විශේෂාංග

විෂබීජනාශක වලින් අත හේදුවාම ඔක්කොම හරිද?

දෙතුන් මාසයකට කලින් කතුන්ගේ හෑන්ඩ් බැග් මුදල් පසුම්බියට අමතරව තිබුණේ රූපලාවණ්‍ය උපකරණය. මුහුණ පිහිදා ගන්නට ටිෂූ කඩදාසිය. සමහර පිරිමින් නම් සාක්කුවේ ලේන්සුවක් දාගෙන ගියේය. සිගරට් බොන අයගේ සාක්කුවේ ගිනි පෙට්ටියක් හෝ ලයිටරයක් තිබුණේය.

මේ දේවල්වලට අමතරව දැන් ගෑනු පිරිමි දෙපාර්ශ්වයේම සාක්කුවලට අලුත් කුප්පියක් ඇවිත් ඇත්තේය. ඒ විෂබීජනාශක දියර පිරවූ කුප්පියකි. විෂබීජනාශක දියර අපේ සාක්කුවලට ආවේ කොරෝනාවත් සමගය. මින් පෙර විෂබීජනාශක දියර භාවිතයට ගන්නා බවට දැන තිබුණේ වෛද්‍යවරුන්ගෙන්ය. රෝගීන් පරීක්ෂා කර බලා තවත් රෝගියකු වෙත යන විට ඔවුහු මේ ඇල්කොහොල් මිශ්‍ර විෂබීජනාශක දියර භාවිත කළෝය. නමුත්, කොරෝනා ලංකාවට පැමිණීමට ප්‍රථම පාරේ තොටේ යන අපට අවශ්‍යතාවක් තිබුණේ නැත. ඒත්, වර්තමානයේ සුපිරි වෙළෙඳසලේ සිට පාරේ ඇති පෙට්ටි කඩය දක්වාම විෂබීජනාශක දියර විකිණීමට තිබීම මහජනයාට සුලබ දසුනක් විය. තැඹිලි කුරුම්බා පාර දෙපැත්තේ විකුණන්නා සේ විෂබීජනාශක දියර දැන් මහ පාරේ විකිණෙන්නේය. මේවායේ ප්‍රමිතිය කොහොමදැයි ඒවා පාවිච්චි කරන අපි දන්නේ නැත. බොහෝ දෙනෙක් හිතන්නේ පාරේ විකුණන්න තිබෙන විෂබීජනාශක දියරයකින් අත සෝදා ගත් විට කොරෝනා වැලඳෙන්නේ නැති බවය. මේ හේතුවෙන් පාරිභෝගික සේවා අධිකාරිය විසින් මේවාය් ප්‍රමිතිය පිළිබඳව සොයා බැලුවේය. එහිදී, භාවිතයට නොසුදුසු තත්ත්වයේ ඇති බොහෝ විෂබීජනාශක දියර වෙළෙඳපොළේ ඇති බව ඔවුන් සොයා ගත්තේය. විෂබීජනාශක දියර ලංකාවේ ජනප්‍රිය වීමත් සමග එවැනි ද්‍රව්‍ය හදන ආයතනද හතු පිපෙන්නාක් මෙන් බිහි වී තිබේ. මෙච්චර විෂබීජනාශක දියර හදන්නට රසායනික ද්‍රව්‍ය ලංකාවේ තිබෙනවාදැයි කවුරුවත් දන්නේ නැත.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය සමග ගැටීමට හැකි, විෂබීජනාශක හතරක් නිර්දේශ කර තිබේ. ඒ ද්‍රව්‍යයන් වන්නේ සබන්, විෂබීජනාශක දියර, හයි​පොක්ලෝරයිට් සහ ෆෙරෝක්සයිඩ්ය. එමෙන්ම මිනිස් සම සඳහා සබන් සහ විෂබීජනාශක දියරත් ඝන මතුපිටක් සඳහා හයිපොක්ලෝරයිට් සහ ෆෙරෝක්සයිඩ් කියන ද්‍රාවනත් යොදා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර තිබුණි

‘‘මුලින්ම විෂබීජනාශක දියර’’ නිෂ්පාදනය කරන මිශ්‍රණය යොදා ගන්නේ අයිසොප්‍රොෆිල් කියන මද්‍යසාය වර්ගයයි. ඉන් අනතුරුව, එම මිශ්‍රණයට බැක්ටීරියා විනාශ කළ හැකි ෆෙරෝක්සයිට් මිශ්‍ර කරනවා. අවසානයට සෞඛ්‍ය ආරක්ෂිත වර්ණක සහ පිරිපහදු කළ ජලය තමයි භාවිත කරන්නේ. මේ සියල්ලේම පොදු මිශ්‍රණයක් ලෙස තමයි විෂබීජහරණ දියර බිහි වෙන්නේ.’’ එසේ කියන්නේ විෂබීජනාශක දියර නිෂ්පාදනය කරන ආයතනන හිමිකරුවකු වන එච්.එම්.ඩබ්ලිව්. අමිල ශානක හේරත්ය.

මේ ආකාරයට නිෂ්පාදනය කරන ‘විෂබීජනාශක දියර’ වල ප්‍රමිතිය නිසි පරිදි ඇත්දැයි නිරීක්ෂණය කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසිනි. එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ කීවේ ඕනෑම ‘විෂබීජනාශක දියර’ නිෂ්පාදනයක අනිවාර්යයෙන් අඩංගු විය යුතු මද්‍යසාර ප්‍රමාණයක් නිර්දේශ කර ඇති බවයි. එසේ නොමැති සියලු නිෂ්පාදනයන් මිනිස් භාවිතයට නොසුදුසු යැයි සහතික කර වෙළඳපොළෙන් ඉවත් කරන බව ඔහු කීවේය.

එමෙන්ම, එතිල් මධ්‍යසාරය භාවිත කරන්නේ නම් එම ප්‍රමාණය සියයට හැත්තෑ පහේ සිට සියයට අසූව අතර ප්‍රතිශතයක් තිබිය යුතුය. ඊට අමතරව, අයිසොප්‍රොෆිල් මධ්‍යසාරය භාවිත කර නිෂ්පාදනය කරන ‘විෂබීජනාශක දියර’ නම් එහි අඩංගු විය යුතු අයිසොප්‍රොෆිල් මද්‍යසාර ප්‍රමාණය වනුයේ සියයට හැත්තෑවක් සහ සියයට අසූවක් අතර ප්‍රතිශතයකි.

මෙහිදී වෛද්‍ය කමල් ජයසිංහගෙන් අප විමසා සිටියේ ‘විෂබීජනාශක දියර’ යම්කිසි ආයතනයක් මගින් නිෂ්පාදනය කරන්නේ නම් එය වෙළෙඳපොළට මුදා හැරීමේදී කිසියම් ක්‍රමවේදයක් තිබේද යන්නයි.

‘‘ඕනෑම ආයතනයක් ‘විෂබීජනාශක දියර’ නිෂ්පාදනය කරනවා නම් ඒවා වෙළෙඳපොළට නිකුත් කරන්න කලින් අපිට ගෙනල්ලා පෙන්නන්න ඕනේ. ඊට පස්සේ අපේ නියෝජිතයෝ යනවා ඒ නිෂ්පාදනාගාරය බලන්න. ඒ ඔවුන් සෞඛ්‍ය ආරක්ෂිතව මේ දේවල් නිෂ්පාදනය කරනවද කියලා හොයනවා. ඒ අතරේ ඔවුන්ගේ නිෂ්පාදන වරින් වර ගෙන්නලත් අපි නියාමනය කරනවා. ඒ විතරක් නෙවෙයි මේ නිෂ්පාදන හොඳ තත්ත්වයක තියනවා නම් අපි ජී.එම්.පී. සහතිකය ලබා දෙනවා. ඊට පස්සේ තමයි ලියාපදිංචි කිරීමේ කටයුතු කරන්නේ. ”

දේශීය නිෂ්පාදකයන්ට මේ ආකාරයේ නීතිරීති සකසා ඔවුන්ව නියාමනය කරන්නා සේම ලංකාවට ආනයනය කරනු ලබන ‘විෂබීජනාශක දියර’ වලටත් විශේෂිත වූ නියාමනයක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ගෙන තිබුණි. එහිදී, යම්කිසි කෙනෙක් පිටරටින් ‘විෂබීජහරණ දියර’ ආනයනය කරනවා නම් එම ආයතනයට ලංකාවේ නියෝජිතයෙක් සිටීම අනිවාර්ය වේ. එමෙන්ම, එම නියෝජිතයාට අදාළ ආයතන මගින් සියලු බලතල පවරා තිබිය යුතුය. ඊට අමතරව, ‘විෂබීජනාශක දියර’ මෙරටට ගෙන්වනු ලබන ආයතන පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් විශේෂ සොයා බැලීමක් සිදුකරන බවත් ඔහු කිවේය.

විෂබීජනාශක දියර සේම මේ දිනවල වැඩියෙන්ම කතා කරන මාතෘකාවක් වන්නේ විෂබීජහරන කුටිය. බොහෝ රාජ්‍ය ආයතනවලට ඇතුළු විය යුත්තේ විෂබීජහරණ කුටි හරහාය. නි​​​​රෝධායනය සඳහා යන අයද නිරෝධායනය අවසන් කර එන අයද ගත්තේ විෂබීජනාශක දියර ඉසය. නමුත් ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීවී වෛද්‍යවරුන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍ය ශිරාණි චන්ද්‍රසිරිගේ මතයට අනුව ‘විෂබිජහරණ කුටි’ පවත්වාගෙන යාම සහ පාරවල් විෂබිජහරණ කිරීම වැනි දෑ වලින් කිසිදු පලක් නොමැති බව ඇය කීවාය. එයට හේතුව වන්නේ ජීවි ශරීරයක් මත ගැටීමට හෝ අවකාශය ඇත්තේ යම්කිසි සංද්‍රනයකට අනුව නිපදවූ රසායනවලට පමණක් බවයි. එමෙන්ම, මද්‍යසාර අඩංගු නිෂ්පාදන පවා භාවිතා කළ යුත්තේ නියමිත ප්‍රමිතියට අනුව නිපදවූ ඒවා පමණකි. අනෙක් අතට බොහෝදෙනකු නිර්මාණය කළ විෂබීජහරණ කුටි තුළ නියමිත ප්‍රමිතියට අනුකුල නොවූ ක්ලෝරීන් සහ මද්‍යසාර අඩංගු බැවින් ඒවා ශ්වසන මාර්ගය ඔස්සේ ශරීරයට ගමන් කිරීමට ඇති ඉඩකඩ පවා වැඩි බව විශේෂඥ වෛද්‍ය මතයයි.

‘‘අද වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා විෂබීජහරණ කුටි පවා තහනම් කරලා තියෙනවා. ඒ වගේම විවෘත පරිසරයට පවා මේවා මුදා නොහරින ලෙසත් පවසා තිබෙනවා. ඇත්තටම, අපි කොහොමද පරිසරය මේ කියන විදිහට විෂබීජහරණය කරන්නේ. මේ කරන විදිහට ක්ලෝරීන් ගැහුවොත් පසේ තියන සාරය නැතිවෙනවා, ඒ වගේම පරිසරයට හිතකර ක්ෂුද්‍ර ජීවින් පවා මැරෙනවා. අනික මේවා ආශ්වාසය කරන අපිට පවා අතුරු ආබාධ එන්න පුළුවන්. ”

එමෙන්ම, විශේෂඥ වෛද්‍ය ශිරාණි චන්ද්‍රසිරි කිවේ, මද්‍යසාර වැනි දෑ විවෘත පරිසරයට නිකුත් කළ පසු ගිනි ගැනීමක් පවා සිදුවිය හැකි බවයි. එපමණක් නොව, නවසීලන්තය වැනි කොරෝනා වෛරසයෙන් මිදුණු රටවල් පවා ‘විෂබීජහරණ කුටි‘ සහ මහා මාර්ග විෂබීජහරණය කිරීමට නොගිය බවත් ඈ කීවාය.

කෙසේ වෙතත්, පසුගිය දා ඉන්දියාවෙන් වාර්තා වූයේ කාන්තාවක් විසින් ‘විෂබීජනාශක දියරයෙන්’ දෑත් සෝදා ගෑස් උදුන දැල්වීමට ගිය අවස්ථාවේ දී ඇයගේ දෑතට ගිනි ඇවිලුණු පුවතකි. එපමණක් නොව, ලංකාවේද බොහෝ තැන්වල කසුකුසුවක් වුයේ ‘විෂබීජනාශක දියර’ නිතිපතා භාවිතයට නොසුදුසු බවයි. ඒ නිසාම විශේෂඥ වෛද්‍ය ශිරාණි චන්ද්‍රසිරිගෙන් අප විමසා සිටියේ ඇත්ත වශයෙන්ම මෙවැනි දෑ සිදුවිය හැකිද යන්නයි.

‘‘ඇත්තටම අපි වෛද්‍යවරු හැටියට අද ඊයේ නෙවෙයි ‘විෂබීජනාශක දියර’ භාවිත කරන්න පටන් ගත්තේ. අපි ඕනෑම රෝගියෙක් බලලා තවත් රෝගියෙක් ළඟට යන්නේ මේ කියන ‘විෂබීජනාශක දියර’ භාවිත කරලයි. එත්, නිසි ප්‍රමිතියට හදන්නේ නැති ‘විෂබීජනාශක දියර’ භාවිත කරන්න ගියොත් අමාරුවේ වැටෙන්නේ අපිමයි. ඒ නිසා, ‘විෂබීජනාශක දියර’ ගන්න කලින් බෝතලයේ ගහලා තියනවද බලන්න අවශ්‍ය ප්‍රතිශතයට අනුව මධ්‍යසාර ඇතුළත් කරලද කියලා. ඒ විතරක් නෙවෙයි, රජයේ ලබාදෙන සහතිකේ පවා මේවායේ අඩංගු ද කියලා බලන්න ඕනේ. ”

මේ ආකාරයට නිසි පරිදි ආරක්ෂිත ක්‍රම උපයෝගි කර ගනිමින් නිෂ්පාදනය කරනු ලබන ‘විෂබීජනාශක දියර’ පමණක් භාවිත කළ යුතු බව විශේෂඥ වෛද්‍ය මතයයි. එසේ භාවිත කිරීමෙන් කොරෝනා වෛරසයෙන් මෙන්ම වෙනත් අහිතකර රෝගවලින් ද ආරක්ෂා වීමට අපට හැකිවනු ඇත.

හර්ෂණී දිසානායක
ඡායාරූප – ඒෂාන් දසනායක