විශේෂාංග

වෙසක් පහනට එළිය ආ හැටි

වර්තමානයේ රට තුළ ඇති අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් වෙසක් සමයේ ප්‍රසිද්ධ ස්ථානවල නොගැවසෙන ලෙසටත්, මෙවර වෙසක් සැමරුම ගෘහස්ථ සහ ප්‍රාදේශීය මට්ටමට සීමා කරන ලෙසත් මහනාහිමිවරුන් සහ රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. මේ අතර කිතුනු සමාජයේ ඇතැම් කොටස් විසින් ශ්‍රී ලාංකීය කිතුනුවන්ටද මෙවර වෙසක් සැමරුම නිමිත්තෙන් තම නිවෙස්වල පහනක් දල්වා තබන මෙන් ඉල්ලීමක් කොට තිබේ. මෙය ආගමික සහජීවනය සම්බන්ධයෙන් ගතහැකි කදිම ධනාත්මක පියවරකි. නමුත් වෙසක් සැමරුම මුල් කොට තම නිවෙස්වල පහන් දල්වා තබනුයේ ඇයි?

යනුවෙන් යමෙකු ප්‍රශ්න කළහොත් ඊට සෘජු පිළිතුරක් දීමට බොහෝදෙනකු අසමත් වනු ඇත. එමෙන්ම ඒ සම්බන්ධයෙන් බොහෝදෙනකු පළ කරන මතය වනුයේ වෙසක් සැමරුම සම්බන්ධ මෙම සැණකෙළි ස්වරූපය දහනව වැනි සියවසේ අගභාගයේ ශ්‍රී ලංකාවට සැපත් වූ ඇමෙරිකානු ජාතික සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් විසින් මෙරට අරඹන ලද බෞද්ධ පුනර්ජීවන වැඩසටහන මත ස්ථාපිත වූවක් බවය. මේ වනවිට වෙසක් සැමරුමේ ජනප්‍රිය අංග වශයෙන් පවතින වෙසක් තොරණ, පහන් කූඩු ආදිය එම බෞද්ධ සැණකෙළි අංග ලෙස බොහෝදෙනෙක් හඳුන්වා දෙති.

දශක කිහිපයක් දක්වා පැමිණි වෙසක් උත්සව වලදී ‘බකට් පහන්’ දැල්වීම නාගරික, ග්‍රාමීය භේදයකින් තොරව මෙරට බොහෝ නිවෙස්වල සිදුකරන ලද්දකි. එම පහන පනිට්ටුවක හෙවත් බාල්දියක හැඩය ගැනීම නිසා එයට ඒ නම ලැබී තිබේ. එහි ව්‍යාප්තිය කොතෙක්ද යත් එකල බකට් පහන් නිෂ්පාදනය වසර පුරාම සිදු කරන ලද ස්වයං රැකියාවක් ලෙසද ප්‍රවර්ධනය වී තිබිණි. එවක වෙසක් සමයේ ආරම්භයත් සමග නාගරික ප්‍රදේශවල බකට් පහන් අලෙවිය පිණිස ගොඩගසා තිබුණේ කඳු ගණනිනි.

එමෙන්ම එම බකට් පහන් අතරේ ‘ප්‍රීති වෙසක්’ යනුවෙන් අකුරින් අකුර සටහන් කළ බකට් පහන් කට්ටලද වෙළෙඳපොළේ තිබූ බව මේ වනවිට මැදිවිය පසු කරමින් හිඳින බොහෝදෙනෙකුට අමතක වීමට ඉඩක් නැත. එහෙත් මෙම ‘ප්‍රීති වෙසක්’ යන්නේ ධර්ම ශාස්ත්‍රීය අර්ථ විග්‍රහය කුමක්ද යන්න විවිධ ලෙසින් අර්ථ ගැන්විය හැක. නමුදු එහි අරුත ඉතා සරල ලෙස විග්‍රහ කළහොත් හැඟී යනුයේ එය අපගේ වෙසක් උළෙල බටහිරකරණයට නතුවීමේ එක් පිළිබිඹුවක් ලෙසිනි. ‘සුබ නත්තලක්’ යන්න ඉංග්‍රීසි බසින් පැවසෙනුයේ Happy Christmas යනුවෙනි. මෙහි Happy යන වචනයේ සෘජු සිංහල අරුත වනුයේ සතුට, ප්‍රීතිය යන්නය. ඒ අනුව පසුගිය දශක කිහිපයක් මුළුල්ලේ සමාජය පුරා අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබූ ‘ප්‍රීති වෙසක්’ ව්‍යවහාරය වෙසක් සුබපැතුම, ඉරුදින දහම් පාසල, වෙසක් භක්ති ගී ආදී සංස්කෘතිකාංග මෙන් ඕල්කට්තුමන්ගේ බෞද්ධ පුනර්ජීවන වැඩසටහන යටතේ බටහිරින් පැමිණි දේ විය හැකිය.

එමෙන්ම මානව ශිෂ්ටාචාරයේ පවත්නා විවිධ සැමරුම් උත්සව, සැණකෙළි අතුරින් ආලෝක මංගල්‍යයන්ටද ප්‍රධාන තැනක් හිමිවේ. ශ්‍රී ලාංකික සමාජයේ ප්‍රබලතම ආලෝක මංගල්‍යය වෙසක් වන අතර, පහන් වැට යන අරුත සහිත ගෙනෙන දීප ආවලී හෙවත් දීපාවලියද තවත් ආලෝක මංගල්‍යයකි. ලොව විවිධ සමාජයන්හි ජනයා විවිධ අරමුණු උදෙසා ආලෝක මංගල්‍යයන් පවත්වති. සතුට සංකේතනය කිරීම පිණිස ආලෝකය භාවිත කිරීම කෙතරම් සුලබ සංසිද්ධියක්ද යන්න වත්මන් සමාජයේ සමාජමය උත්සව, සැණකෙළි සේම විවාහ, උපන්දින ආදී උත්සව වෙනුවෙන් ඒවා පැවැත්වෙන ස්ථාන රාත්‍රියට විදුලි බුබුළුවලින් ආලෝකමත් කොට තිබී‍මෙන්ම පැහැදිලිය.

මෙම තත්ත්වය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ලොව මුල් වරට වෙඩිබෙහෙත් සොයාගත් චීන ජාතිකයන් සතුට මුල්කොට ගිනි කෙළි භාවිත කරන්නට පටන් ගත් අතර, අද වනවිට එයද ලොවපුරා ව්‍යාප්ත වී තිබේ.

මේ අතර වෙසක් උත්සවය සඳහා අප භාවිත කරන පහන් කූඩුවේ ඉතිහාසය සොයා ගියහොත් එවිටද අපගේ අවධානය චීනය වෙත යොමුවීම වැළැක්විය නොහැක. එම පහන් කූඩු උත්සව (Lantern Festival) වල ආදිතම අවස්ථාවක් ලෙස චීන ‘හන්’ රාජ යුගයට අයත් චන්ද්‍ර වර්ෂය මුල්කොට ගැනුණු ආලෝක මංගල්‍යය හැඳින්විය හැක. ක්‍රිස්තු පූර්ව 206 වසරින් ඇරඹෙන එම රාජ යුගය මුල්කොට ගත් පහන් කූඩු සංස්කෘතිය අද වනවිට චීනය, ජපානය වැනි රටවල්වල කෙතරම් සංවර්ධනය වී තිබේද යත් අද වනවිට ඔවුහු ලොව හොඳම පහන් කූඩු නිපදවන්නන් බවට පත්ව හිඳිති.

ලක් ඉතිහාසයේ මුල්ම වෙසක් සැමරුම සිදුකොට ඇත්තේ අසමසම නරපති දුටුගැමුණු රජු විසින් බව මහා වංශය කියයි. එහි තිස් දෙවැනි පරිච්ඡේදයේ 33-35 පාඨවලින් පැවසෙන අන්දමට එතුමා රජකම් කළ වසර විසි හතර (ක්‍රි.පූ. 161-137) පුරාම වෙසක් පූජා පවත්වා තිබේ. නමුත් එහි වර්තමානයේ මෙන් උත්සව සැණකෙළි ස්වරූපයක් තිබිණිදැයි පැහැදිලි නැත. වංශ කතාවෙහිද ඒ පිළිබඳව සඳහන් කොට ඇත්තේ ‘වෙසක් පූජා’ යනුවෙනි.

ඉන්පසු කලෙක අනුරාධපුරයේ රජකම් කළ වසභ රජතුමා (ක්‍රි.පූ. 62-106) තමන් රජකම් කළ වසර හතළිස් හතර පුරාවටම වෙසක් පූජා පැවැත්වූ බවද මහා වංශය පවසයි.

ඉන්පසුව අනුරාධපුරයේ රජකම් කළ සිංහල රාජාවලියේ නීති විශාරදයකු ලෙස හැඳින්වීම මග වෝහාර (Forensic) යන අභිධානය ලැබූ වෝහාරතිස්ස (ක්‍රි.ව. 215-237), ගෝඨාභය (ක්‍රි.ව. 253-266), දෙටුතිස් (ක්‍රි.ව. 332-340) ආදී රජවරුන්ද මෙම වෙසක් සැමරුම් සිදුකළ බව පවසන වංශකතාකරු ඒවාද ‘වෙසක් පූජා’ නමින්ම හඳුන්වා තිබීමද විශේෂත්වයකි. එමෙන්ම අනුරාධපුරයේ රජකම් කළ මුගලන් රජු (ක්‍රි.ව. 608-614) විසින් සිදුකරන ලද වෙසක් පූජා පිළිබඳව සඳහන් කරන වංශ කතා කතුවරයා එය සිරිත් අනුව (චාරිත්තානුගතං) පැවැත්වූ බවක් පවසා සිටීමද විශේෂත්වයකි.

එහෙත් එතෙක් පැවති වෙසක් පූජා පිළිබඳව වෙසක් කෙළි (වෛශාඛ්‍ය කෙළි) වශයෙන් වන හැඳින්වීමක් මහා වංශයේ පනස් එක්වැනි පරිච්ඡේදයේ 684-685 පාඨවලින් විස්තර කෙරේ. ඒ ක්‍රි.ව. 866-901 දක්වා වසර තිස් පහක් අනුරාධපුරයේ රජකම් කළ දෙවැනි සේන රජුගේ සමයේය. ඒ අනුව හත්වැනි සියවස දක්වා මෙරට පැවති වෙසක් පූජාව නවවැනි සියවසේදී උත්සවයක්, සැණකෙළියක් බවට පත්වීම පිළිබඳව තොරතුරු කියවේ.

ඒ සම්බන්ධ මගේ පෞද්ගලික වැටහීම වනුයේ මේ කාලයේ අප රටට එල්ල වූ පාණ්ඩ්‍ය ආක්‍රමණ මගින් ඒ දක්වා පැවති වෙසක් සංස්කෘතියේ යම් වෙනසක් සිදුවූ බවකි.

භාරතීය චන්ද්‍ර මාස ක්‍රමයට අනුව ඉල් පුර පසළොස්වක චන්ද්‍රයාගේ මංගල දිනයයි. එම රාත්‍රියේදී චන්ද්‍රයා තම සුපෙම්බරිය වන රෝහිණී සමග ලිංගික සම්භෝගයක් පවත්වයි. එය මුල් කොට පැරණි භාරතයේ ඉල් පුර පෝ දින රාත්‍රියේ සමරනු ලබන කාමෝත්සවය කාර්තිකෝත්සවය නමින් හැඳින්වුණු අතර, මෙයද මුළුමනින් ආලෝක මංගල්‍යයකි. මෙහිදී රාත්‍රියට පහන් දල්වා හාත්පස ආලෝකමත් කිරී‍මෙන් තම ජීවිතවලට සතුට, සෞභාග්‍යය උදාකර ගත හැකි බවක් විශ්වාස කළ පැරණි භාරතීය ජනතාව මෙම දිනයේ කායික සම්භෝගයේ යෙදීමෙන් පින්වත් දරුවන් ලද හැකි බවද විශ්වාස කළහ. ඒ කෙසේ හෝ භාරත මහා කවි කාලිදාසයන් විසින් රචිත ‘කුමාර සම්භව’ වීර කාව්‍යයේ අප රටේ කතරගම දෙවියන් ලෙස ප්‍රකට ස්කන්ධ කුමාරද කාර්තික් මගින් හඳුන්වා දී තිබේ. ඒ අනුව කතරගම දෙවියන් වල්ලි මාතාව මුල්ම කායික සම්භෝගය සිදුකරන ලද්දේ ඉල් පුර පෝ දිනෙක බවට ජන විශ්වාසයක් මෙරට තිබේ. අදටත් අප රට පුරා දේවාලවල ‘ඉල් මහා මංගල්‍යය’ නමින් හැඳින්වෙන පූජෝත්සවය මෙම භාරතීය කාර්තිකෝත්සව මත පදනම් වූවකි.

එමෙන්ම ශ්‍රී ලංකාවට ඉන්දියානු වෛදික සංස්කෘතික බලපෑම සෘජුව එල්ල වූ දඹදෙණි යුගයේ සිට මහනුවර යුගය දක්වා මෙම කාර්තිකෝත්සවය නම් කාමෝත්සවය කෙතරම් ව්‍යාප්තව තිබිණිද යත් කන්ද උඩරට රජ කළ දෙවැනි රාජසිංහ රජු සමයේ (ක්‍රි.ව. 1629-1687) රජවාසල සහ දේවාල ඉදිරියේ පහනින් ආලෝකමත් කරන ලද පැගොඩාවන් දක්නට ලැබුණු බව එකල අප රටේ එළිමහන් සිරකරුවකුව සිටි රොබට් නොක්ස් සිය කෘතියෙන් පවසා සිටියි. රැය පහන් වනතුරු නොනිවෙන සේ තෙල් දමමින් ආලෝකමත් කළ මෙම පැගෝඩාවන් අප රටේ ජනතාව ‘තොරණ’ (නොක්ස් එය තම කෘතියෙහි දක්වා ඇත්තේ Tor-Nes ලෙසිනි.) යනුවෙන් හැඳින්වූ බව ඔහු පවසනුයේ අප රටේ වෙසක් තොරණේ ආදිතම අවස්ථාවක් පිළිබඳව ඉඟි කරමිනි.

ඒ කෙසේ හෝ ඒ දක්වා පැවති ආලෝක මංගල්‍යයක්ව පැවති මෙම කාමෝත්සවයට බෞද්ධ මුහුණුවරක් ආරෝපණය කළ ශ්‍රී විජය රාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1739-1747) යල කන්නයේ අස්වැන්න නිම වූ පසු මහජනතාව එක්කොට සත් ලක්ෂ අනූදහස් පන්සියයක පහන් පූජාවක් කරවූ බව මහා වංශයේ අනූ අටවැනි පරිච්ඡේදයේ 60-62 පාඨවලින් පැහැදිලි වෙයි. එමෙන්ම අතීත කාමෝත්සවයක් මත පදනම් වූ මෙම ආලෝක මංගල්‍යය තවදුරටත් බෞද්ධකරණය කිරීමට කන්ද උඩරට රජකම් කළ රාජාධිරාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1782-1798) ඒ ආලෝක මංගල්‍යය මුල්කොට දළදා පෙරහරක්ද සංවිධානය කළ බව බ්‍රිතාන්‍ය යුද සේනාවේ වෛද්‍යවරයකු වන ජෝන් ඩේව්ගේ An Account of the Interior of Ceylon නම් කෘතියේ සඳහන්ය.

ඒ කෙසේ හෝ මෙවන් සමාජ, ඓතිහාසික පසුබිමක් යටතේ වර්තමාන ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ තවමත් නොනිවී දැල්වෙන වෙසක් පහන ඉදිරියටත් සුරක්ෂිතව රැක ගැනීම බෞද්ධයන්ගේ මෙන්ම සෙසු ආගමිකයන්ගේද යුතුකමක් බව අපගේ වැටහීමය. ඒ ජාතික එකමුතුවක් උදෙසා ආගමික සහජීවනය නැතිවම බැරි දෙයක් බැවිනි.

තිලක් සේනාසිංහ