කතුවැකි

වෙනස් වී වෙනස් කරමු 2021

ජනතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට සුබවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් කටයුතු කළ යුතු යැයි නව වසරේ රාජකාරි ආරම්භ කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ මැති අමැතිවරුන් හා සිය කාර්ය මණ්ඩලය අමතමින් වුවද එය රටේ සියලු දෙනාට දුන් පණිවුඩයක් ලෙස සැලකිය හැකිය. සාමාන්‍යයෙන් නව වසරක් උදාවන විට සුබ පැතීම, නව අධිෂ්ඨානයන් ඇති කර ගැනීම සාමාන්‍ය දෙයකි. එහෙත් මේ නව වසර උදා වී ඇත්තේ සාමාන්‍ය ආකාරයකට නොව විශේෂ ආකාරයකටය. ඒ නිසා නව වසරේ වැඩ කිරීම ගැනද අපට සුවිශේෂ ආකාරයකට සිතන්නට සිදුවනු ඇත.

නව වසර උදා වී ඇත්තේ මුළු ලෝකයම රෝගයකින් සන්ත්‍රාසයට පත්ව සිටියදීය. එහෙත් පවතින තත්ත්වය හමුවේ උකටලී වීම හෝ ඉන් බියට පත් වීමෙන් පළක් නොවන බවද නව වසර උදාව විසින් අපට පසක් කර දී තිබේ. කුමන තත්ත්වයක් පැවැතියත් කුමන අභියෝගයක් තිබුණත් ලෝකය ඉදිරියට ගමන් කරන නිසාය. කොරෝනා වසංගතය නිසා 2020 වසර නතර නොවුණා සේම 2021 වර්ෂය උදා වීම ඇනහිටියේද නැත. එසේම එය ඉදිරියට ගමන් කිරීමද නතර නොවනු ඇත.

ලෝකය ඉදිරියට ගමන් කරන්නේ නම් අපට නැවතී සිටීමට නොහැකිය. නැවතී සිටීමෙන් පරාජය අත්වන අතර අභියෝග ජයගත හැක්කේ ක්‍රියාත්මක වීමෙනි. අභියෝගයක් ජය ගැනීමට ක්‍රියාත්මක වීමේ දී තිබිය යුතු මූලිකම ගුණාංගයක් වන්නේ එය ජයගත හැකි බවට විශ්වාසකිරීමය. සුබවාදී ආකල්පයකින් අභියෝග තේරුම් ගැනීමය.

අප රටේ බොහෝ දෙනකු තුළ දක්නට ඇති පොදු දුර්වලතාවක් වන්නේ මෙම සුබවාදී ආකල්පය නොමැති කමය. ඔවුන් හැම විටම කල්පනා කරන්නේ අපට රටක් ලෙස ‘නොහැකි’ බවය. මේ නිසා අභියෝගයන් තුළ අපට ඇති අවස්ථාවන් හෝ මේ අය දකින්නේ නැත. රට ගැන චෝදනා මුඛයෙන් කතා කරමින් රට අතහැර යන්නට අවස්ථාවක් උදාවන්නේ කොයි මොහොතේදැයි කල්පනා කරමින් සිටින්නේ මෙැවනි අයය.

අභියෝග ජයගන්නට ආත්ම විශ්වාසය අවශ්‍යය. සුබවාදී ආකල්පයක් නොමැති නම් ආත්ම විශ්වාසය ඇති වන්නටද ඉඩක් නැත. අභියෝගයක් ජය ගැනීමට අධිෂ්ඨානයක් ඇති කර ගත හැක්කේද මේ සුබවාදී ආකල්පයක් ඇත්නම් පමණකි. ඒ සියල්ල තිබුණේ වුවද කැපවීමකින් තොරව අභියෝග ජය ගත හැකි නොවේ.

අපට ඇති තවත් දුර්වලතාවක් වන්නේ රට මුහුණ දෙන අභියෝග ජයගැනීම ආණ්ඩුවේ වගකීමක් පමණක් ලෙස කල්පනා කිරීමය. ප්‍රතිලාභ ලබා ගන්නා විට ආණ්ඩුව යනු ජනතාව යැයි කල්පනා කරන අය ප්‍රශ්න-අභියෝග පැමිණිවිට එසේ කල්පනා කරන්නේ නැත. ඔවුන්ගේ අදහස වන්නේ තමන් ආණ්ඩුවක් පත් කර ඇත්තේ තමන් වෙනුවෙන් – අභියෝගවලට මුහුණ දෙන්නට බවය. වසර පහක හෝ හයකට එක් පක්ෂයකට ඒ කොන්ත්‍රාත්තුව භාර දෙන මේ අය ඉන් පසු වෙනත් පක්ෂයකට ඒ කොන්ත්‍රාත්තුව භාර දෙති.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් එල්ල වන විවේචන දෙස හොඳින් බැලූ විට පෙනී යන්නේ ඒවාද එල්ලවන්නේ මෙම ආකල්පයෙන්ම බවයි. තමන් ඔහුව ජනාධිපති පුටුවේ වාඩි කළ නිසා සියල්ල ද ඔහු කළ යුතු යැයි මේ අයගේ කල්පනාවකි. සියල්ල එක්වර වෙනස් කිරීම සඳහා මැජික් යෂ්ටියක් තමන් ඔහුට දී ඇතැයි ඔවුන් කල්පනා කරන්නා සේය. රට වෙනස් කරන්නට ක්‍රමය වෙනස් කරන්නට යැයි ජනාධිපතිවරයාට-ආණ්ඩුවට කියන ජනතාව වෙනස් වන්නේ නැත.

2021 වර්ෂයේ වැඩ අරඹන්නට පෙර කළ යුතුව ඇත්තේ අප තවදුරටත් එම ආකල්පයෙන් කටයුතු කරන්නේද නැද්ද යන්න තීරණය කිරීමය. අපේ එම ආකල්පය වෙනස් කර ගැනීමට අප අදහස් නොකරන්නේ නම් 2021 වර්ෂය ගෙවී ගිය 2020 ටත් වඩා නරක අවුරුද්දක් වීම වැළැක්විය නොහැකි වනු ඇත.

අප රටේ පෞද්ගලික අංශය කොතරම් ශක්තිමත් වුවත් රට තවමත් දුවන්නේ රාජ්‍ය සේවයේ හයියෙන් බව කොරෝනා සමය අපට සැකවින් පසක් කර දී තිබේ. මේ නිසා රට මුහුණ දී තිබෙන අභියෝග ජයගැනීමේලා රාජ්‍ය අංශයට විශාල වැඩ කොටසක් කළ හැකිය. ගතවූ 2020 වසරේ රාජ්‍ය සේවාවන් බොහොමයක කටයුතු නිසියාකාරව සිදුවූයේ නැත. මේ නිසා අතපසු වී ඇති පසුගිය වසරේ කටයුතුද සමග වැඩි ජවයකින් හා වේගයකින් වැඩ කරන්නට රාජ්‍ය අංශයට සිදු වනු ඇත. රාජ්‍ය සේවයට ආවේණික මන්දගාමීත්වය, කුසීතබව, වෙනස් කර ගන්නට උදා වූ 2021 හොඳ අවස්ථාවකි.

මේ වන විට රටේ පෞද්ගලික අංශය පත්ව සිටින්නේ ඉතාමත් බරපතළ අර්බුදයකටය. ආර්ථිකයේ බිඳ වැටීම නිසා ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ආදායම් අහිමි වී තිබේ. මේ සියලු දෙනා ආණ්ඩුවේ වගකීමක් බවට පත් නොකර ඔවුන්ගේ රැකියා අවස්ථා යළි නිර්මාණය කර ගැනීම පෞද්ගලික අංශයේ වගකීමකි. ලාභ ඉපැයීම ව්‍යාපාරයක මූලික අරමුණ වුවත් සේවකයන් යනු වගකීමක් පමණක් නොව වත්කමක් ලෙසද උදා වූ මේ 2021 වසරේ හෝ පෞද්ගලික අංශය කල්පනා කරනු ඇතැයි අපි කල්පනා කරමු.

රට තමන්ට අයත් දෙයක් නොවන බව රටේ ජනතාව කල්පනා කරන්නට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ දේශපාලකයාගේ හැසිරීමය. මේ දක්වා දේශපාලකයාගේ හැසිරීම පෙන්නුම් කර ඇත්තේ රට ඔවුන්ගේ බූදලයක් වන අතර ජනතාව එහි කුලියට හෝ බද්දට සිටින පිරිසක් බවය. එවැනි තත්ත්වයක් තුළ ජනතාව රටේ අභියෝග ජය ගන්නට දායක නොවීම ගැන පුදුම විය යුතු නැත. මේ නිසා රටේ ජනතාවගේ ආකල්ප ක්‍රියාපිළිවෙත් වෙනස් කිරීමට නම් දේශපාලකයාද වෙනස් විය යුතුය.

කෙසේ වුවද සුබවාදී ආකල්ප ඇතිකර ගැනීම යනු සිහින දැකීම පමණක් නොවන බවද අප කවුරුත් සිහියේ තබා ගත යුතුය. සිහින දැකීමට අප කාටත් හැකිය. සිහින යථාර්ථයන් බවට පත්වෙන්නේ ඒ සඳහා කැපවී කටයුතු කිරීමෙනි. 2021 වසරේ කටයුතු ආරම්භ කළ යුත්තේ ඒ බව සිහියේ තබාගෙනය.