Uncategorized

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් බලවේග එක්වෙයි-ජාතික සබඳතා ක්ෂේත්‍රයේ ඉතිහාසය අලුතින් ලියැවෙයි

ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) විසඳුම් සම්පාදක ලෙස අසමසම බලවේගයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සහ SLT මොබිටෙල් සිය ඒකාබද්ධ සන්නාම අනන්‍යතාව 2021 ජනවාරි මස 01 වනදා ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේදී ජනගත කළේය. එම සන්නාම දෙකෙහි සේවා ඒකාබද්ධ කෙරෙන එම ඓතිහාසික අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, එම සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා, SLT මොබිටෙල් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කිරීම සඳහා SLT-MOBITEL විශාල දායකත්වයක් ලබා දෙන අතර තාක්‍ෂණයෙන් පණගැන්වෙන ආර්ථිකයක් සහ තාක්‍ෂණය පදනම් කරගත් සමාජයක් නිර්මාණය කිරීමට රජය ගන්නා උත්සාහයට මෙම ඓතිහාසික එකමුතුව ඉවහල් වනු ඇත.

වසර 163 කට අධික කාලයක පටන්, ශ්‍රී ලංකා ටෙලිකොම් ස්ථාවර, ජංගම සහ වෙනත් මෙහෙයුම් අංශ තුළ සිය මෙහෙයුම් කටයුතු සිදුකරමින් මෙරට සබඳතා අවශ්‍යතා සපුරාලීමට පුරෝගාමී මෙහෙවරක් සිදු කර ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් මෙරට ස්ථාවර දුරකථන සබඳතා ක්ෂේත්‍රයේ අසමසම වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස ද මොබිටෙල් මෙරට ජංගම දුරකථන සේවා ක්ෂේත්‍රයේ සංධිස්ථානයක් සනිටුහන් කළ සන්නාමය ලෙස ද අත්වැල් බැඳ ගනිමින් ඩිජිටල්කරණය හරහා ජනතාව සවිබල ගැන්වීම සහ ව්‍යාපාර පරිණාමනයට ලක් කිරීම තුළින් මෙරට ජනතාව සවිබල ගැන්වීමට කටයුතු කරයි.

“අද දින සිදු වූ සන්නාම ඒකාබද්ධ කිරීම හරහා ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එකම සන්නාමයක් යටතට ගෙන ඒමට අප කටයුතු කර තිබෙනවා. සන්නාම ද්විත්වයම හිමිකරගෙන ඇති කීර්ති නාමය ඒකාබද්ධ කිරීම හරහා SLT-MOBITEL සතු සන්නාම හිමිකාරිත්වය තවදුරටත් ශක්තිමත් කරනවා. එය පාරිභෝගිකයාගේ මනසට එක්වරම කාවදින, විශ්වාසවන්ත සහ පිළිගැනීමට ලක්වන සන්නාමයක් බවට පත්වනු ඇති බව අපගේ විශ්වාසයයි,” යනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.