විශේෂාංග

වෙසක් මල අතුරුදන් ! සොයා දෙන්න

පැරණි සිංහල මාස ක්‍රමයට අනුව, අලුත් අවුරුදු ‘බක්’ මාසයෙන් පසුව එළඹෙන්නේ ‘වෙසක්’ ය. වෙසක් යනු බෞද්ධයන් විසින් තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුද්ධත්වය ලැබීම සහ පිරිනිවන් පෑම යන තෙමඟුල සමරන මාසයයි. එය සැමරෙන්නේ වෙසක් පුර පසළොස්වක පොහොය දවසටය. ඊට අමතරව, තවත් සුවිශේෂී කාරණයක් සම්බන්ධයෙන් ද, වෙසක් හෙවත් ‘මැයි මාසය’ වැදගත් වේ. එනම්, අපේ රටට වැඩි ම වර්ෂාපතනයක් එළඹෙන ‘නිරිත දිග මෝසම් වර්ෂා සමය’ ද මැයි මාසයෙන් ආරම්භ වීමයි.

නිරිත දිග මෝසම් වැසි සමය එළඹෙත්ම, එතෙක් කර්කශ ඉඩෝරයක වෙළී තිබුණු පරිසරය සහ ගහකොළ අමුතු පණක් ලබමින් සරුසාර ස්වභාවයක් ආරෝපණය කර ගනියි. එහි කූට ප්‍රාප්තිය, අපේ රටේ දෙවැනි කෘෂිකාර්මික වකවානුව සේ සැලකෙන ‘යල කන්නයේ’ ආරම්භයයි. රටේ කුසගිනි නිවනු පිණිස, යල කන්නයේ දී වී ඇතුළු බව භෝග වගා කෙරෙන්නේ නිරිත දිග වැසි මෝසමේ දියවරිනි. කොටින් ම, වෙසක් හෙවත් මැයි මාසයේ එන වැස්ස, රටට ගෙන එන්නේ මහත් සශ්‍රීකත්වයකි. ලංකාවේ තෙත් කලාපීය වනාන්තර සහ ඒවාට සමීප ගම් පෙදෙස්වල තුරු ගොමුවලින් බැතිබරව එබිකම් කරන ‘වෙසක් මල්’, පරිසරය සමග හිනැහෙන්නේ ද මේ කාලයට ය. එනම්, නිරිත දිග මෝසම් වැසි ඇරඹෙන මැයි මාසයේ දීය.

වෙසක් මල්, සුවිශේෂ ය. ඊට හේතුව වන්නේ, වෙසක් මලට ලංකාවේ ‘ජාතික පුෂ්පය’ බවට පත් වීමේ වාසනාව ‘කන ළඟින් ගිය’ හින්දා ය. එසේම, දැනට අතිශයින් ම බරපතළ ලෙස වඳවී යාමේ තර්ජනයට ලක්ව තිබීම නිසා ය. අදින් වසර දහයකට ඉහත, තිස් වසරක කොටි යුද්ධය නිමා වුණු අවස්ථාවේ, එනම් 2009 වසරේ මැයි මාසයේ දී ‘වෙසක් මල’ ජාතික ‘රණවිරු පුෂ්පය’ යයි නම් කළ යුතු බවට ද යෝජනා කෙරුණි. එහෙත් වෙසක් මලට ඒ අවස්ථාව ද හිමි වූයේ නැත.

උද්භිද විද්‍යාත්මකව, Dendrobium maccarthiae’ යනුවෙන් හැඳින්වෙන ‘වෙසක් මල්’, අපේ රටේ වැවෙන දුර්ලභ ගණයේ ‘උඩවැඩියා’ (ඕකිඩ්) ශාක විශේෂයකි. ඒවා වැඩිපුරම හමුවන්නේ තෙත් කලාපීය ප්‍රදේශවල ය. රත්නපුරය, කළුතර, කෑගල්ල සහ ගාල්ල ආදී ප්‍රදේශ එයින් මුල් තැන් ගනියි. එම ප්‍රදේශයන්හි, ස්වාභාවික වනාන්තර මෙන් ම ගෙවතුවල ද වෙසක් මල් දැකිය හැකි ය. වෙසක් මල් සරුවට පිපී හිනැහෙන්නට පටන් ගන්නේ මැයි මාසයේ ය. ඇතැම් විටක, මැයි මාසය පුරාවට ම ඒවායෙහි මල් පිපෙනු දැකිය හැකි ය. ජන වහරේ ‘වෙසක් මල්’ යයි කීව ද, වෙසක් මල සහ සම්බුදු තෙමඟුල අතර සම්බන්ධයක් නැත. එය ‘වෙසක් මල’ යයි ව්‍යවහාරයට පැමිණ තිබෙන්නේ, මැයි මාසයේ දී අලංකාර ලෙස මල් පිපෙන නිසා ය.

ලෝකය ගත් විට, උඩවැඩියා විශේෂ 29,000ක් පමණ හමු වේ. එය ලොව පිළිගත් සපුෂ්ප ශාක අතර දෙවැනි ‘සපුෂ්ප ශාක පවුල’ ලෙස සැලකේ. උද්භිද විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට, ලංකාවෙන් හමුවන උඩවැඩියා විශේෂ සංඛ්‍යාව 188කි. එයින් විශේෂ 69ක් ම, ශ්‍රී ලංකාවට ආවේණික ය. ‘Dendrobium maccarthiae’ යනුවෙන් හැඳින්වෙන ‘වෙසක් මල’ ද, එයින් එකකි.

වෙසක් මල් පුබුදන ‘Dendrobium maccarthiae’ ශාකය, පොළොවේ වැවෙන්නක් නොවේ. ඒවා වැවෙන්නේ තවත් ගසක, එනම් ආධාරක ශාකයක කඳේ හෝ අතුවල බැඳී ගනිමිනි. වෙසක් මල්, වනයේ දී සිය පැවැත්ම සඳහා වෙලී සිටින ආධාරක ශාක ගණනාවකි. තෙත් කලාපයේ බහුලව වැවෙන හොර, වන ඉදල, බටදොඹ, රබර් සහ පුවක් ආදී ගස් වර්ග ඒ අතර කැපී පෙනෙයි. වෙසක් මල් සරුවට වැවෙන්නේ සෙවණ සහිත පරිසරයේ ය.

සාමාන්‍යයෙන් වෙසක් මල් පිපීම ඇරඹෙන්නේ අප්‍රියෙල් මාසය අග භාගයේ සිටය. මැයි මාසයේ දී ඒවායෙහි උපරිමයෙන් මල් දැකිය හැකිය. කෙසේ වෙතත්, එළඹෙන පාරිසරික තත්ත්වයන් අනුව, මාර්තු, ජූනි, අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසවල දී ද මල් පිපෙනු දැකිය හැකි ය. එහි මල් හට ගන්නේ පහළට එල්ලා වැටෙන කිනිත්තකය. සෙන්ටි මීටර් අටක් පමණ විශාල වෙසක් මල, සුදු පැහැති පෙති හයකින් සමන්විතය. මලේ මැද කොටස ළා දම් පැහැයෙන් අලංකාරව තිබෙනු පෙනෙයි. වෙසක් මල් පරාගනය වන්නේ කෘමීන් ගෙනි. බීජ, සුළඟින් පාවී ව්‍යාප්ත වෙයි.

වෙසක් මල, ශ්‍රී ලංකාවේ ආරක්ෂිත ශාකයකි. එය මුලින්ම, ආරක්ෂිත ශාකයක් බවට පත්කර ඇත්තේ වර්ෂ 1937 දී පැනවුණු ‘වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත’ මගිනි. ඉන් පසුව 2009 වසරේ අංක 22 දරණ ‘වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත (සංශෝධිත)’ මගින්, ලංකාවේ හමුවන සියලු ම ආවේණික සහ ආවේණික නො වන දේශීය උඩවැඩියා වර්ග ආරක්ෂිත ශාක බවට පත් කෙරිණි.

පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙන අන්දමට, වර්ෂ 1985 දී වෙසක් මල ලංකාවේ ‘ජාතික පුෂ්පය’ යයි නම් කරන්නට යෝජනා කෙරිණි. ජාතික පුෂ්පය සඳහා සුදුසු මලක් නම් කරන්නැයි කෙරුණු විවෘත ඉල්ලීමක දී, ‘වෙසක් මල’ එයට සුදුසු යැයි යෝජනා කළේ, දෙහිවල ජාතික සත්වෝද්‍යානය ආශ්‍රිතව ක්‍රියාත්මක වන ‘තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයයි’.

‘යම් පුෂ්පයක්, ජාතික පුෂ්පයක් හැටියට සලකන්න නම් නිර්ණායක කිහිපයක් සලකා බලන්න වෙනවා. ඒවා අතර, අලංකාරය, සුවිශේෂී හැඩයක් තිබීම, ප්‍රබෝධමත් සහ දීප්තිමත් වර්ණවලින් සමන්විත වීම, ආවේණිකතාව, දුලබතාවය (දුර්ලභ බව), දේශීය සංස්කෘතිය හා සමාජය සමග බැඳියාවක් තිබීම යන කාරණා ප්‍රධානයි. එදා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ අපි, වෙසක් මල සම්බන්ධයෙන් මේ කාරණා සලකා බැලුවා. ඒ හැම දෙයක් ම වෙසක් මලට තියෙනවා. අනෙක මේ ශාකය, 1937 වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ පටන් ම ආරක්ෂිත ශාකයක් බවට ප්‍රකාශයට පත් කෙරුණු එකක්. පස්සේ අපි ජාතික පුෂ්පය සඳහා වෙසක් මල සුදුසු යයි යෝජනා කළා’, ජගත් ගුණවර්ධන මහතා කියන්නේය.

කෙසේ වෙතත්, තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ යෝජනාව ඵල දැරුවේ නැත. ඒ වෙනුවට, ‘නිල් මහනෙල් මල’ ජාතික පුෂ්පය වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

වෙසක් මල් වූ කලී, මේ වන විට ශ්‍රී ලංකාවෙන් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාකයකි. ඒ සම්බන්ධයෙන් ‘ලෝක සංරක්ෂණ සංගමයේ’ රතු දත්ත වාර්තා මගින් ද වරින් වර අනතුරු අඟවා තිබේ. වර්තමානයේ, වෙසක් මලේ පැවැත්ම කෙරෙහි එල්ලවී ඇති තර්ජන බොහෝමයක් හඳුනා ගත හැකි ය.

ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ඒකකයේ හිටපු ප්‍රධානි, සමන්ත ගුණසේකර මහතා මේ කාරණය විස්තර කරන්නේ මෙසේ ය.

‘තෙත් කලාපීය ප්‍රදේශවල කැලෑ එළි පෙහෙළි කරනවා. ධාරක ගස් කපා දමනවා. අලංකාරෙට කියලා මිනිස්සුත් වෙසක් පැළ ගලවා ගෙන යනවා. සමහරු ගලවා ගෙනිහින් අලෙවි කරනවා. මේක ලොකු ප්‍රශ්නයක්. අන්තිමේ දී මේ ශාකය ලංකාවෙන් තුරන් වෙන තැනට වැඩ සිද්ධ වෙනවා. දේශගුණ විපර්යාස නිසා පරිසරයේ උණුසුම ඉහළ යාමත් වෙසක් ශාකයට අහිතකර ලෙස බලපානවා’, ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ඒකකයේ හිටපු ප්‍රධානි, සමන්ත ගුණසේකර මහතා කියන්නේ ය.

තෙත් කලාපීය වනාන්තර පෙදෙස්වල වෙසෙන ඇතැම් දෙනා පවසන අන්දමට, ‘වෙසක් මල්’ යනු වවා ගන්නට අමාරු ශාකයකි. කැලයෙන් ගලවා ගෙනවුත්, තෙත පොල් ලෙලි තබා ගසක බැඳ ගත්ත ද, බොහෝ විට ටික දිනකින් ශාකය මැරී යයි. ශාක හෝ මල් වර්ග එක් රැස් කරන්නන් අතර වෙසක් මල් ජනප්‍රියවී ඇත්තේ එහි ඇති අලංකාරය නිසා ය.

සමන්ත ගුණසේකර මහතා පවසන අන්දමට, විදේශිකයන් විසින් කිහිප වතාවක් ම වෙසක් මල් ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ආදී රටවලට, ගෙන ගොස් තිබේ. එහෙත් ඒවා බෝකර ගැනීමට නො හැකිවී ඇත. වරක් ඕස්ට්‍රේලියාවේ ‘කිව් උද්‍යානය’ ද ලංකාවේ වෙසක් මල් බෝකර ගන්නට උත්සාහ කළේ ය. එහෙත් එක් මලක් පීදීමෙන් පසුව ශාකය මැරී ගිය බව සැලවිණි.

‘මේක බෝ කරන්න පුළුවන්. එක සැරයක් පානදුර ප්‍රදේශයේ පෞද්ගලික ඕකිඩ් ගොවිපොළක, පටක රෝපණ ක්‍රමයට වෙසක් මල් ශාකය බෝ කළා’, සමන්ත ගුණසේකර මහතා කීය.

පරිසරවේදීන් බොහොම දෙනෙක් පවසන අන්දමට, දැන් දැන් තෙත් කලාපීය ප්‍රදේශවල වෙසක් මල් ශාකය දකින්නට ලැබෙන්නේ නැති තරම් ය. ‘ඉස්සර අපි සිංහරාජේ යනවිට වැද්දාගල පැත්තෙ දි වෙසක් මල් ශාක දකිනවා. දැන් කාලෙකින් වෙසක් මල් දැක්කේ නෑ’, සමනලුන් පිළිබඳ පර්යේෂකයකු වන රාජික ගමගේ මහතා ද පැවසී ය.

තිස් වසරක් පුරාවට කොටි ත්‍රස්තවාදීන් සමග පැවති යුද්ධය හමාර වුයේ, අදින් දස වසරකට ඉහත 2009 වසරේ මැයි මාසයේ ය. එකල ‘රණවිරු පුෂ්පයක්’ ප්‍රකාශයට පත් කළ යුතු යයි යෝජනාවක් ඉදිරිපත් විණි. ඒ සඳහා සුදුසු පුෂ්පයක් තෝරා දීමේ කටයුත්ත පැවරුණේ, එවකට පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂවරයාව සිටි ආචාර්ය සිරිල් විජේසුන්දර මහතාටය. ඔහු යෝජනා කළේ ‘වෙසක් මල’ ඒ සඳහා සුදුසු බව ය.

එවකට රටේ ජනාධිපති ධූරය හෙබැවූයේ මහින්ද රාජපක්ෂ මහතා ය. යුද ජයග්‍රහනයෙන් පසුව ඔහු ප්‍රථම වරට මහනුවර ගියේ 2009 වසරේ මැයි මස 25 වැනි දා ය. යෝජිත ‘රණවිරු පුෂ්පය’ එහි දී තමන්ට පෙන්වන්නැයි ඔහු උපදෙස් දී තිබිණි.

එහෙත් හදිසියේ වෙසක් මල් සොයා ගැනීම, අසීරු කටයුත්තක් විය. මේ සඳහා එවකට වන සංරක්ෂණ ජෙනරාල් අනුර සතුරුසිංහ සහ හිටපු රේගු අධිකාරී සමන්ත ගුණසේකර යන මහත්වරු ද උදව් කළහ.

‘25 වැනි දා උදේ මම වෙසක් මල් මිටියක්ම අරන් ගිහින් ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා. එහි දී වෙසක් මල ගැන පැහැදිලි කිරීමකුත් කළා. හැබැයි ඊට පස්සේ වෙසක් මල රණවිරු පුෂ්පයක් කිරීමේ වැඩ පිළිවෙළට කුමක් වුණා ද කියලා ආරංචි වුණේ නෑ’, ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා එසේ පැවසුවේ ‘සතිඅග අරුණ’ කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

ඔහු පවසන අන්දමට, වෙසක් මල් යනු පරිසරයේ ඇතිවන සියුම් වෙනස්කම්වලට සංවේදී ශාකයකි. එහි බීජ ප්‍රරෝහණය වීමට දිලීරයක් අවශ්‍ය ය. පරාගණය වීමට කෘමීන් අවශ්‍ය ය. ශාකයේ පැවැත්මට පරිසරයේ උෂ්ණත්වය ද බලපායි. පරිසරයට එරෙහි මිනිස් ක්‍රියාකාරකම් නිසා එයට හිතකර වටාපිටාව බිඳ වැටෙයි.

වර්තමානයේ සබරගමු පළාත් පුෂ්පය වශයෙන් තෝරා ගෙන ඇත්තේ වෙසක් මලයි. අතීතයේ දී නම් සබරගමු වැසියෝ, වෙසක් පොහොයට පන්සල් ගියේ ‘වෙසක් මල්’ ද නෙළා ගෙනය. දැන් රත්නපුර පැත්තේ වෙසක් මලක් දැකීම පවා දුර්ලභ ය.

(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)