කතුවැකි

වෙසක් සතිය සම්මා සතියෙන් යුතු වේවා!

මේ ඇරඹෙන්නේ වෙසක් සතියයි. ශ්‍රී ලංකාද්වීපයේ වෙසක් සමරන්නට වූ දා සිට මේ දක්වා මෙබඳු වෙසඟක් උදා නොවූ බව නම් නිසැකය.

මගට බසින්නේ නම් මුඛවාඩමක් බැඳගෙන යා යුතුය. වෙසක් දාට එසේ යනෙන අය දකින විට වාචාය සංවරෝ සාධූ යන බුදු වදන සිහිගැන්වෙනු ඇත.

මග නොමග නොදන්නා වුන් මෙන් මහ හඬින් නළා නාද කරමින් පෙර වෙසක් කාලවල මෙන් ඇවිදින්නට ඇඳිරිනීතිය නිසා මගක් නැත. ඒ නීතිය කායේන සංවරෝ සාධූ යන බුදු වදනට රුකුල් දෙනු ඇත.

රාජ නීතිය බුද්ධ නීතියට වඩා ඉහළින් පවතින බව බුදුරජාණන් වහන්සේද පිළිගෙන ඇත. බුද්ධ සමයේ සිටි බිම්බිසාර, කෝසල ආදී රජුන් පැනවූ නීති ඉක්මවා යන්නට තථාගතයන් වහන්සේ කටයුතු කළේ නැත. ඒ නිසාම රජය පැනවූ නීතිය භාර ගන්නට අවැසි හික්මීම ශාසන ඉතිහාසයේ කතා ඇසූ බෞද්ධයාට උරුමය.

දැනට රජය පනවා ඇති නීති කිසිවක් වෙසක් මංගල්‍යයක් කිරීමට බාධාවක් නොවේ. මේ නීති අකුසලය දුරලීමට බාධාවක් නොවේ. සියලු කුසල් වඩා යහපත් සිතුවිලි උපදවා ගැනීමට බෞද්ධයාට බාධාවක් නොවේ. කුසලා කුසල කර්මයන් ගැන ගැඹුර නොදත් බාලයාට වුව වෙසක් සැරසිල්ලක් ගෙදරදී කර චිත්ත ප්‍රීතිය උපදවා ගත හැකිය. මේ වෙසඟේත් පහනක් හෝ දල්වා බෞද්ධයෝ එම ආමිස පූජාවෙහි යෙදෙනු අපි දකිමු.

මේ ව්‍යසනය බෞද්ධයන්ට විශ්වයේත්, ලෝකයේත් තරම තේරුම් ගැනීමට ලබාදුන් අවස්ථාවකි. ජීවිතය තණ අග පිනි බිඳු මෙනි. ලෝකය හත්තක් පොළොවෙන් උඩට එනවිට ඒ හිසෙහි රඳවා ගත් පස් පිඩක් මෙනි.

බුදු බණ අසා පුරුදු උවසු උවැසියන් මේ ව්‍යසනය ගැන කම්පාවට පත් නොවී යථාවාදීව භාරගනු ඇත. වෙසක් සතිය සම්මා සතියෙන් යුතුව ගත කිරීමට හැකිවේවා.

ඉඳින් කෙසේ නම් නැගිටින්නද?

පසුගිය සතියේ කොරෝනා 19 වසංගතයට වැලිසර නාවික හමුදා කඳවුර බිළි වූයේය. කොරෝනා වසංගතයෙන් ජනතාව මුදවා ගැනීමට සිටි ආරක්ෂක අංශ එම වසංගතයට බිළි වීම ගැන ඇසූ බොහෝ දෙනකු ඉමහත් භීතියකට පත් වූහ. එහෙත් මෙබඳු වසංගතයක් සමග සටන් වැදී සිටින විට ජය කණුව ළඟදීම වුව බලාපොරොත්තු විය යුතු දෙයකි. සටනේ යෙදී පුරුදු ත්‍රිවිධ හමුදාව නම් ඒ ගැන අත්දැකීමෙන් දනිති.

කොටි සංවිධානයට එරෙහි සටනේ අන්තිම කෙළවරේදී කොළඹ නගරයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කෙරිණ. කටුනායක ගුවන් හමුදා කඳවුර බිඳ වැටුණේ යුද ජය පෙනෙන මානයේදීය. ඕනෑම යුද්ධයකදී අවසාන අදියරේ වුව එවැනි පරාජයක් සිදුවිය හැකි සේම මෙබඳු වසංගතයකදීද එබඳු දේ ත්‍රිවිධ හමුදාවෙන් බලාපොරොත්තු වූහ. විනයක් සහ සංවිධානගත පිරිසක් වීම නිසා වසංගතය පාලනය කර ගැනීම පහසු විය. එහෙත් ඒ සඳහා ත්‍රිවිධ හමුදාවට කරන්නට වෙන කැප කිරීම සැඟවුණ කඳුළක් බඳුය. පසුගියදා මුහුණු පොතට සටහනක් එක් කළ නාවික හමුදා සෙබළෙකු මෙසේ කියා තිබිණ.

‘‘මා මෙන්ම බිරිඳද හමුදා සේවයේය. ඇය මාර්තු 18 දායින් පසු නිවාඩු ලබා නැත. මේ වන විට ඇය වැලිසර නාවික කඳවුරේ ලොක්ඩවුන් වී ඇත. අවුරුදු පහක පුතා සහ හැත්තෑ පස්වන වියේ සිටින අසනීප තත්ත්වයේ පසුවන බිරිඳගේ මව රාගම කුලී නිවසක තනි වී ඇත. මේවා අපේ ප්‍රශ්න මිසක හමුදාවේ ප්‍රශ්න නොවන බැවින් අප සේවයට වාර්තා කළ යුතුව ඇත.’’

ත්‍රිවිධ හමුදා පොලිසියේ නිලධාරීන් කොරෝනා උණට බිලි වූයේ ක්‍රිකට් තරග නරඹන්නට ගොස් නොව, කුඩට ඇබ්බැහි වූ කොරෝනා උණ රෝගීන් අල්ලන්නට යාමේදීය. එහෙත් ත්‍රිවිධ හමුදාවට කොරෝනා වෛරසය පැතිරුණු බව වාර්තා වූ විට තැන් තැන්වල අශෝභන සිද්ධි කිහිපයක් වාර්තා විණ. හමුදා සෙබළුන් නිවාඩු පිට ගෙදර ආ විට ඔවුන් ගැන පොලිසියට ඔත්තු සපයා තිබුණේ ගමට පිටස්තරයකු ආ බව කියමිනි. එක් නාවික හමුදා සෙබළකුගේ ගෙයි දොරකඩ මල් වඩමක් තබා තිබිණ.

රට බේරා ගැනීමට මහා සාගර ජලකඳ තරණය කළ නාවික සෙබළුන්ට ළිඳේ වතුර ටිකක් ගැනීමට නොදී අැසිරූ අය උන්හ. එසේ වූ විට එබඳු විරුවන්ගේ ඇසේ මතු වන කඳුලු සප්ත මහා සාගරයේ ජලකඳට වඩා බරින් වැඩිය.