විශේෂාංග

ශිෂ්‍යත්වයට වාඩි වෙමුද ?

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පෙරේදා නිකුත් විය. එහෙත් ඒ ප්‍රතිඵල ආවේ ලකුණුවලින් පමණය. එයින් අනාගත පරපුරක පැවැත්මට අදාළ ප්‍රතිඵල එන්නේ තවත් බොහෝ කල් ගත වීමෙනි.

ශිෂ්‍යත්ව විභාගය බහුවරණ ප්‍රශ්න තිහකින්ද ගණිත, ඉංග්‍රීසි, දෙමළ රචනා ප්‍රශ්න 23 කින්ද යුතුය. එහෙත් එම විභාගය ප්‍රශ්න දහසයකින් යුතු මහා ප්‍රශ්න පත්‍රයක් සමාජය හමුවට ගෙනැවිත් තිබේ. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය එම වයසේ දරුවන්ට ඔරොත්තු දෙන්නේ නැති අමාරු ප්‍රශ්න පත්‍රයකැයි හැමදාම කියති. එහෙත් ශිෂ්‍යත්වය නිසා උදා කර ඇති ප්‍රශ්න සමුදාය මහා පරිණත දේශපාලකයන්ටත් ඔරොත්තු දෙන්නේ නැති විසඳිය නොහැකි ප්‍රශ්න සමුදායක් ද අධ්‍යාපන ක්ෂේත්‍රයට ගෙනැවිත් තිබේ.

ශිෂ්‍යත්ව විභාගය ගෙනැවිත් තිබෙන අමාරුම ප්‍රශ්නය වන්නේ එය ලක්ෂ ගණනක් දූ දරුවන්ගේ මනසට තමන් අසමතුන්ය යන හැඟීම බාල කාලයේම කා වැද්දීමය. ඒ හැඟීම ළමා පරපුරට ඇති කරන හැටි අධ්‍යාපන මනෝ විශේෂඥයෝ මෙසේ පෙන්වා දෙති.

ශිෂ්‍යත්ව විභාගයට වසරකට තුන්ලක්ෂ පනස් දහසකට අධික දරුවන් පිරිසක් හිඳ ගනිති. එයින් කඩඉම් ලකුණු ප්‍රමාණය ලබා ගෙන සමත් වන්නේ සියයට 10ක පමණ පිරිසකි. ඒ සිසුන් සංඛ්‍යාව 35000කට වැඩි නැත. සමතුන් 35000 වූ විට ඉතිරි ලක්ෂ තුනක දරුවන් හැඳින්වෙන්නේ අසමතුන් හැටියටය. වැඩ බැරි වුන් හැටියටය. මේ හැඟීම තවත්, තව තවත් ළමා පරපුර මත පතිත කිරීමට මාධ්‍යයද පසුගිය කාලයේ ක්‍රියා කළේය.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පැමිණි වහාම ලංකාවේ හොඳින්ම සමත් වූ සිසුන් තිදෙනා පසුපස මාධ්‍ය හඹා යයි. ඔවුන්ගේ අනාගත ප්‍රාර්ථනය ගැන විමසයි. ඔවුන් පාඩම් කළ හැටි ක්‍රීඩා කළ හැටි විමසයි. මේ සියලු තතු සමග වරෙක ශිෂ්‍යත්වයෙන් හොඳම ලකුණු ලබා ගත් සිසුවා දමන සෙරෙප්පු දෙකේ පින්තූරයක්ද පත්තරයක් පළ කර තිබුණි. මේ ආකාරයට ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රධාන ස්ථාන ගත් දරුවන් ගැන මාධ්‍ය මගින් ලොවට පෙන්වීම නිසා ලක්ෂ සංඛ්‍යාත දෙමාපියෝද තම දරුවා ශිෂ්‍යත්වය සමත් කිරීමට නොව, ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ප්‍රමාණය ඉක්මවීම ගැන නොව, ලංකාවේ පළවැනියාම බවට පත් කිරීමට සිතා මහා තරගයකට අවතීර්ණ වෙති. ශිෂ්‍යත්වය උගන්වන ටියුෂන් ගුරු උතුමෝද තම පන්තියෙන් සමත් වූවන් ගැන ප්‍රචාරය කරවා මේ තරගය තවත් තීව්‍ර කරති. අවසන වෙන්නේ තුන ශ්‍රේණියේ සිටම කුහුඹුවෝ ගල් ඇදීමය.

දැන් ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු සංඛ්‍යාව 150 ඉක්මවා තිබෙයි. මුළු ලකුණු සංඛ්‍යාව දෙසීයකි. ලකුණු දෙසීයෙන් තුනෙන් දෙකකටත් වඩා ගත්තත් සමතුන්ගේ ගොඩට ගණන් නොගන්නා ලොව එකම විභාගය ලෙස මෙම විභාගය පත් කිරීම ජාතියේ අභාග්‍යය වී තිබේ. මෙයින් සිද්ධ කෙරෙන්නේ ලකුණු 150ට අඩුව ගන්නා ලක්ෂ තුනකට ආසන්න සිසු පිරිසට අසමතුන්ය වැඩ බැරි උන්ය යන සංඥාව දීම ගැන අධ්‍යාපන මනෝ විද්‍යාඥයන් කියන්නේ එය බරපතළ කාරණයක් නිසාය.

මේ මහා ජාතික ව්‍යසනයට විසඳුම් ආණ්ඩු නොසෙව්වාම නොවේ. ඒ අනුව දැන් ආණ්ඩුව ශිෂ්‍යත්වය සමතා ලෙස සලකන්නේ ලකුණු 159 ගත් සිසුන් නොවේ. ලකුණු 75කට වඩා යම් සිසුවෙක් ලබා ගන්නේද හෙතෙම සමතෙක් ලෙස සලකා සහතිකයක් ආණ්ඩුව නිකුත් කරයි. එහෙත් ඒ සහතිකය දෙස බලා ශිෂ්‍යත්වය සමතෙකු යැයි ළමයකු දෙස බලන අම්මෙක් අප්පෙක් මෙහි වෙද්දී ලකුණු 70 තිබේ ඔබ සමත් යැයි තමන් ඉගැන්වූ දරුවාගේ හිස අත ගෑ දිසාපාමොක් කෙනෙක් මෙහි වෙද්දී ලකුණු හැත්තෑවට වඩා ලබාගෙන තමන් සමතෙකුයි සිතන දරුවෙකු මෙරට වෙයිද? නැත.

ඊළඟට මේ ශිෂ්‍යත්ව තරග දිවුම පාලනය කිරීමට තවත් ක්‍රමයක් ආණ්ඩුව මෙවර හඳුන්වා දී තිබේ. එය නම් මෙවර සිට ශිෂ්‍යත්වය ලංකාවේ එක දෙක තුන හඳුන්වා නොදීමය. එහෙත් දැනට නම් ලකුණු 199ක් ලබා ගත් දරුවෙක් මෙරට සොයා ගෙන තිබේ. පළවැනියා, දෙවෙනියා තෝරන්නේ නැතිව විභාගය තැබීමෙන් නම් ලංකාවේ පළමුවැනියා වීමේ තරගය යම් තරමකට බාල වන බව නම් නිසැකය.

ශිෂ්‍යත්ව විභාගය මේ තරම් අභාග්‍යයක් වූයේ ඇයි.

අතීතයේ ශිෂ්‍යත්ව විභාගය ආරම්භ කළේ අඩුපාඩුකම් තිබෙන, ඉගෙනුමට දක්ෂ සිසුන්ට රජයෙන් මූල්‍ය ආධාරයක් ලබාදීම සඳහාය. යම් දුප්පත් දරුවෙක් ඉගෙනීමට දක්ෂනම් ඔහුට මූල්‍ය ආධාරයක් මාසිකව ලබාදී උසස් විද්‍යාලයක් ලබාදීම ද්විතීයික අරමුණ විය. එහෙත් දැන් පනතේ සඳහන් එම වගන්තියට වුණ දෙයක් නැත. ශිෂ්‍යත්ව සමත් සිසුවකුට මසකට ලැබෙන ශිෂ්‍යාධාර ගාස්තුව රුපියල් 750කි. දැන් ඒ මුදල ගන්නට ශිෂ්‍යත්වයට වාඩිවන සිසුවකු සොයා ගැනීම ශිෂ්‍යත්වයට ලකුණු 200 ම ලබා ගත් සිසුවකු සෙවීම බඳුය. එක දවසට සිසුවන් සඳහා රුපියල් 750 වෙන් කරන අම්මලා ලක්ෂ ගණනින් අපට සිටිති.

දැන් ශිෂ්‍යත්වය තිබෙන්නේ ම ජාතික පාසල්වලට දරුවන් ඇතුළු කිරීමටය. පිළිගත් ජාතික පාසල් මෙරට තිබෙන්නේද 353කි. ඒවායෙන්ද ආනන්ද, නාලන්ද, මලියදේව පන්නයේ ඉස්කෝල තියෙන්නේ අතළොස්සකි. එම පාසල් පනහට රිංගීමටය මේ තරගය. අධ්‍යාපනයේ අරමුණ වූ දැනුම, ආකල්ප, හැකියාව යන තුනෙන් ශිෂ්‍යත්වයේ මනින්නේ දැනුම පමණි. අධ්‍යාපන මනෝ විද්‍යාඥයන් කියන්නේ මේ කනප්පුවේ ඉතිරි කකුල් දෙක වන ආකල්ප හා කුසලතා යන කකුල් දෙක පහේ පන්තියේදීම කඩා දමන බවය.

එහෙත් ශිෂ්‍යත්ව විභාගය නතර කරන බව කීවොත් අම්මලා පාරට පනින්නේ මෙසේ කියමිනි.

“ශිෂ්‍යත්වයට අත තියන්න එපා. ශිෂ්‍යත්වය නැති කළහම අපේ ළමයා කොහොමද හොඳ ඉස්කෝලෙකට යන්නේ.” මේ ප්‍රශ්නයට උත්තර සෙවිය යුතුය. අපේ ජනාධිපතිතුමා වසර දෙකකින් ශිෂ්‍යත්වය අහෝසි කරන බව පසුගියදා කීවේය. එහෙත් එසේ කිරීමට තවමත් සූදානමක්වත් නැත.

මේවා දැන් මෙරට තිබෙන අති සංවේදී ප්‍රශ්නය. මේ ප්‍රශ්නයට අත තැබීමට පෙර නිදහස් අධ්‍යාපනයේ පියා වූ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාට වූ දේත්, සියලු පාසල් ජනසතු කළ සිරිමාවෝ මැතිනියගේ ආණ්ඩුවට වූ දේත් ගැන ආණ්ඩු ගන්නා කවුරුත් කල්පනා කරති.