Uncategorized

වෘත්තීය පුහුණු අධිකාරියට වියත්මගෙන් ආ තරුණ සභාපති

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ආරම්භ වන්නේ 1995 අගෝස්තු මස දහසය වැනිදාය. මෙහි නිර්මාතෘවරයා වන්නේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ ය. ඔහු කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා වශයෙන් සිටි කාලයේදී මෙම අධිකාරිය පිහිටුවන ලදී. පසුගිය වසරේදී එහි නව සභාපතිවරයා ලෙස තේරී පත්වූයේ දමිත වික්‍රමසිංහ ය. ඔහු ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ (VTA) දහනමවැනි සභාපතිවරයායි. මේ ඔහු සමග කළ සම්මුඛ සාකච්ඡාවකි.

මේ දිනවල තරුණයන්ට රාජ්‍ය ආයතනවල සභාපති ධුර සහ අධ්‍යක්ෂ මණ්ඩලවල තනතුරු ලබාදීම ගැන බොහෝ දෙනා විවේචනය කරනවා. ඔබත් තරුණයෙක් ලෙස ”ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ” සභාපතිත්වයට පත්වුණා. ඔබටත් එවැනි විවේචන පැමිණියේ නැද්ද?

ඇත්තටම මට එවැනි විවේචන ආවේ නැහැ. අපි පසුගිය වසර පහක කාලයක් පුරාම මේ තැනට එන්න කලින් බොහෝ කැපකිරීම් කළා. අත්හදා බැලීම් කළා. ඒ පන්නරය තුළින් තමයි අද මම ”ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ” සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ. මේක මට ලැබුණු ලොකු භාරධූර රාජකාරියක්.

ඒ කියන්නේ ඔබට මේ ආයතනය පිළිබඳව මනා අවබෝධයක් ලැබිලා තියනවා කියන එක නේද?

ඔව්, කලින් කිව්වා වගේ මම මීට අවුරුදු පහකට පෙර ආරම්භ කළ ‘වියත් මග‘ සංවිධානයේ සාමාජිකයෙක්. අපි එකතු වෙලා රට දියුණු කරන්නේ කොහොමද කියලා සැලසුම් හැදුවා. ඒ අතරතුර මට ‘වියත් මග‘ සංවිධානයේ තරුණ කටයුතු පිළිබඳ නායකත්වය ලැබුණා. ඒ අතර ”ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය” ගෝලීය වශයෙන් ඇති වෘත්තීන්ට ගැළපෙන ලෙස කොහොමද දියුණු කරන්නේ කියලත් අපි සැලසුම් කළා. ඒ අනුව තමයි 2019 වසරේ දෙසැම්බර් මාසයේ, මම ”ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ” සභාපතිවරයා ලෙස වැඩ කටයුතු ඇරඹුවේ.

එතකොට ඔබට මොනවගේ අත්දැකීමක් ද තියෙන්නේ ආයතන පරිපාලනය පිළිබඳව?

මම අවුරුදු විසිතුනෙන් තමයි පෞද්ගලික අංශයේ රැකියාවකට බැඳෙන්නේ. මේ කාලයේදී මම තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික උපාධියක් වගේම ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා ගත්තා. ඒ වගේම ආයතන කීපයකම ප්‍රධාන විධායක නිලධාරියෙක් විදිහටත් මම සේවය කළා. දැන් වසර දාහතක් වෙනවා මම ව්‍යාපාර ක්ෂේත්‍රයට ඇවිල්ලා. මේ තියන පළපුරුද්දයි ”ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය” ගැන තියන අවබෝධයයි මට ප්‍රමාණවත් මෙම ආයතණ දියුණු කරන්න.

එත් රාජ්‍ය සේවය කියන්නේ වගකීම් වැඩි තැනක්. ඇයි ඔබ පෞද්ගලික අංශයෙන් ඉවත් වෙලා රාජ්‍ය අංශයට එකතුවුණේ?

අතිගරු ජනාධිපතිතුමාට අවශ්‍ය වුණා පෞද්ගලික අංශයේ සේවය කරන පිරිස එකතු කරගෙන රාජ්‍ය අංශය අලුතින් ගොඩනගන්න. අන්න ඒ සංකල්පයට උදවුවක් වශයෙන් තමයි මම පෞද්ගලික අංශයෙන් ඉවත් වෙලා රාජ්‍ය අංශයේ සේවයට පැමිණෙන්නේ.

ඔබේ ආයතනයෙන් මොනවගේ සේවයක්ද මහජනතාවට ලැබෙන්නේ?

අද වන විට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ ග්‍රාමීය වෘත්තීය පුහුණු කිරීමේ මධ්‍යස්ථාන දෙසිය දාසයක් ජාතික වෘත්තීය පුහුණු කිරීමේ මධ්‍යස්ථාන හතකින් සමන්විත පුහුණු කිරීමේ ජාලයක් අප සතුව තිබෙනවා. අද වනවිට රැකියා ක්ෂේත්‍ර විසිදෙකක් සඳහා වූ පාඨමාලාවන් අසුඑකක් අපි හඳුන්වා දීලා තියනවා. මෙම පාඨමාලාවන් සඳහා වසරකට තරුණ තරුණියන් හැත්තෑ දහසක් පමණ පුහුණු කිරීමේ කටයුතුත් සිදුකරනු ලබනවා.

මේ තරම් සංඛ්‍යාවක් පුහුණු කළත් ඔවුන්ගෙන් ඉතාමත් අතළොස්සක් තමයි රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවල නිරතවන්නේ. මොකක්ද එයට හේතුව?

ඇත්තටම මීට කලින් පැවති රජයන්වලදී අපිට දකින්නට ලැබුණු දෙයක් තමයි ඉතාමත් වැඩි පිරිසක් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ විවිධ ක්ෂේත්‍රවලට බඳවා ගන්නවා. එ්ත් රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවල නිරතවන්නේ ඉතාමත් අඩු පිරිසක්. මෙය අනෙකුත් ක්ෂේත්‍රවලට වඩා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යන ක්ෂේත්‍ර තුළ වැඩි වශයෙන් දකින්නට ලැබෙනවා. අපි හොයලා බැලුවා මෙහෙම වෙන්නේ ඇයි කියලා. එතකොට තමයි අපි දැනගත්තේ මේ තරුණ තරුණියන්ට ලබා දෙන අධ්‍යාපනයේ අඩුපාඩු තියනවා කියලා. ඇත්තටම අපි මුලින්ම සිදුකරන්න බලාපොරොත්තු වෙන්නේ පෞද්ගලික අංශයට වගේම රාජ්‍ය අංශයටත් එක ලෙස ගැලපෙන හොඳ විෂය නිර්දේශයක් හඳුන්වා දීමයි. ඊට පස්සේ අපි ඔවුන්ව සුදානම් කරනවා වැඩලෝකයට ගැලපෙන රැකියාවන් සිදුකිරීමට. ඒ වගේම තොරතුරු තාක්ෂණයේ ප්‍රමුඛයන් වන SLASSCOM ආයතනය සමග එකට එකතු වෙලා වැඩසටහන් කිහිපයක්ම පටන් ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

අද වෙනකොට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තියන රැකියාවලට අපේ තරුණ තරුණියන් ඉදිරිපත්වීමට මැළිකමක් දක්වනවා. ඔබේ ආයතනය මගින් එයට ලබාදෙන විසඳුම කුමක්ද?

අපි බලාපොරොත්තු වෙනවා රටේ ආර්ථිකයට ශක්තියක් වන අනාගතයක් ගොඩනගන්න. ඒ ගමනේදී ”විරු පවුර” ගැනත් මතක් කරන්න ඕනේ. ඇත්තටම අපිට තියන ලොකුම අඩුපාඩුව තමයි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවන් කිරීමට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නොමැතිවීම. ඒ නිසා තමයි අපි ”විරු පවුර” කියන සංකල්පය ඉදිරියට රැගෙන ආවේ. ඒ වගේම ලංකාවේ තියන දැවැන්තම ඉදිකිරීම් සමාගම් එක්ක එකතුවෙලා මේ ”විරු පවුර” වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

ඔබ මොනවගේ වැඩපිළිවෙළක්ද ”ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය” තුළින් ඉදිරියට සිදුකරන්න බලාපොරොත්තු වෙන්නේ?

මුලින්ම අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ගෝලීය වශයෙන් තියන රැකියා වෙළඳපොළට ගැළපෙන ආකාරයේ වෘත්තීය පුහුණුවක් අපගේ ආයතනයේ සිටින තරුණ තරුණියන්ට ලබා දෙන්න. මේ ගමනේ බහුවිධ වෘත්තීය පුහුණුව කියන සංකල්පයටත් අපි අනිවාර්යයෙන්ම යා යුතුයි. ඒ ක්‍රමවේදය අද වෙනකොට යුරෝපය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල්වල අනුගමනය කරනවා. මේ පිළිබඳව සාකච්ඡාවක් අපි ජර්මානු තානාපති කාර්යාලයත් සමග සිදුකළා. ඔවුන් කැමති අපිත් එක්ක නියමු ව්‍යාපෘතියක් විදිහට මේ කටයුතු ඉදිරියට කරගෙන යන්න. ඒ වගේම මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුදත් රොහාන් මුණසිංහ මහතා නව නිපැයුම් පෙළ සම්බන්ධව අපිත් එක්ක එකතු වෙලා තියනවා.