Uncategorized

ශ්‍රී ලංකා මහ බැංකුව නිර්දේශ කළ ණය සහනය නැවතත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන්

මේ වන විට සමස්ත ලෝකයටම බලපා ඇති කොවිඩ් – 19 වසංගත තත්ත්වය ප්‍රථම වරට ශ්‍රී ලංකාව තුළ මතුවූ මාර්තු මාසයේදී මෙම රෝගය පැතිරයාම පාලනය කිරීම සඳහා රජය විසින් දිවයිනම ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ව්‍යාපාර බිඳවැටීම හෝ රැකියාව අහිමිවීම මත අදායම් අහිමි වූ පුද්ගලයන්ට අත්වැලක් සැපයීම සඳහා ණය සහනයක් ලබාදීමට රජය විසින් තීරණය කරන ලදී. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබාදෙන ලද නියාමන හා උපදෙස් ප්‍රකාරව ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින්ද එම ණය සහනය ලබාදීම ක්‍රියාත්මක කරන ලද අතර ඒ යටතේ බැංකුවේ සියලුම ක්‍රියාකාරී පුද්ගල ණය (Performing Retail Loans) ගනුදෙනුකරුවන්ගේ වැටුපෙන්/විශ්‍රාම වැටුපෙන් 2020 අප්‍රේල්, මැයි සහ ජූනි මාසවලට අදාළ ණය වාරික අය කරගැනීම අත්හිටුවන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුව පසුකාලීනව ලබාදුන් උපදෙස්වලට අනුකූලව ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් අඛණ්ඩව මෙම ණය සහනය ලබාදීමට කටයුතු කරන ලද අතර ඒ මගින් බැංකුව සමග අත්වැල් බැඳ සිටින ණය ගනුදෙනුකරුවන් විශාල පිරිසක් ඉහළ ප්‍රතිලාභ ලබාගත්හ. පවතින තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින අපගේ ගනුදෙනුකරුවන් හට මෙලෙස සහනයක් ලබාදීමෙහිලා මෙරට වගකිවයුතු රාජ්‍ය ආයතනයක් සහ ආයතනික පුරවැසියෙක් ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය යුතුකම හා වගකීම නොපිරිහෙළා ඉටු කිරීමට කැපවී සිටී.
මෙරට දෙවන කොවිඩ් රැල්ල ආරම්භ වීමත් සමග එම ණය ගෙවීම සඳහා ලබාදෙන සහන කාලය දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙන පසුබිමක ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නියාමනය හා අනුකූල වෙමින් තව දුරටත් සිය ණය ගනුදෙනුකරුවන් වෙත එම ණය සහනය ලබාදීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව දැනටමත් කටයුතු සම්පාදනය කර තිබේ. ඒ අනුව, මෙම ණය සහනය සඳහා වන ඉල්ලුම් පත්‍රය ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ආයතනික වෙබ් අඩවිය වනwww.nsb.lk හි දැක්වෙන අතර සියළුම ශාඛාවලින්ද ලබාගත හැකිය. නිසි පරිදි සම්පූර්ණ කරන ලද එම අයදුම් පත්‍රය 2020 නොවැම්බර් 30 වන දින හෝ ඊට ප්‍රථම අදාළ ශාඛාව වෙත යොමු කිරීමෙන් මෙම ණය සහනය ලබාගැනීමට අපගේ ණය ගනුදෙනුකරුවන්ට අවස්ථාව ඇත.