Uncategorized

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2019 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන ලබයි

ශ්‍රී ලංකාවේ රක්ෂණයේ දැවැන්තයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 16 වන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ව්‍යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් ඇගයීමට ලක්විය. වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සැම අංශයකින්ම විශිෂ්ටතා දැක්වූ ව්‍යාපාර ඇගයීමට ලක් කිරීම සිදුකරන අතර සෑම තරගකරුවෙක්ම වට තුනකදී ඇගයීමට ලක් කිරීම සිදු කරන ලදී.

මෙම ඇගයීම් ක්‍රියාවලිය නායකත්වය,ආයතනික පාලනය, ධාරිතා වර්ධනය,කාර්ය සාධන කළමනාකරණය, ගෝලීය හා දේශීය වෙළෙඳපළ ප්‍රවේශය, ආයතනික සමාජ වගකීම සහ පාරිසරික තිරසාරාත්මක බව සහ ව්‍යාපාර සහ මුල්‍ය ප්‍රතිඵල යන නිර්ණායක 7 මත පදනම් විය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ විශාලතම වත්කම් සම්භාරය වන රු. බිලියන 205 අධික වත්කම්වලට හිමිකම් කියන අතර ක්ෂේත්‍රයේ විශාලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 110 කට අධික අරමුදලක් කළමනාකරණය කරයි. රු බිලියන 6ක ශක්තිමත් ප්‍රාග්ධනයකින්ද යුක්ත ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රටේ සුරක්ෂිතම සහ විශ්වාසදායකම රක්ෂණ විසඳුම් සපයන්නා වේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සතු ප්‍රමුඛ ව්‍යාපාර ව්‍යුහය, ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයන්හි දක්වන මනා විවිධාංගීකරණයකින් යුත් සහභාගීත්වය, වෙළඳපළ අවශ්‍යතා මත පදනම් වූ රක්ෂණ සැලසුම් කෙරෙහි දක්වනු ලබන නිරන්තර අවධානය සහ ප්‍රශස්ථ ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලිය ඔස්සේ ශ්‍රී ලංකාවේ AAA (lka) මුල්‍ය වර්ගීකරණය හිමි එකම රක්ෂණ ආයතනය බවට පත්වෙමින් රක්ෂණ ක්ෂේත්‍රය තුළ අද්විතීය ස්ථානයකට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඔසවා තැබීමට සමත්ව ඇත. එමෙන්ම ආයතනය සතු පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් උපායමාර්ගවල සාර්ථකත්වය පිළිබිඹු කරමින් 2019 වසරේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සන්නාම නාම තුන අතර රැඳෙමින් වසරේ විශිෂ්ටතම සාමාන්‍ය රක්ෂණ සන්නාමය බවට පත්වීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත් විය. එසේම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ISO 9001: 2015 සහතිකය සහ කාර්ය සාධන විශිෂ්ටත්වය වෙනුවෙන් ජාතික තත්ත්ව සම්මාන හිමිකරගත් එකම රක්ෂණ ආයතනය වන අතර ශාඛා 158කින් සහ 2700ක කාර්ය මණ්ඩලයකින් යුක්තව දිවයින පුරා විහිදුනු රක්ෂණ උපදේශක ජාලයක්ද සහිතව පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් ලබා දෙයි.