ක්‍රීඩා

ශ්‍රී ලංකාවට 96 ක්‍රිකට් ලෝක ශූරයන් වීමට කාටත් හොරා ඔස්ට්‍රේලියාව උදව් කළ හැටි

එය නම් අදටත් සිහිනයක් වැනිය. ඇස් අදහාගත නොහැකි විජ්ජාවක් වැනිය. ඒ වන විට ටෙස්ට් වරම් ලබා වසර 14ක් පමණක් වූ මෙන්ම ආසියානු ක්‍රිකට් කලාපයේ ‘පොඩි මල්ලී’ වූ ශ්‍රී ලංකාව ඒ වික්‍රමය කළ අපූරුව…. වර්ෂ 1996 අද වැනි දිනක පකිස්තානයේ ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේ ලෝක ක්‍රිකට් වංශ කථාවේ මහා බලවතකු දණ ගස්වමින් ක්‍රිකට් ලෝක කුසලාන ශ්‍රී ලංකාව නමින් දිනාගැනීමට ඩෙව් වට්මෝර්ගේ ගුරුහරුකම් යටතේ අර්ජුණ රණතුංග ප්‍රමුඛ පෙරළිකාරයින් කළ ඒ සටන….

එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වික්‍රමයකි.
ශ්‍රී ලංකාව විල්ස් ලෝක කුසලානයට පා තැබුවේ නිදහස් ජයග්‍රාහී මනසකින් නම් නොවේ. ඉන්දියාව සහ පකිස්තානය හැරුණු විට ශ්‍රී ලංකාවටද සත්කාරක අවස්ථාව හිමිවූ එම ලෝක කුසලාන තරගාවලිය ඇරැඹි 1996 පෙබරවාරි 14 වැනිදාට සති 2ක් තිබියදී හෙවත් 1996 ජනවාරි 31 වැනිදා මහ බැංකුවට එල්ලවූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයෙන් 91 දෙනෙක් මියගොස් දහසකට අධික පිරිසක් තුවාල ලැබුවේය. ඒ ත්‍රස්ත භීෂණය මැද ඔස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් ආදී කණ්ඩායම් ලෝක කුසලාන තරග වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්‍ෂේප කළේය. තරග කාලසටහනට අනුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත වූ ඉතිරි තරගද යොදාගත් පරිදි පවත්වනවාද නැද්ද යන තීරණය තිබුණේ ත්‍රස්තවාදියාගේ හැසිරීම මතය. නමුත් ලෝක කුසලාන ඇරඹෙන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලියා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදියාටද වඩා තරහෙන් හිටියේ නම් ඒ ඔස්ට්‍රේලියාවත් සමගය. මන්ද එම ලෝක කුසලාන ඇරඹීමට ප්‍රථම ශ්‍රී ලංකාවට යෙදුණු අවසන් තරගාවලිය වූ ඔස්ට්‍රේලියාව සමග තරගාවලියේදී අපගේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට වූ කෙනෙහිලිකම් නිසාය.

තරගාවලිය අතරතුර ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ලෝලීන් මෙන්ම එම ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ගේ මුවින් අප ක්‍රීඩකයන් එල්ලයේ පිටවූ නිර්දය වචන, කිසිදු පදනමක් නැතිව එල්ල කළ පන්දුව පළුදු කිරීමේ චෝදනා, එම්.සී.ජී ක්‍රීඩාංගණයේ බොක්සිං දිනය දා පැවැති තරගයේදී ඩැරල් හෙයාර් විනිසුරුවරයා පන්දුව දමාගසන බවට කළ චෝදනා ආදී එකී මෙකී නොකී කෙනෙහිලිකම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලියාට ඔස්ට්‍රේලියාව ‘තිත්තම තිත්ත’ වී තිබූ යුගයකි එය. එසේ තිබියදී තමන් ඉදිරියට ආ සියලුම ප්‍රතිවාදීන් පරාජයට පත්කරමින් අවශ්‍යවම සිටි ප්‍රතිවාදියා වූ ඔස්ට්‍රේලියාව දණ ගස්වා, ලෝක කුසලාන දිනාගැනීම, අපට කළ කෙනෙහිලිකම්වලට අඩු නැතිව වාඩුව ගැනීමක් ලෙසිනි අපට දැනුනේ. නමුත් අප බොහෝ දෙනක් තවම නොදන්නා කරුණක් වේ.
එනම් එදා ඒ ලෝක කුසලාන දිනාගැනීම උදෙසා කාටත් හොරා අපට ලොකුම උපකාරය කළේ ඔස්ට්‍රේලියාව බවය. ඒ සඳහා පදනම වූයේ අපට ඔස්ට්‍රේලියාව තිත්ත වූ 1995 දෙසැම්බර් යෙදුණු ඒ ඔස්ට්‍රේලියානු සංචාරය බවය.

ඒ බැව් පවසන්නේ, එදා අපි ලෝක කුසලාන දිනාගනිද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වූ සහ එම ලෝක කුසලාන වෙනුවෙන් අවශ්‍යම සැලසුම නිසි පරිදි ක්‍රියාත්මක කළ ආනා පුංචිහේවා මහතාය.

ඔහුගේ වචනයෙන් එය මෙසේය.
‘ඒ වෙනකම්ම අපේ කණ්ඩායමට හිටියේ අපේ රටේම පුහුණුකරුවෝ. ඒත් ලංකාවේ පුහුණුකරුවකුට කණ්ඩායමට කරන්න පුළුවන් බලපෑම අඩුයි කියලා මට දැනුණා. ඒ නිසා මම හිතුවා පිටරටින් පුහුණුකරුවෙක් ගෙනාවොත් එයාට කිසිම පිටස්තර බලපෑමක් නැතිව, කණ්ඩායමේ සාමාජිකයන් එක්ක ‘අයියා මල්ලි කථා’ව නැතිව කණ්ඩායම හොඳට පාලනය කරගෙන දක්‍ෂතා නංවන්න පුළුවන් වෙයි කියලා. එහෙම හිතලා මම එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව වගේම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩල වලින් ලිඛිතව ඉල්ලුවා අපේ රටේ ක්‍රිකට් කණ්ඩායම පුහුණු කරන්න ඒ අයගේ රටවල පුහුණුකරුවෝ දෙදෙනා බැගින් නම් කරන්න කියලා. මේ විදිහට ඒ ඒ රටවලින් ආපු පුහුණුකරුවන්ගේ තොරතුරු මම කියවලා බැලුවහම මට තේරුණා ඩේව් වට්මෝර් තමයි හැම අතින්ම මේකට ගැළපෙන්නේ කියලා. එයාගෙ පුහුණුකරුවෙක් හැටියට අත්දැකීම් විතරක් නෙමෙයි, එයා ලංකාවේ ඉපදුණු කෙනෙක් නිසා හදවතින්ම මේ කටයුත්ත කරයි කියලා මම හිතුවා’

‘ඒත් ලොකුම අභියෝගය වුණේ එයාගෙ පඩිය දෙන එක. අවුරුද්දක තරග කොන්ත්‍රාත්තුවට එයාගෙ ගාස්තුව වුණේ ඩොලර් ලක්‍ෂයක්. ඒත් ඒ වෙනකොට ක්‍රිකට් බෝඩ් එකේ ගිණුමේ රුපියල්වලිනුත් තිබුණේ ලක්‍ෂ 3ක් විතරයි. ඉතිං මේ ඩොලර් ලක්‍ෂය හොයන්න මම හතර අතේ කට්ටියගෙන් උදව් ඉල්ලුවා. ඒ දවස්වල ඔස්ට්‍රේලියාවේ අපේ ක්‍රිකට් නියෝජිතයා හිටියේ ඩොක්ටර් ක්වින්ටස් ද සිල්වා කියලා මහත්තයෙක්. මම ක්වින්ටස්ටත් කිව්වා එහේ ඉන්න ලංකාවෙ අයගෙන් මුදල් එකතුකරලා හරි වට්මෝර්ට පඩිය ගෙවන්න මට කීයක්හරි එකතු කරලා එවන්න කියලා. ඔය අතරේ මම වට්මෝර්ව ලංකාවට ගෙන්වන්න කොන්ත්‍රාත්තුවටත් අත්සන් කරලා ආවා. ඒත් සල්ලි නැහැ. ඔය විදිහට ගිහින් වට්මෝර් ලංකාවට එන්න තිබුනේ තව සති දෙකයි. කොහොම හරි සල්ලි ටික හොයන්න ඕනා. මම ක්වින්ටස්ටත් හැමදාම කථා කරලා කොහෙන් හරි සල්ලි ලැබුණද කියලා අහනවා. එයත් කියනව තවම ප්‍රගතියක් නැහැ කියලා. දැන් වට්මෝර් ලංකාවට එන්න දවස් 3යි තව ඉතුරුවෙලා තියෙන්නේ. ආපුහැටියේ එයාට සල්ලි දෙන්නත් ඕනේ. මම එදත් කථා කළා ක්වින්ටස්ට. එයා මට කිව්වා සල්ලි හොයාගත්තා කියලා.

මම ඇහුවා ඒ කොහොමද කියලා. බැලුවහම මේ සල්ලි දෙන්න එකඟවෙලා තියෙන්නේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය. ඒ අයට ක්වින්ටස් මේ කථාව කිව්වහම ඒ අය කරලා තිබුණේ ඒ වෙනකොට පවත්වන්න සැලසුම් කරලා තිබුණු, අර 95 දෙසැම්බර් මාසේ බෙන්සන් ඇන්ඩ් හෙජස් තරගාවලියත් එක්ක තිබුණු තරග සංචාරය වෙනුවෙන් අපට ඒ රටින් ගෙවන්න එකඟවෙලා තිබුණු මුදල දෙගුණ කරපු එකයි. ඒ කියන්නේ ටිරෝන් ප්‍රනාන්දු මහත්තයා ක්‍රිකට් සභාපති කාලේ, මට මතක හැටියට 1993 දී තමයි මේ සංචාරයට එකඟතාව ඇතිවෙන්නේ. ඒ වෙනුවෙන් ඔස්ට්‍රේලියාව අපට ඩොලර් ලක්‍ෂයක ‘ගැරන්ටි මනී’ එකක් ගෙවන්නයි එකඟ වෙලා හිටියේ. ඒත් අපේ මේ ඉල්ලීම නිසා ඒ අය ඒක දෙගුණයක් කරලා ඩොලර් ලක්‍ෂ 2ක් කරන්නම් කියලා තියෙනවා.

එතකොට ඒ අය වැඩිපුර දෙන ලක්‍ෂය වට්මෝර්ගේ කොන්ත්‍රාත් ගාස්තුව විදිහට ගෙවන්න කියලා ඒ අය කියලා තිබුණා. හැබැයි මේක, වෙනත් අමතර වියදම් පියවාගැනීමට ලංකාවෙ ඉල්ලීමක් නිසා වැඩි කරපු මුදලක් කියලා කියනවා මිසක් වට්මෝර්ගෙ ගාස්තුව ගෙවන්න දීපු මුදලක් කියලා නම් කාටවත් කියන්න එපා කියලා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලීමක් කරලා තිබුණා. අපිට ඒ සල්ලි ලැබුණා. අපිට වට්මෝර්වත් ලැබුණා’

මෙම ලෝක කුසලාන ජයග්‍රහණයේ ප්‍රධානම සාධකයක් වන්නේ වට්මෝර්ය. සනත්-කළු සුසංයෝගයෙන් පළමු පන්දුවාර 15දී දැඩිව පහරදීමේ රැඩිකල් ක්‍රිකට් කලාව ප්‍රායෝගික කරමින්, කණ්ඩායම මනා ලෙස පාලනය කරගනිමින් අර්ජුණ රණතුංගේ තියුණු නායකත්වයට, දියුණු කණ්ඩායමක් පිරිනමන්නේ වට්මෝටර්ය. ඒ ජයග්‍රහණයේ මහමොළකරු ලෙසින් ලෝකයා හඳුන්වනුයේ වට්මෝර්වයි. වට්මෝර්ව අපට තෝරා දෙන්නේ ඔස්ට්‍රේලියාවයි. අතේ සතේ නැතිව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට වට්මෝර්ට ගෙවීම පිණිස දහසින් බැඳ පියලි පුදන්නේ ද ඔස්ට්‍රේලියාවයි. ඒ අනුව හරියටම මෙයින් වසර 23කට එපිට මෙවැනි දිනක ඔස්ට්‍රේලියාව පරදා ලෝක ශූරයන් වීම සඳහා ශ්‍රී ලංකාවට දැවැන්තම උපකාරය කරන්නේ ද ඔස්ට්‍රේලියාවයි.

ඉන්ද්‍රජින් සුබසිංහ