අතන මෙතන

සකල සිරින් පිරි සිරි ලංකාවේ කුණු වතුර බොන දකුණේ මිනිස්සු

දකුණු පළාතේ ජීවත්වන පවුල්වලින් සියයට තිස් එකක් සඳහා පිරිසුදු ජානීය ජල පහසුකම් නොමැති බවත් එකී පවුල්වල ජනතාව පානීය ජලය ලෙස භාවිතා කරන්නේ අර්ධ හෝ මුළුමනින්ම අනාරක්ෂිත පානීය ජල සැපයුම් බවත් දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරු පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ ඊයේ (24 වැනිදා) පෙරවරුවේ දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති දකුණු පළාතේ පානීය ජල ගැටලු පිළිබඳව මහජන උපදේශනය සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම් සභාව මගින් සංවිධානය කළ වැඩසටහනකදීය.

පළාත් පාලන කොමසාරිස්වරයා මෙසේද කීය.

දකුණු පළාතේ පළාත් පාලන ආයතන 49 ක් තියෙනවා. ඒ අතරින් ආයතන හයක් හැරුණු විට අන් සියලුම පළාත් පාලන ආයතන දෛනිකව ජල බවුසර් මගින් ජනතාවට පානීය ජලය බෙදා ජල ලීටර් 2000 සිට 150,000ක් දක්වා බෙදා හරිනවා.

ප්‍රජා ජල යෝජනා ක්‍රම මගිනුත් දකුණු පළාතේ ජනතාවට පානීය ජලය ලබා දීම සිදු කරනවා. නමුත් දකුණු පළාතේ සියයට 31 කට පිරිසුදු පානීය ජලය ලැබෙන්නේ නැහැ.
විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශ හා වතු ආශ්‍රිතව ජීවත්වන ජනතාවට පිරිසුදු පානීය ජල පහසුකම් ලැබෙන්නේ නැහැ. නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවලට සැලකිය යුතු ප්‍රමාණයක් පිරිසුදු පානීය ජලය ලැබෙනවා, යැයි වැඩිදුරටත් පැවසීය.

ඩබ්ලිව්.එල්. අනුර – හබරාදුව
ගැමුණු චන්ද්‍රලාල් – ගාල්ල