brand logo

වෛද්‍යවරු රට හැර යන්න පෝලිමේ

21 June 2022

සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමේ අවදානමක්

වෛද්‍යවරුන් විශාල වශයෙන් රට හැර යාමට සූදානම් වෙමින් අවසර ඉල්ලා සිටින බව රෝහල් අධ්‍යක්ෂවරු පැවසූහ. දැනට රෝහල් සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන් විදේශ රැකියා සඳහා යොමු වීම හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය විශාල කඩාවැටීමකට ලක්වීම නතර කළ නොහැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති සඳහන් කළේය. මේ වන විට වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන්, හෙදියන්, පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් විශාල වශයෙන් විදේශගත වීමට පියවර ගනිමින් සිටින බැවින් රජයේ මැදිහත්වීම මත කිසියම් කාල සීමාවකට ඔවුන් විදේශ රටවලට යැවීමට කටයුතු කරන්නේ නම් රටට ඩොලර් ලැබීමක් සිදුවන නමුත් මේ වන විට මොවුන් තම පෞද්ගලික කැපවීම මත විදේශගත වීම හේතුවෙන් රටට ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය. තමා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් කීප දෙනකු ලබන සතියේදි විදේශ රටකට යාමට පියවර ගෙන ඇතැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේය. ඔහු තවදුරටත් පවසා සිටියේ මෙරට සේවය කිරීමට තමා තවදුරටත් කැමැති නමුත් ඒ සඳහා සුදුසු වාතාවරණයක් රට තුළ නිර්මාණය වීම අවිනිශ්චිත බවය. මේ අතර දන්තායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායනගෙන් අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ විදේශීය රැකියාවන් සඳහා යාමට වෙද්‍යවරුන් සැලකිය යුතු පිරිසක් අවසර ඉල්ලා තමා වෙත පැමිණෙන බවත් මෙය මෙවැනි රටකට ඉතා අයහපත් තත්ත්වයක් බවය. ශ්‍රියානි විජේසිංහ
 

More News..