කතුවැකි

විසිල් ඇති බල්ටියි ඕනෑ!

නව ජනාධිපතිවරයකු හා ආණ්ඩුව පත් වී මේ ගෙවී යන්නේ දෙවැනි මාසයයි. මේ කෙටි කාලය තුළ ආණ්ඩුවේ කටයුතු ගැන එක්තරා අන්දමක ප්‍රසාදයක් ඇතත් පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයම නගන පොදු පැනයක් තිබේ. ‘‘ආණ්ඩුව ඇන ගනිමින් සිටින්නේද’’ යන මේ පැනය ආණ්ඩු විරෝධීන් මතු කරන්නේ මහත් උද්දාමයෙනි. පිළිතුරත් සහතික කර ගනිමින් විපක්ෂය නගන මේ පැනය ආණ්ඩු හිතවාදීන් නගන්නේ තරමක සැකයකින් හා කෝපයකින් යුතුවය.

ආණ්ඩුවට පක්ෂ හා විපක්ෂ දෙපාර්ශ්වයම දෙආකාරයකට මේ එකම පැනය නගන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම මුල් කරගෙනය.

ආණ්ඩුව ඇන ගත්තාදැයි දැන්ම කියන්නට කල් වැඩිය. එසේ වුවත් ආණ්ඩුව අරබයා නැගෙන මේ පැනය විසින් පෙන්නුම් කෙරෙන වැදගත් කාරණයක් තිබේ. අපේ දේශපාලන සංස්කෘතිය තව කොතරම් නම් දියුණු විය යුතුද යන කාරණයයි.

ආණ්ඩුව ප්‍රථමයෙන් පාඨලී චම්පික අත්අඩංගුවට ගත්තේය. දින කිහිපයක් යන්නට පෙර ඔහුට ඇප නියම කෙරිණ. රාජිත අත්අඩංගුවට ගත් නමුත් ඔහුගේ දෑතට මාංචු වැටුණේ නැත. බන්ධනාගාරයට නොගොස්ම ඇප ලබා ගන්නටද ඔහු සමත් විය. රන්ජන් රාමනායකද අත්අඩංගුවට පත් වූ සැණින්ම වාගේ ඇප ලබා ගත්තේය. රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් කාරණය සම්බන්ධයෙන්ම අත්අඩංගුවට ගත් ඖෂධ සංස්ථාවේ හිටපු සභාපතිවරයා හා සුදු වෑන් රියැදුරන්ටද ඊයේ (06 වැනිදා) ඇප නියම කෙරිණි.

මේ අය අත්අඩංගුවට ගන්නා විට විපක්ෂය ආණ්ඩුවට චෝදනා කළේ දේශපාලන පලිගැනීම් සිදු කරන බව කියමිනි. එහෙත් ඉතා ඉක්මනින්ම ඔවුන්ට ඇප නියම වූ විට ඔවුන් කියන්නේ විපක්ෂයට කෙළවන්නට ගොස් ආණ්ඩුව ඇනගත් බවය. එසේ වුවත් අත්අඩංගුවට ගත් අය හේතු රහිතව රඳවා ගන්නේ නම් ඔවුන් කියනු ඇත්තේ ආණ්ඩුව නීතියට පිටින් කටයුතු කරන බවය.

ආණ්ඩුවට හිතවත් පාර්ශ්වයන්ගේ කනස්සල්ලට හා කෝපයට හේතු වී ඇත්තේද මේ කාරණයයි. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ විපක්ෂයේ පිරිස් කෙසේ හෝ දඩයම් කිරීමය. වත්මන් ආණ්ඩුවද පැවති ආණ්ඩුව මෙන් හේතු රහිතව අත්අඩංගුවට ගැනීම් හා දිගු කලක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම් කළ යුතු බව ඔවුන්ගේ අදහස වී ඇති බව පෙනේ. ඔවුන් කල්පනා කරන්නේ ආණ්ඩුව විරුද්ධවාදීන්ට එරෙහිව කටයුතු කිරීමට තරම් ශක්තිමත් නොවන අතර විපක්ෂයට බලවත් වන්නට හේතු සපයමින් සිටින බවය.

මේ දෙපාර්ශ්වයන්ම හැසිරෙන අන්දම බලන විට පෙනී යන්නේ අප තවමත් වෛර දේශපාලන මානසිකත්වයෙන් මිදී නොමැති බවද? යහපාලනයක් ඇති කිරීමේ මුවාවෙන් විරුද්ධවාදීන් දඩයම් කිරීම පැවති ආණ්ඩුවේ පරාජයට ප්‍රධාන හේතුවක් විය. වත්මන් ආණ්ඩුවද ඒ පාරේම ගියහොත් ඔවුන්ටද යහපාලනයට අත් වූ ඉරණමට මුහුණ දෙන්නට සිදුවනු ඇති බවට සැකයක් නැත. මේ නිසා ආණ්ඩුව විපක්ෂයේ කුපිත කිරීම් මෙන්ම තම හිතවාදීන්ගේ උසිගැන්වීම් ගැනද කල්පනාකාරී වුවහොත් ගුණදායක වනු ඇත. එසේ කළ යුත්තේ ආණ්ඩුව රැක ගැනීමට පමණක් නොව ඒ හරහා අප රටේ දේශපාලන සංස්කෘතිය පිරිසුදු කිරීමටද මග පෑදෙන බැවිනි.

එසේ වුවත් වැරදිකරුවන්ට දඬුවම් නොකළ යුතු යැයි ඉන් අදහස් වන්නේ නැත. මහජන මුදල් සොරකම් කළ අය ඇත්නම් බලය අයුතු ලෙස භාවිත කළ අය ඇත්නම් රටට ජනතාවට ද්‍රෝහී වූ අය ඇත්නම් නියත වශයෙන්ම ඔවුන්ට එරෙහිව කටයුතු කළ යුතුමය. එහෙත් එසේ කළ යුත්තේ පුද්ගලික සාධක මත නොව සනාථ කළ හැකි සාක්ෂි මතය.

චම්පික, රාජිත හෝ රන්ජන් වැනි විපක්ෂ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම, ඔවුන්ට එරෙහිව පියවර ගැනීම සාධාරණ හෝ අසාධාරණ ද යන්න නිශ්චය වනු ඇත්තේ ඉදිරියේදීය. ඔවුන්ට එරෙහිව පැවැත්වෙන නඩු විභාගයන්වලදී ඉදිරිපත්වන කරුණු ඔවුන්ගේ වැරදි නිවැරදිභාවය තීරණය වනු ඇත. අපට ඒ බව තීරණය කිරීමට බලයක් මෙන්ම අයිතියක්ද නැත. එය අධිකරණයේ රාජකාරියකි. එසේ වුවත් ඇතැමුන් දැනටමත් මේ සම්බන්ධයෙන් අවසන් නිගමන දී හමාරය.

දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම සිද්ධීන් සම්බන්ධයෙන් තවමත් සම්පූර්ණ විස්තර ප්‍රසිද්ධියට පත් වී නොමැත. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය හොඳම උදාහරණයකි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතු පටිගත කළ දුරකථන සංවාද විශාල ප්‍රමාණයක් තිබූ බව කියැවේ. රන්ජන් රාමනායක යනු ප්‍රසිද්ධ මාධ්‍ය හමුවලදීත් විවිධ පුද්ගලයන්ට දුරකථන ඇමතුම් ගන්නට ප්‍රසිද්ධ අයෙකි. ඒ අනුව ඔහු සතුව එවැනි දුරකථන ඇමතුම්වල පටිගත කිරීම් තිබිය හැකි බව විශ්වාස කළ හැකිය.

ප්‍රසිද්ධියට පත්ව ඇති මේ එක් දුරකථන සංවාදයක් ඔහු කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සමගය. එහිදී ඔහු කියන දේවල්වලට අනුව නම් රිදීතිරයේ රඟපෑමට වඩා දේශපාලනයේ ඔහුගේ රඟපෑම අතිවිශිෂ්ටය. එසේම ශ්‍රී ලංකාවේ ජේම්ස් බොන්ඩ් යැයි ඇතැමුන් විසින් හඳුන්වන පොලිස් අධිකාරී ශානි අබේසේකර කොතරම් තුට්ටු දෙකේ නිලධාරියකු දැයි වටහාගත හැකිය.

මේ කරුණු කොතරම් බරපතළ වුවත් වහාම ඔවුන්ව බෙල්ලෙන් අල්ලා දඟගෙයි දැමීමේ හැකියාවක් නැත. එසේ කළ හැක්කේ රන්ජන්ට පුරුදු සිනමාවේදී පමණකි. සිනමාවේදී එසේ කළ හැක්කේ රූප රාමුවෙන් රූප රාමුවට සිද්ධියෙන් සිද්ධියට තිර පිටපතක් ලියා ඇති බැවිනි. දේශපාලනයේදී එසේ කළ නොහැක්කේ එක් සිද්ධියකින් පසු ඊළඟ සිද්ධිය කෙසේ වනු ඇත්ද යන්න ගැන නොදන්නා බැවිනි.

ආණ්ඩු විරෝධීන් සේම ආණ්ඩුවේ හිතවාදීන් කුමක් කීවත් කලබල නොවී ජනප්‍රිය දේශපාලනයට නොගොස් කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමකි. එහෙත් ඇතැම් විටෙක වත්මන් ආණ්ඩුවද පසුගිය ආණ්ඩුව ගිය මාර්ගයේම යන්නේදැයි සැක සිතෙන අවස්ථා තිබේ. රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් තමන්ගේ එකඟතාවක් නැතැයි කංචන විජේසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට තිබේ. එහෙත් මෙවන් සිද්ධීන්වලදී පොලිසිය මත වගකීම පවරා ආණ්ඩුවට නිර්දෝෂී විය නොහැකිය.

ආණ්ඩුව අතින් මෙවැනි වැරදීම් සිදුවන්නේ සිද්ධියට වඩා සංදර්ශනවලට මුල්තැන දීම නිසා බව අපගේ වැටහීමය. විසිල් තරමට බල්ටි නොමැති වුවහොත් විසිල් එකට අත්පුඩි තලන ප්‍රේක්ෂකයාම ‘හූ’ හඬ දෙන්නට මැලිනොවන බව ආණ්ඩුව දත යුතුය.