අතන මෙතන

ශ්‍රී ලංකන් පවත්වාගෙන යාමට නොහැකි අර්බුදයක

සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා සභාපතිත්වය දරන පාර්ලිමේන්තුවේ කෝප් කාරක සභාව පසුගිය සතියේ කැඳවා තිබුණේ ශ‍්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ නිලධාරීන්ය.

එම සමාගමට එයාර් බස් ගෙන්වීමේදී සිදුවී ඇති මුදල් අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සඳහා කිහිප අවස්ථාවකදීම ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම කැඳවා තිබිණි.

පරීක්ෂණවලදී හෙළිවූයේ මේ වනවිට ශ‍්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම පවත්වාගෙන යෑමට නොහැකි මට්ටමේ මුල්‍ය අර්බුදයක ගිලී ඇති බවයි. එමෙන්ම මේ වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ණය පදනමින් ඉන්ධන ලබාදීම නිසා යම් සහනයක් ශ‍්‍රී ලංකන් සමාගමට ලැබෙන බවද හෙළිවිය.

කෙසේ වෙතත් සමාගම පවත්වාගෙන යෑම සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 900ක මුදල් අවශ්‍ය බවද නිලධාරීන්ගේ පැහැදිලි කිරීම්වලදී කෝප් කමිටුවට හෙළිදරව් විය. ”අපි ඔබලාගේ සමාගමේ වංචා දූෂණ හොයනවා. ඒවා නවත්වන්න කටයුතු කරන ඒක නිලධාරීන්ගේ වගකීමක්.

ඒ වගේම අපි යෝජනා කරනවා නාස්තිය දූෂණය නවත්වලා අනවශ්‍ය වියදම් අවම කරලා සමාගම පවත්වාගෙන යන්න උත්සාහ කළ යුතුයි. නැත්නම් ආණ්ඩුව කරන්නේ මේකත් විකුණලා දාන එක. එහෙම වුණොත් ඒක රටට වෙන විශාල පාඩුවක්. අපි කෝප් කමිටුව විදියටම කොළඹ නැගෙනහිර ජැටිය විකුණන්න එපා කියලා නිර්දේශ ලබාදුන්නා. කුමන හෝ අයුරකින් නැගෙනහිර ජැටියට අවශ්‍ය දොඹකර මිලට ගෙන මෙහෙයුම් අරඹන්න උපදෙස් දුන්නා.

නමුත් අන්තිමේදී මොකද වුණේ. ඒක විකුණන්න ගිවිසුම් අත්සන් කරනවා. ඒ නිසා ශ‍්‍රී ලංකන් සමාගමටත් ඒක වෙන්න ඉඩ තියන්න එපා.” සභාපතිවරයා කියා සිටියේය. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී වාර්තා දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කෝප් කමිටුව කටයුතු කරමින් සිටියි.

එමෙන්ම කෝප් කමිටුවේ කටයුතු මාධ්‍ය වෙත වාර්තා කිරීම සඳහා අවශ්‍ය උපකරණ සවිකිරීම් මේ වනවිට සිදුවෙමින් පවතින බවද වාර්තා වේ.