අතන මෙතන

වේවැල්හින්න ගැටුමකින් 14කට තුවාල – සැකකරුවන් 2 ක් අත්අඩංගුවට

තෛපොංගල් උත්සවය යෙදී තිබූ 15 දින බදුල්ල වේවැල්හින්න වත්තේදී වතු කම්කරුවන් දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයන් 14 දෙනෙක් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් තුවාල කරුවන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.

තවත් සැකකරුවන් කීපදෙනෙකුද අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුමක් දියත් කර තිබේ.

බීමත්ව කළහකාරි ලෙස හැසිරෙමින් කැපෙන ආයුධ පොලු හා ගල් උපයෝගී කර ගනිමින් මෙම ගැටුම සිදුකර ඇතිබව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

තුවාල කරුවන් රැගෙන ඒමට ගිය ගිලන්රථවලටද මොවුන් අවහිර කර ඇති නමුත් පොලිසියේ මැදිහත් වීමෙන් සියලු තුවාල කරුවන් බදුල්ල මහරෝහලට රැගෙන විත් තිබේ.

පොලිසිය කල සෝදිසියේදි කූඩුකරගෙන සිටි වැලිමුවෙක්ද මුදාගෙන තිබේ. එම සැකකරුද අත්අඩංගුවට ගන්නා බව පොලිසි සදහන් කළේය.

බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත, සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර සහ බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ වනිගසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. එරික් රෝහිත හා උප පොලිස් පරීක්ෂක මංගල ජයතිලක ඇතුලු නිලධාරින් පිරිසක් විමර්ශන සිදුකරති.

අමිල ක්‍රිෂාන්ත – පස්සර