දායක විය හැකිය. අනෙක් කාරණය වන්නේ ඇඳිරි නීතිය ඉවත් කරන කෙටි කාල සීමාවේ වගකීමකින් යුතු කටයුතු කිරීමය.

ඊයේද ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව එලෙස කටයුතු කරන ආකාරයක් දක්නට නොලැබීම ඇත්තෙන්ම කනගාටුදායක තත්ත්වයකි. ඇඳිරි නීතිය පැනවීම නිසා අපගේ එදිනෙදා සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යෑමට නොහැකි බව අප කවුරුත් ප්‍රථමයෙන්ම තේරුම් ගත යුතු කාරණයකි. ඇඳිරි නීතිය ඉවත් කරන කාලයට ජනතාව සිහි විකල් වූවන් සේ ජීවිතය පරදුවට තබා කඩසාප්පු, අසල පොදි කන්නේ කන බොන දේ එක්රැස් කර ගන්නටය. එහෙත් මේ රටේ කිසිදු අවස්ථාවක සාගින්නේ කිසිවකු මියගොස් ඇති බවක් වාර්තා වී නැත. ඒ නිසා මේ දුෂ්කර මොහොතේද අප කිසිවකුට කුසගින්නේ මිය යන්නට සිදු නොවන බව සහතිකය.

අනෙක් අතට සාගින්නේ මිය යන්නට සිදු වෙතැයි බියෙන් කන බොන දේ එක් රැස් කරන්නට ගොස් කොරෝනා ආසාදනය වුවහොත් සිදුවන්නේ කන බොණ දේ ගොඩගසාගෙන මැරෙන්නටය. මේ ලොව උපදින අප කවුරුත් කිසියම් දිනයක මිය යන බව දන්නා කාරණයකි. එහෙත් සැම මරණයකටම අර්ථයක් තිබිය යුතුය.

විහින් කොරෝනා හදාගෙන මැරෙන එක කිසිදු අර්ථයක් නොමැතිවා පමණක් නොව තමන් නිසා තමන්ගේ පවුලේ ළඟම ඥාතීන්ට පවා මරණය ගෙන දෙන්නට හේතුවන කාරණයකි. විහින් කොරෝනා ආසාදනය කර ගැනීම සියදිවි නසා ගැනීමක් වන අතර අනුන්ට රෝගය බෝ කිරීම මිනීමැරීමකි.

අප සැමටම මරණය නියත වන අතර ඒ සෑම මරණයකටම නිසි ගෞරවයක්ද උරුමය. එහෙත් එසේ වන්නේ අර්ථයක් සහිත මරණවලට පමණකි. අර්ථ විරහිත කොරෝනා මරණවලට මිනිසකු මියගිය පසු ලැබෙන, ලැබිය යුතු අවසන් ගෞරවය හෝ ලැබෙන්නේ නැත. අවමංගල්‍යය සිරිත් විරිත් නැත. ඥාති හිතමිත්‍රාදීන්ගේ සමුගැනීම් නැත. ඥාති හිත මිත්‍රාදීන් පෙරටු කරගෙන යන අවමංගල්‍ය පෙරහර නැත. මියගිය පසු මුහුණ පෙන්වන්නේද ඥාතීන් දෙදෙනකුට පමණකි. මිය යන කොරෝනා රෝගීන්ගේ අවසන් කටයුතු කරන්නට සිදුව තිබෙන්නේ කුණු වූ බලු කුණක් වළ දමන ආකාරයටය. දේහය රැගෙන යන වාහනයේ රෝද පවා විෂබීජ හරණය කිරීමට සිදුවේ. අවසන් කටයුතු කරන ආදාහනාගාරයේ සේවකයන් ඇඳ සිටින ආරක්ෂිත ඇඳුම් කට්ටලය පවා ගිනි තබා විනාශ කෙරේ.

අප දන්නා කාලයේ මේ රටේ කිසිදාක කිසිවකුට මෙතරම් කනගාටුදායක ලෙස අවසන් ගමන් යන්නට සිදුව නැත. 88-89 භීෂණ යුගයේ බල්ලන් – බළලුන් මෙන් මග දෙපස මිනිසුන් මරා දැමුණද ඔවුන්ගේ අවසන් කටයුතු පවා මීට වඩා ගෞරවාන්විතව කළ හැකි විය. මග දෙපස මිය ගිය අයගේ පවුල්වල අය පමණක් නොව ඔවුන් නාඳුණන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඔවුන් වෙනුවෙන් ශෝක වූහ, කඳුළු සැලූහ.

ඔබටත් අවශ්‍ය තමන්ගේ ජීවිතයත් විනාශ කරගෙන තමන්ගේ ළඟම ඥාතීන්ට පවා මරණය ගෙන දී බල්ලෙක් බළලෙක් මෙන් මිය යන්නටද?