විශේෂාංග

ශිෂ්‍යත්ව දරුවන්ට ප්‍රශ්න පත්‍රයක්

අද ඉරිදා මේ රටේ තුන්ලක්ෂ තිස්නව දහසක් දරුවෝ පස්වැන්නේ ශිෂ්‍යත්වයට ඉඳගනිති. හෙට තවත් තුන්ලක්ෂ තිස්හත් දාහක් සිසු පිරිසක් අ.පො.ස. උසස් පෙළට හිඳ ගනිති.

මේ අන්දමට ශිෂ්‍යත්වයද සාමාන්‍ය පෙළද ලියා උසස් පෙළ උසස් ලෙසින් සමත්ව උපාධි ලද පිරිසක් පසුගියදා කොළඹ දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ. ගණන් බලා ඇති අන්දමට රැකියා විරහිත උපාධිධාරීන් 50,000 කට අධික බව කියැවේ. ඔවුන් අතරින් පිරිසක් මේ උද්ඝෝෂණවලට ආවේ තම දරුවන් පෙර පාසලට හෝ පාසලේ ප්‍රාථමික ශ්‍රේණියට ඇරලවාය. තවත් විදියකින් කීවොත්, තමන් මීට තිස් වසරකට පෙර ගිය අවිනිශ්චිත අඩිපාරට දරුවා යොමු කරලාය.

1971 කැරැල්ලට හේතුව වූයේ උගත් තරුණයන්ට රැකියාවක් නැති වීම බව 1971 කැරැල්ලේ නඩු ඇසීමට පත් කළ අපරාධ යුක්ති විනිශ්චය කොමිසමේ විනිසුරුවරයකු වූ ඒ. සී. අලස් පවසයි. එදා කැරලිකරුවන්ගේ සාක්කිවලට සවන් දුන් ඒ. සී. අලස් විනිසුරාණන්ට මතු වූ ප්‍රශ්නය වූයේ තම අනාගතය අවිනිශ්චිත වීම නිසා ඊට බියෙන් ඊටත් වඩා දරුණු අවදානම් සහගත ක්‍රියාවක් වූ ආණ්ඩු විරෝධී ආයුධ අතට ගැනීමකට ගියේ යැයිද යන්නය. ඒ ප්‍රශ්නය තිබුණේ ඒ. සී. අලස් විනිසුරාණන්ට පමණය. එදා විපක්ෂයේ සිටි යූඑන්පීය කළේ 1971 කැරැල්ලෙන් දේශපාලන වාසියක් ගෙන 1977 දී නව ආණ්ඩුවක් තැනීමය.

ප්‍රශ්නවලට උත්තර සොයනවාට වඩා ඉන් දේශපාලන වාසි ලැබීමේ සිරිත නිසාදෝ 1989 දී යළි ආණ්ඩු විරෝධී සන්නද්ධ නැගිටීමක් විය. එය ලෙයින් යකඩයෙන් මර්දනය කළ ද ඒ කැරැල්ල පිළිබඳ හේතු විමර්ශනය කළ තරුණ අසහන කොමිසමේ වාර්තාවකට අනුව දේශපාලන භේදයෙන් තොරව තරග විභාගයක් පවත්වා ගන්නා ලකුණු අනුව උගත් තරුණයන්ට රජයේ රස්සා දීමේ පළමු පියවර තැබිණ. අභ්‍යාසලාභී පත්වීම් ලැබුණේ ඒ අනුවය. ඒ ප්‍රගතිශීලී පියවර ගත්තේ වෙන කවුරුත් නොව උස නම් සිකියුරිටි, මිටි නම් පියන් ආදී වශයෙන් රස්සා දෙන සජිත් ප්‍රේමදාස මැතිඳුන්ගේ ආදරණීය වන්දනීය පූජණීය පියාණන් වූ ආර්. ප්‍රේමදාස මහතාණන්ය. ඒ කාරණයේදී නම් ඔහු පූජනීය වන්දනීයයි සිතෙන්නේ මේ ආණ්ඩුව රැකියා විරහිතයින් 50,000 අතරින් 16,000 කට රැකියා දෙන්නේ කිසිදු විනිවිදභාවයකින් තොරව වීම නිසාය.

සැබැවින්ම අද රජයේ විශ්වවිද්‍යාලවලද පුද්ගලික විශ්වවිද්‍යාලවලින්ද උපාධි හෝ ඩිප්ලෝමා ලද්දන් බොහෝය. එන්න එන්නම තරුණයන් වෘත්තීය කුසලතාවලින් උගත්කම්වලින් ජීවිත හැඩගස්වා ගන්නා බව පෙනෙයි.

දැන් කොළඹ ඉහළ පන්තියේ පවුල්වල දූ දරුවන් පන්ති යවන්නේ මාස හතරේ සිටය. ‘‘ද ලිට්ල් ජිම්’’ නමින් හඳුන්වන මේ පන්තිවලට ගෙන යන දරුවාට දණගෑම උගන්වයි. සබන් බෝල පිපිරවීම, අල්ලාගෙන නැගිටීම ආදිය උගන්වමින් නම්‍යතාව ශ්‍රවණය සඳහා අවධානය යොමු කිරීම ආදිය හුරු කරවයි. ඒවායින් පිටවන දසමස් දරුවා එන්නේ ඩිප්ලෝමාධාරියකු ලෙසිනි. අද කොළඹ ඉහළ පන්තියේ අය සිව්මස් බිලිඳුන් මේ පන්තිවලට යැව්වද, වැඩිකල් යා නොදී මුළු රටම සිව්මස් වියේදී මව් තනයෙන් කිරි බොමින් මේ පන්තිවලට සහභාගි වී ඩිප්ලෝමාධාරීන් වනු ඇත. ඔවුන් බහ තෝරනු ඇත්තේ තමන්ට ලැබුණු සහතිකයේ නම උච්චාරණය කරමිනි. දැනටමත් පිහිනීමේ සිට අභ්‍යවකාශ තරණය දක්වා දේ ඉගෙනීමෙන්ම කිරීමට සිදුවීමෙන් ඒ බව පෙනේ.

තතු එසේ වුවත් මේ රටේ තිබෙන සේවා වියුක්තිය පුදුමාකාරය. 1970 ගණන්වල රස්සා හොයාගෙන ගේට්ටුවලට තට්ටු කරන්නන්ගෙන් බේරීමට ඇබෑර්තු නැත කියා ගැසූ දැන්වීම් බොහෝ විය. එහෙත් දැන් සෑම කම්හලකම ආයතනයකම ඇත්තේ ‘ඇබෑර්තු ඇත’ කියාය. රියැදුරු බලපත්‍රය ගැනීමට තිබෙන පෝලිම අනත්ත නාගරාජයාගේ වලිගය මෙන් දිගය.

එහෙත් වාහනයකට රියැදුරෙක් සොයා ගැනීම නිකිණි සොයනවාක් බඳුය. අවන්හන්වල වේටර්, අරක්කැමි ආදිය පුහුණු කෙරෙන පාඨමාලා බොහෝය. එහෙත් අවන්හලකට හොඳ සූපවේදියකු සොයා ගැනීමට වඩා කළු නික සොයා ගැනීම පහසුය. කොටින්ම සෑම විශ්වවිද්‍යාලයකම පාහේ ජනමාධ්‍ය ඩිප්ලෝමා හෝ උපාධි පාඨමාලා රාශියකි. එහෙත් මාධ්‍ය ආයතනයක ලියන්නට කියන්නට කෙනකු සොයා ගැනීමට වඩා ඒවා ගැන දෙසන ආචාර්ය මහාචාර්යවරයකු සෙවීම ඉතා පහසුය.

තත්ත්වය මෙසේ තිබියදී උපාධිධාරීන් රැකියා දියව් යනුවෙන් මහ පාරේ උද්ඝෝෂණ කරති. මේ ප්‍රශ්නවලට උත්තර දන්නේ කව්ද? අද ශිෂ්‍යත්ව විභාගයට ඉඳගන්නා දරුවාට කවදා හෝ ඒ උත්තරය සොයා ගන්නට වෙනු ඇත. මක් නිසාදයත් දැනට ඉන්නා ප්‍රතිපත්ති සම්පාදකයන්ට ඒවාට උත්තර නැති බැවිනි.