brand logo

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින තරගයේ ටිකට් ගන්නේ මෙහෙමයි

12 January 2022

තරග නැරඹීමට එන ප්‍රේක්ෂකයින්ට කොන්දේසියක් දායි

ජනවාරි මස 16 වන දා ආරම්භ වන සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට ඇතුළත් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය නැරඹීම සඳහා වන ප්‍රවේශ පත්‍ර ඉන්ටර්නෙට් හරහා අලෙවි (Online Tickets) කිරීම අද (12) සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව www.srilankacricket.lk සහ www.bookmyshow.com යන වෙබ් අඩෙවිවලට පිවිසීමෙන් ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමේ හැකියාව පවතී. එම පහසුකමට අමතරව ජනවාරි මස 13 වන දා සිට පෙ.ව. 9 සිට ප.ව. 5 දක්වා වූ කාල සීමාවේදී තරග පැවැත්වෙන දිනයන්හිදී බලගොල්ල, අභීත ක්‍රීඩාංගණයේදී ත්, තරග නොපැවැත්වෙන දිනවල පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ත් ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට හිමි වේ. අන්තර්ජාලය හරහා වෙන්කර ගනු ලබන ප්‍රවේශ පත්‍ර ද උක්ත ස්ථානවලින් ලබාගත හැක. ප්‍රවේශ පත්‍ර රු. 300, 1000 සහ 3000 යන මිල ගණන් යටතේ ලබාගත හැකි අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ අනුව තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයට ඇතුළු කළ හැකි ප්‍රේක්ෂක ධාරිතාවයෙන් සියයට 50 ක ප්‍රතිශතයකට තරග නැරඹීම සඳහා ක්‍රීඩාංගණයට ඇතුළු වීමේ අවසරය හිමි වේ. එම අවසරය ලබා දීමේදී එන්නත් මාත්‍රා දෙක ම ලබා ගත් ප්‍රේක්ෂකයින් පමණක් ක්‍රීඩාංගණයට ඇතුළු කිරීමට පියවර ගනු ලැබේ. ඒ අනුව තරගය නැරඹීමට පැමිණෙන සියලු ම ප්‍රේක්ෂකයින් අවසන් මාත්‍රාව අවම වශයෙන් දින 14 කට පෙර සම්පූර්ණ කර තිබෙන බවට තහවුරු කළ හැකි එන්නත් පත්‍රිකාව ද රැගෙන ඒම අනිවාර්ය වනු ඇත.
 

More News..