අතන මෙතන

ශ්‍රීලනිප පොහොට්ටුව හමුවීම සිදුවුණේ බඩේ බිජු තියෙද්දී

බදාදා පාර්ලිමේන්තුවේදී ‘පතුරු යන්නට බැණුම් ඇසූ’ ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා වන විට සිටියේ කෙන්යාවේ ය. ඒ කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන ජගත් පරිසර සමුළුවේ සිව්වැනි සැසිය සඳහා සහභාගී වීම පිණිස ය. බ්‍රහස්පතින්දා සවස එරට ජනාධිපති උහුරු කෙන්යාටා සමඟ සාකච්ඡාවකට ද සහභාගීවීමට තිබිණි.

එ.ජා.ප.යට එරෙහි පොදු සන්ධානයක් සෑදීම වෙනුවෙන් ශ්‍රීලනිප – පොහොට්ටු සාකච්ඡා ඇරඹුණේ ද ඉකුත් බ්‍රහස්පතින්දා ය. අයවැය ඡන්ද විමසීමේදී පොහොට්ටුව සහ ශ්‍රීලනිපය අතර පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම් නිසා මේ සාකච්ඡාවලදී කුමක් වේදැ’යි යන්න දේශපාලනය සම්බන්ධයෙන් උනන්දු වන සියලු දෙනාගේම අවධානය ද යොමුවී තිබිණි.

පොදුජන පෙරමුණෙන් එම සාකච්ඡාවට ඉඳගත් ජී.එල්ටත්, ඩලස් අලහප්පෙරුමටත් වුවමනා වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් පොහොට්ටුවට ආකර්ෂණය කරගැනීමටය. ක්‍රමානුකූලව පාක්ෂිකයින් දිනා ගැනීමටය. එසේම ශ්‍රීලනිපයෙන් සාකච්ඡාවට සහභාගි වූ දයාසිරි ජයසේකර ඇතුළු පිරිසට වුවමනා වූයේ ශ්‍රීලනිපයත්, පොදුජන පෙරමුණත් ඉක්මනින් සන්ධානයකට ඈඳීමටය. ඉන්පසුව එම අලුත් සන්ධානයේ නායකයන් විසින් ඊළඟ ජනාධිපති අපේක්ෂකයා තෝරාපත් කර ගැනීමටය. එමගින් ජනාධිපති අපේක්ෂකයා තේරීමට මහින්ද රාජපක්ෂට තිබෙන අවස්ථාවට සීමා පැනවීමය.

ඒ නිසා ශ්‍රීලනිපයේ අයත් පොහොට්ටුවේ අයත් යන දෙපාර්ශ්වයම සාකච්ඡා සඳහා හිඳ ගත්තේ බඩේ බිජු තියාගෙනය.
අපි සන්ධානගත වෙනවා නම් ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති කර ගන්න ඕනෑ.

ජී.එල්. පීරිස් කිවේය. යහපාලන ආණ්ඩුව විසින් කරගෙන යන ජාතික සම්පත් විකිණීමට, රණවිරුවන් හිරේ ලෑමට, කෘෂිකර්මාන්තය – දේශීය නිෂ්පාදන මෙන් ම දේශීය ආර්ථිකය ද බිඳ වැට්ටවීමට එරෙහි ප්‍රතිපත්තියක් දෙපාර්ශ්වයටම අවැසි බව පොහොට්ටුවේ මතය විය.

පොහොට්ටු පාර්ශ්වය ‘මෙම කරුණ’ තදින් අවධාරණය කළේ, පැවති යූඑන්පී රජයත් සමග එකතුව ආණ්ඩු කළ කාලයේ ශ්‍රීලනිපය ජාතික සම්පත් විකිණීම සඳහා සහය දී තිබුණු බැවිනි.

‘‘සන්ධානයක් ඇතිවෙන්න නම් දෙපැත්තෙම නායකයන්ට දෙපැත්තෙම අය ගෞරවයෙන් සලකන්න ඕනෑ. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා අඟුණකොළපැලැස්සේ දී මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාව විවේචනය කළ එක හොඳ නෑ. ඒ වාගේ දෙයකින් මේ සන්ධාන හැඟීම දුර්වල වෙනවා.’ පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් අවධාරණය කෙරිණ.

‘‘මම එහෙම දෙයක් කිව්වේ නෑ. මම කළ කතාවක් වැරදියටයි ප්‍රචාරය වෙලා තියෙන්නේ.’’
දයාසිරි ජයසේකර කීවේ කනගාටුව ප්‍රකාශ කෙරෙන ස්වරයෙනි.