පිනි පලස

වෙල් එළියේ මඳ නලට මුමුණපු අහිංසකාවිය – නුවන්දිකා සේනාරත්න

හැම තත්පරේම මට දැනෙන්නේ මම හරිම වාසනාවන්තයි කියලා. ජීවිතේ හැම දෙයක්ම සතුටින් අත්විඳින්න මට වාසනාව ලැබුණා.

ගනේගොඩ මීවැව ගමේ සුන්දරත්වය එක්ක තමා ජීවිතේ හැම දෙයක්ම දැක්කේ. එක යායට තිබුණ වෙල්යායේ දුවලා පැනලා ගත කරපු ළමා කාලය ජීවිතේ සුන්දරම මතකය වෙලා තාමත් හිත කිති කවනවා. වෙල්යාය හමාගෙන එන සුළඟ මම මුමුනණ හැම ගීයකම තාලය වුණා. අම්මටයි, පප්පටයි ඉන්න එකම සුරතල් කෙල්ල මම.

කිසිම දවසක අමතක කරන්න බැරි ළමා කාලයක් මට තිබුණා. ඉස්කෝලේ සංගීත පන්තියේ ස්වරත් එක්ක තමා හැම සුන්දර මතකයක්ම තියෙන්නේ. දහම් පාසලේ භක්ති ගීත කණ්ඩායමේ ළමාසාරිය ඇඳලා සින්දු කිව්ව අතීතය තාමත් හිත හිරිවට්ටනවා. ගමේ පොදු වැඩක් වෙනකොට හැමදාමත් මමත් එතන උන්නා. මොකද ඒ තරම් ගමත් එක්ක බැඳිලයි උන්නේ. අවුරුදු උත්සවවල ජන ගායනාවලට සහභාගි වෙලා හැමදාම ජයග්‍රහණය හිමිකර ගන්නකොට අනිත් ළමයින්ගේ මූණු මැළවෙනවා.

මම ඉදිරිපත් වෙනකොට අනිත් අය ඉවත් වෙන නිසා අන්තිමට මම ජන ගායනා තරගයට යන්නෙත් නැහැ. තව කෙනෙක් ජයග්‍රහණය කරලා ඒ මූණේ ඇඳෙන සතුට මම බිම ඉඳන් බලාගෙන උන්නා. ජයග්‍රහණයට වඩා සතුටක් මම එදා ලැබුවා.

සමස්ත ලංකා පාසල් තරගයක මම ගායනා කරපු හින්දි ගීතයකට ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. එදා මට හිතුණා මම ඉපදුණෙත් සංගීතය වෙනුවෙන්මයි කියලා. කවදා හරි ප්‍රසිද්ධ වේදිකාවේ ගීතයක් කියනවා කියන ආඩම්බර හැඟීම මගේ හිතට ආවේ එදා.

වහින කාලෙට මට තාමත් මතක් වෙන්නේ අපේ ගමේ වෙල්යාය මැද තියෙන සපත්තු පාලම. වෙල උතුරලා සපත්තු පාලම ළඟ වතුර පිරෙනකොට ඒ දිහා කොච්චර නම් බලාගෙන උන්නද… අම්මා ඇවිත් කෝටුවෙන් ගහනකොට ගෙදරට දුවගෙන එන්නේ එකම පිම්මේ. කුඹුරු කැපුවට පස්සේ කොල්ලෝ රෑනක් එක්ක ක්‍රිකට් ගැහුවේ මටත් ඕන දෙයක් පුළුවන් කියලා පෙන්වන්නයි.

ගමේ වෙල්එළියේ ලබපු සතුට ගනේගොඩ ශ්‍රී සුදර්ශනාරාම දහම් පාසලෙන් හදාගත්තු විනය හා හැදියාව, මයුරපාද විද්‍යාලයෙන් ලබාගත්තු දැනුම එකතු කරගෙන තමයි කොළඹට පය තිබ්බේ. ඒ ජීවිතේ ඉලක්කයන් පසුපස හඹා යන්න.
කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය මගේ සංගීත දිවියේ සොඳුරුම නවාතැන්පොළ වුණා. ලංකාවේ කොයි තරම් රියැලිටි තරග තිබුණත් යන්න හිත නොදුන්නේ සංගීතය හොඳින් හදාරලා ගැළපෙන වැඩසටහනකට යනවා කියලා හිත හදාගෙන තිබුණ නිසයි. දෙරණ ඩ්‍රීම්ස්ටාර් එකට අයැදුම් පත්‍රය දැම්මේ ලොකු දුරක් යනවා කියලා හිතාගෙනමයි. මුල්ම වටයේදී මට ‘දෙවිඳුනි දෙවොලට ආවේ’ ගීතය කියන්න ලැබුණේ තත්පර ගාණයි, එක පේළියයි. ඊළඟ වටයට සුදුසුකම් ලබනවා කියලා කිව්වා.
මට දිනන්න පුළුවන් කියන පුංචි අහිංසක හැඟීම ඒ මොහොතේ හදවතට දැනුණා. එදා ඉඳන් විනිශ්ච මණ්ලයෙන් ලැබුණු ගුරුහරුකම් එක්ක ඉස්සරහට එන්න වාසනාව ලැබුණා. හැම දවසකම අඩුපාඩු හදාගෙන මගේ ජීවිතේ එළිය කරගත්තා. දෙපාරක් අවදානම් කලාපයට යනකොට පුංචි බයකුත් නොදැනුණා නෙවේ. නමුත් එවෙලේ හිතාගත්තා ආයේ නම් ස්වරවලට වැරදි කරන්නේ නැහැ කියලා.

පාරේ බැහැලා යනකොට අන්න නුවන්දිකා යනවා කියලා මම ගැන කතා වෙනකොට දැනෙන හැඟීම වචනයෙන් කියන්න බැහැ. මේ දේවල් තරණය කරගෙන දැන් අවසාන කඩඉමට ඇවිත්… තව එක දොරක් ඇරගන්න ඕන. ඒ තමා ලක්ෂ සංඛ්‍යාත තාරුණ්‍යයේ හීනය. ඒ වෙනුවෙන් මගේ උපරිම ශක්තිය යොදවන්න මම දැන් සූදානම්. මඳ නලට මුමුණපු ගීතය සැප්තැම්බර් 19 වැනිදා මුළු ලෝකයටම ඇහෙන්න කෑගහලා කියන්න මම ලෑස්තියි. සමහර විට මගේ ජීවිතයේ සුන්දරම රාත්‍රිය ඒ දවස වෙන්න පුළුවන්.