brand logo

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළාද? විනාශ වුණාද?

10 February 2019

නිදහසින් පසු මේ දක්වා රට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වෙමින් පවතින බව පක්ෂයේම පිරිස් කියන්නට පටන් ගෙන තිබේ. චෝදනාව එල්ලවන්නේ පක්ෂ සභාපති වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටය. පසුගිය දිනෙක පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක 120වැනි ගුණ සමරුවෙන් පසු ඔහුගේ දියණියක සේම කලක් පක්ෂ සභාපතිනිය ද වූ දැන් පක්ෂයේ අනුශාසිකාවක වන චන්ද්‍රිකා කුමාරතුංග කියා සිටියේ පක්ෂය තුළ දැන් සිය පියාගේ ප්‍රතිපත්ති නොමැති බවය. මේ නිසා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයක්ද බිහිව තිබේ. ඒ පිටුපස සිටින්නේ චන්ද්‍රිකා බව කියතත් එය තවමත් නිශ්චිත ප්‍රවෘත්තියක් වී නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසියම් අර්බුදයකට මුහුණ පා සිටින බව සත්‍යයකි. එහෙත් බොහෝ දෙනා කියන පරිදි ඒ අර්බුදය ඇතිවූයේ 2015 න්පසු නොව ඊට කලකට පෙරය. එහෙත් මෙතෙක් කලක් එය ප්‍රදර්ශනය නොවූයේ 1994 සිට 2015 ජනවාරි 08 දක්වාම මොනයම් අන්දමකට හෝ බලය අල්ලාගෙන යන්නට පක්ෂය සමත්වීම නිසාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයට වඩා සමාජ බල‌වේගයක් ලෙස හැඳින්වීමේ වරදක් නැත. ඊට නිශ්චිත පන්ති පදනමක් නොමැත. නිදසුනක් ලෙස කිසියම් කම්හලක හිමිකරුට මෙන්ම ඔහුගේ සේවක කම්කරු ප්‍රජාවටත් ශ්‍රීලනිපයේ සාමාජිකත්වය දැරිය හැකිය. සියලු ජන කොටස්වලට ජාති, ආගම්, කුල භේද හෝ පන්ති භේදවලින් තොරව සමාන අයිතිවාසිකම් උරුම විය යුතු බව විශ්වාස කරන අය මෙන්ම රටෙහි සැබෑ උරුමකරුවන් වනුයේ සිංහල බෞද්ධයන් පමණක් බව විශ්වාස කරන අයද එම පක්ෂය තුළ සිටිති. රටේ ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවිය හැකි වනුයේ පෞද්ගලික අංශය මත යැපෙන ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් පමණක් යැයි විශ්වාස කරන අය මෙන්ම, එවැනි ප්‍රතිපත්තියක් රටේ නිදහසට හා ස්වාධීනත්වයට හානිකර හෝ අහිතකර බවත් එවැනි ආර්ථික ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ අවසාන ප්‍රතිඵලය වනුයේ බරපතළ ශ්‍රමය සූරාකෑමකට ඉඩලැබීම හා මිනිසුන් යන්ත්‍ර සූත්‍ර බවට පත්වීමක් බවත් විශ්වාස කරන අයද 1994 වසරෙන් පසුවත් ශ්‍රීලනිපය තුළ සිටිති. සංක්ෂිප්තව දක්වන්නේ නම් ධනේශ්වරයත්, මධ්‍යම පන්තියත්, නිර්ධනයනුත් නොඑසේනම් දක්ෂිණාංශිකයින් මෙන්ම, මධ්‍යම වාමවාදීන්ද ප්‍රතිගාමීන් සේම ප්‍රගතිශීලීන්ද ද ශ්‍රීලනිපය තුළ ආරම්භයේ සිටම සිටීම එය පන්ති ස්වභාවයෙන් තොරවීමට දැඩිව බලපෑවේය. ආරම්භයේදීම ප්‍රකාශිත ආකාරයට පක්ෂය පදනම් වූයේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන බලවේගයක් මතය. 1948දී ලද ඩොමීනියන් තත්ත්වය හෙවත් අර්ධ නිදහසේ ප්‍රතිඵල අතිමහත් බහුතරය වූ සාමාන්‍ය ජනතාව අතරට කාන්දුවන බවක් නොපෙනුණු තත්ත්වයක් තුළ එම අාකාරයට පක්ෂය ගොඩනැගීමේ යම් සාධාරණත්වයක් ද දැකිය හැක. කෙසේ වෙතත් සඟ යන්නෙන් සියලුම ආගමික නායකයන් හෝ නියෝජිතයන්ද වෙද යන්නෙන් සියලු ජාතීන්ට අයත් වෛද්‍යවරුන්ද, ගුරු යන්නෙන් සියලු ජාතීන්ට අයත් ගුරුවරුන්ද, ගොවි යන්නෙන් සියලු ගොවීන්ද, කම්කරු යන්නෙන් අදහස් වන්නේ සියලු ජාතීන්ට අයත් කම්කරුවන්ද ලෙස අරුත් ගැන්වීමට පක්ෂය ආරම්භයේ සිටම අපොහොසත් වූ බවද ඉතිහාසය විශ්ලේෂණය කිරීමේදී මැනවින් පෙනී යන්නේය. එම තත්ත්වය ජාතියේ ගමන්මගට බරපතළ හානි ගෙන දෙන ආකාරයට බලපෑම් ඇති කළ බව ඓතිහාසික අත්දැකීම්වලින් සනාථ වේ. ඉදිරි කාලයේදී ශ්‍රීලනිපය මෙයටත් වඩා ගැඹුරු අර්බුදයකට මුහුණ දෙනු නිසැකය. පක්ෂය අතීතයේ දී මෙන්ම වර්තමානයේදීත් සියලු ජන කොටස්වලට සමාන අයිතිවාසිකම් හා ආරක්ෂාව සැලසීම වෙනුවෙන් පෙනී නොසිටීම නිසා එක්සත් ජාතික පක්ෂයට සුළු ජාතිකයන්ගේ හා බෞද්ධ නොවන පුරවැසියන්ගේ ආරක්ෂකයා ලෙස පහසුවෙන් පෙනී සිටිය හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත. ප්‍රායෝගිකව එය සත්‍යයක් නොවූවද එය ඉදිරි මැතිවරණවලදීත් ශ්‍රීලනිපයට අහිතකර ලෙසින් බලපානු ඇත. දශක කිහිපයක සිට ජාත්‍යන්තර තලයේ ඇතිවූ වෙනස්කම් ද පක්ෂයේ අර්බුදයට බලපෑවේය. පක්ෂය බිහි වූ කාලවකවානුව තුළ එකිනෙකට ප්‍රතිවිරුද්ධ බලකඳවුරු දෙකක් ලෙසින් සෝවියට් රුසියාව ප්‍රමුඛ සමාජවදී කඳවුරුත්, ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ධනේෂ්වර දේපොළ ක්‍රමය පදනම් කරගත් බටහිර බලකඳවුරක් ක්‍රියාත්මක විය. ඒ නිසාම දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසුව නිදහස ලබාගත් හා අලුතෙන් බිහි වූ බොහෝ රාජ්‍යවලට කිසියම් ආකාරයක ස්වාධීනත්වයකින් කටයුතු කිරීමේ හැකියාව හෝ අවකාශය තිබුණි. ඉන්දියාවේ ජවහර්ලාල් නේරු, මිසරය හෙවත් ඊජිප්තුවේ ගමාල් අබ්දුල් නසාර්, යුගෝස්ලාවියාවේ ජෝෂප් බ්‍රොස් ටිටෝ, ඉන්දුනීසියාවේ සුකර්ණෝ ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක වැනි නායකයින්ට ප්‍රගතිශීලී පියවර ලෙස පෙනී ගිය හෝ මැදමාවතේ ආර්ථික ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමට ඒ නිසාම අවකාශයක් ලැබුණි. ශ්‍රීලනිප ප්‍රමුඛ ආණ්ඩු මගින් චීනය, රුසියාව, නැගෙනහිර ජර්මනිය වැනි සමාජවාදී රටවල සහාය ඇතිව විවිධ කර්මාන්තශාලා ආරම්භ කිරීමටත්, විවිධ බහුජාතික පෞද්ගලික සමාගම් රජයට පවරා ගෙන (උදා - ෂෙල් සමාගම් ජනසතු කිරීම, ඉඩම් ප්‍රතිසංස්කරණ පනත තුළින් රන්පවුම් වතු ජනසතුව) ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කිරීමටත් පිටුබලය ලැබුණේ ජාත්‍යන්තරය තුළ ක්‍රියාත්මක වූ බලකඳවුරු සමග කේවල් කිරීමේ හැකියාවක් පැවතුණු හෙයිනි. වත්මන් ජාත්‍යන්තරය තුළ එබඳු බලකඳවුරු න්‍යායක් විද්‍යමාන නොවේ. ශ්‍රීලනිපයේ වත්මන් අර්බුදයට 1977න් පසුව දේශීය තලයේ ඇතිවූ වෙනස්කම් ද හේතුවිය. 1977 බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විවෘත ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කිරීමත් සමග දේශීය ආර්ථිකයේ හැඩගැස්ම බරපතළ වෙනසකට භාජනය විය. විවෘත ආර්ථික ක්‍රමය අපේ පුරවැසියන්ගේ චින්තනයට ද මහා බලපෑමක් ඇති කරන ලදී. එක්සත් ජාතික පක්ෂය රට තුළ ක්‍රියාත්මක කළේ දියුණු ධනපති රටවල ක්‍රියාත්මක කරන ආකාරයේ විවෘත ආර්ථික ක්‍රමයක් නොවන බව පැහැදලිව සඳහන් කළ යුතු වේ. වසර 17ක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේ මෙරට රාජ්‍ය තන්ත්‍රය බරපතළ ලෙස දූෂණයට ලක්වීම ආරම්භ වූ අතර අද දක්වාම ඉන් මිදීමට ලාංකීය සමාජය සමත් වී නැත. මේ දූෂිත සමාජ ආර්ථිකය තුළ දූෂිත අන්දමට මුදල් උපයාගත් ජාවාරම්කාර පන්තියක් ඉස් මතු වූ අතර රටේ අවාසනාවකට අප රටේ ආර්ථිකය මෙන්ම දේශපාලනය තුළද බලගතුම පන්තිය ලෙස ඉස්මතුව ඇත්තේ මේ කණ්ඩායමය. මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළද තවදුරටත් සඟ, වෙද, හෝ කම්කරු බලවේගවලට හඬක් නොමැත. දැන් එහි සිටින්නේ විවෘත ආර්ථික ක්‍රමයෙන් ස්ථාපිත වූ විනාශකාරී චින්තයෙන් සමන්විත පිරිසකි. පක්ෂයේ අවාසනාවට මෙම පිරිහීම බිම් මට්ටම් දක්වාම ස්ථාපිතව තිබේ. ගෙවී ගිය වසර 30ක කාලය තුළ ලබාගත් විවිධ වරදානයන්ට ලොල්වූ පක්ෂයේ සමහර ක්‍රියාකාරිකයන් එම තත්ත්වයම තවදුරටත් පවත්වාගෙන යාම සඳහා කෙසේ හෝ බලය ලබා ගැනීම එකම අභිප්‍රාය කරගත් පිරිසක් බවට පත්ව සිටිති. තමන්ට රටේ ඉදිරි ගමන හෝ ජනතා අපේක්ෂකාවන් සාක්ෂාත් කර ගැනීමට අදාළ වූ කිසිදු දර්ශනයක් හෝ දැක්මක් නොමැති බව ඔවුහු ප්‍රදර්ශනය කරමින් සිටිති. අවම වශයෙන් තම පක්ෂය හා පක්ෂයට සැබැවින්ම ආදරය කරන අහිංසක පාක්ෂිකයන් මහා විනාශයක් කරා ගෙන යමින් සිටින බව ඔවුන් වටහා ගෙන නැති බව පෙනේ. එසේ නැතිනම් ඒ බව වැටහුණද තම පෞද්ගලික අභිලාෂයන් පක්ෂය හෝ පාක්ෂිකයාට වඩා වැදගත් සේ සලකන බව පෙනේ. 2015 ජනාධිපතිවරණයේදී ලත් පරාජය හා මහා මැතිවරණයෙන් ලත් පරාජය තුළ ශ්‍රීලනිපය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය වත්මනේදී මුහුණ දෙන අර්බුදය තේරුම් ගත හැක්කේ ඉහත ආකාරයේ විග්‍රහයක් තුළින් පමණි. එම පරාජය එක් අතකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කරමින් සංශෝධනය කරමින් යථාතත්ත්වයට පත් කර ගැනීමට ස්වර්ණමය අවකාශයක් ලෙසින් ප්‍රයෝජනයට ගත හැකිව තිබේ. ඒ සඳහා පක්ෂය තුළ ස්වයං විවේචනයක් බුද්ධිමය සංවාදයක් සිදුකිරීමට හෝ උත්සාහයක් පෙලඹීමක් ඇති බවක් දක්නට නොතිබීම බලවත්ම ඛේදවාචකයකි. ශ්‍රීලනිප නිර්මාතෘවරයා මනුෂ්‍ය සහෝදරත්වය පිළිබඳව දැක්වූ ආකල්පය මෙහිලා සඳහන් කරන්නේ වර්තමානය වන විට පක්ෂය එම ආකල්ප හෝ පිළිවෙත් තුළින් කෙතරම් දුරස්ථව ඇද්ද යන්න ප්‍රායෝගිකව අවබෝධ කරගැනීම පහසු වනු පිණිසය. .‘‘ඒබ්‍රහම් ලින්කන් කිව්වා වගේ මා යන්නේ කිසිම කෙනකු සමග ක්‍රෝධයෙන් නොවෙයි. කවුරු කෙරෙහිත් මෛත්‍රි කරුණාවෙනුයි. මෙය මිත්‍රකමින් මට ගෞරව කළ අය සම්බන්ධයෙන් පමණක් නොවෙයි, සතුරු කමින් මට ගෞරව කළ අය සම්බන්ධයෙනුත් එසේමයි. බලයේ තිබෙන දූෂණාත්මක බලපෑම පිළිබඳව බොහෝ දෙනා උපුටා දක්වන ඇක්ටන් සාමිගේ කියමන, ඇත්ත වශයෙන්ම මෙන්න මෙහෙමයි කියල මට බොහෝ විට කල්පනා වුණා. කිසියම් පරමාර්ථයක් ඉටු කර ගැනීමේ මාර්ගයක් තමයි බලය. කොයි විදියේ මාර්ගයක්ද? මහජනයාට වටිනා සේවයක් ඉටු කිරී‍මේ මාර්ගයක්. හැබැයි, මේකෙදි අර මුල් පරමාර්ථ අමතක කර දා බලය අතේ තිබෙන මිනිස්සු ඒ බලය තහවුරු කර ගන්නත් ඒකේ තව ටිකක් ගැඹුරට බැහැගන්නත්, ඒක තව ටිකක් දික්කර ගන්නත් මාන බලනවා. ‘‘ආගම මගින් හෝ දර්ශනයක් මගින් හෝ විද්‍යාව මගින් හෝ දේශපාලන ප්‍රඥප්තියක් මගින් හෝ මනුෂ්‍ය ප්‍රජාව එකම සහෝදරත්වයක්ය යන නිගමනයට බසින්නට සිද්ධ වෙනවා. ශත වර්ෂ ගණනාවක් තිස්සේ දේශකයන් විසින් දේශනා කරන ලද නමුත් කවදාවත් ක්‍රියාවට පරිවර්තනය නොවූ මේ මනුෂ්‍යයාගේ මහා සහෝදරත්වය අපි අවබෝධ කරගත යුතුයි’’ 1994 දී බලයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ශ්‍රීලනිපය ගොඩනැගූ සිය මව හා පියා හඳුන්වා දුන් ආර්ථික ක්‍රමය හා ප්‍රගතිශීලී මුහුණුවර එක්සත් ජාතික පක්ෂයට හිතකර ලෙසින් වෙනස් කිරීමත්, වත්මන් ශ්‍රීලනිප නායකත්වය විසින් එය එක්සත් ජාතික පක්ෂයට බලය ලබාදෙන මෙවලමක් බවට පත් කරමින් දේශපාලන පක්ෂයක මුඛ්‍ය අරමුණ සිඳ බිඳ දැමීමත් නිසා හටගත් අර්බුදයේ විපාකය වශයෙන් එහි ජන පදනම 13%ක තත්ත්වයට ඉතිහාසයේ ප්‍රථම වරට පහළට ඇද දැමීමට මෙරට ප්‍රගතිශීලී වූත් වාමාවාදී වූත් පොදු මහජනතාව පෙලඹී තිබේ. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොදුරු වී තිබෙන මරණීය අර්බුදයෙන් එය සැබෑ ලෙසම ගොඩගැනීමට නම් එහි පැවැති දිවංගත බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ පිළිවෙත හා දර්ශනය වෙත නැවතත් පක්ෂය රැගෙන යා යුතුය. ඒ සඳහා දැනට පක්ෂය තුළ පවත්නා ව්‍යාජ මධ්‍යම කාරක සභාව විසුරුවා හැර පක්ෂය හරයාත්මකව ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම පදනම් කරගත් නිලවරණයක් පැවැත්වීමත් පවත්නා විධායකයේ නියෝජිතයින් බිහි කරන ක්‍රමය වෙනුවට පොදුජන නියෝජිතයින් බිහි කර ගැනී‍මේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නැවත ඇරඹීමත් මුදලට වඩා ජනතාව කෙරෙහි විශ්වාසය තැබීමේ බණ්ඩාරනායක පිළිවෙත අනුගමනය කිරීමත් මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කිරීමේ අවකාශය අහිමි කෙරෙන අණපනත් සම්මත කිරීම මෙන්ම ඡන්ද පෙත්සම් විභාග කිරී‍ම් නෛතික අධිකරණ ක්‍රමය නැවතත් හඳුන්වා දීම සේම මන්ත්‍රී විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කිරීමට වෙර දැරීමත් අත්‍යවශයෙන්ම සිදු කළ යුතුය. හුදු වචනයට පමණක් සීමා නොකරමින් පක්ෂය ප්‍රායෝගිකවම ජනතාවාදී පක්ෂයක් බවට පත් කළ යුතුමය. එවිට ජනතාවට නැවතත් එජාපයට විකල්පයක් වූ ශ්‍රීලනිපය නැවත හමුවනු නොඅනුමානය. රාජා කටුගම්පොළ
 

More News..