විශේෂාංග

විශ්ව විද්‍යාල ණය හොරු

බාල සන්දියේ මා කියවූ කෙටි කතාවක් මට අද වගේ මතකය. ඒ කතාවේ අම්මාටත්, තාත්තාටත් ඉගෙනුමට රුසියකු වූ පුතෙක් උන්නේය. තමන්ගේ කුසගින්නද, මහන්සියද නොබලා රබර් කිරි කපමින් මේ අම්මාත්, තාත්තාත් දිරි ගත්තේ පුතා ඉහළම තානාන්තරයකට යවන්නය. පුතාද දෙමාපියන්ගේ සිහිනය සැබෑ කරමින් අධ්‍යාපනයේ හිණිපෙත්තටම ළඟා වූයේ අහල ගම් හතකම විශ්වවිද්‍යාලයකට තේරීපත් වූ පළමු ශිෂ්‍යයා වෙමිනි. සිව් වසරකට සරිලන ලෙස වියපැහැදම් කරන්නට වත්කමක් නොවූ මේ දෙමාපියන් අවසානයේ තීරණය කරන්නේ නිවසත්, ඉඩමත් උගසට තබා දරුවාට උගන්වන්නටය. ඒ පුතා ලොකු මහත්තයෙකු වූ විගස එය බේරා ගැනීමේ විශ්වාසයෙනි. කාලයත් සමග පුතා ඉගෙනගෙන දිසාපති මහත්තයෙකු වුවද අම්මාත්, තාත්තාත්, ගමත්, උගසට තැබූ ගෙයත් ඔහුට අමතක විය. මේ නිසා නිවසත්, ඉඩමත් සින්න වෙන්නට යන බව දන්නවා මාපියෝ පුතාට ලිපියක් යැවූහ. “ඔබගේ ලිපිය අදාළ දෙපාර්තමේන්තුවට යොමු කළ අතර මින් ඉදිරියට අදාළ දෙපාර්තමේන්තුව සමග ගනුදෙනු කරන්න” මැයෙන් පිළිතුරු ලිපියක් ලැබුණි.

කාර්යබහුල දිසාපති පුතාට දෙමාපියන්ගේ ලියුම කියවන්නට හෝ වෙලාවක් තිබී නැත. දිසාපති පුතුට වැදූ අම්මා අමතක වී තිබුණි. එසේ අම්මාගේත්, තාත්තාගේත් වියදමින් ඉගෙනගත් දිසාපති පුතාට ඒ අම්මලා අමතක වූ පරිදි මව්බිමේ මුදලින් ඉගෙනගෙන මව්බිම නමැති අම්මාට කළගුණ නොසලකන පිරිසක් පිළිබඳව පසුගියදා අපට අහන්නට ලැබුණි.

ඒ, පසුගියදා ජාතික පුවත් පතක වූ ශීර්ෂයක් නෙත ගැටීමෙනි. එහි සඳහන්ව තිබු​ණේ සරසවි ඇදුරන් 485 දෙනෙකු රු. කෝටි 81 කට ‘පොලු තියපු’ බවය. පශ්චාත් උපාධි සඳහා ආචාර්යවරුන්, මහාචාර්යවරුන් හා නිලධාරින් ලබාගත් ණය නොගෙවා පැහැර හැර ඇති බව එහි දැක්විණි. මේ පොලුකාරයන්ගෙන් විශ්වවිද්‍යාල කොමිසම ඉල්ලීමක් කර තිබුණි.

“මෙරට ජනතාව අනෙක විධ දුක්ඛ දෝමනස්සයන් මැද එදා වේල පිරිමසා ගැනීම පිණිස ඉතා වෙහෙසකර ලෙස උපයාගත් මුදලින් ගෙවන ලද බදු මුදල්වලින් පළමු වසරේ සිට උසස් පෙළ දක්වා ඔබට අධ්‍යාපනය ලබා දුනි. රජයේ විශ්වවිද්‍යාලයන්හි උපාධිය දක්වා ඔබට අධ්‍යාපනය ලබා දුන්නේද ඔවුන්ගේම මුදලිනි. ඔබ බොහෝ දෙනකුට මහපොළ ශිෂ්‍ය ආධාර ද ලබා දුන්නෙමු. ඔබට පශ්චාත් උපාධිය සඳහා ණය පහසුකම් ලබා දුන්නේද එම ජනතාව ලේ, දහදිය, කඳුළු වගුරුවා උපයාගත් මුදලෙන්මය. ඔබ එසේ ලබාගෙන බැඳුම්කර කොන්දේසි උල්ලංඝණය කරමින් ගෙවීම් පැහැර ඇති මුදල රුපියල් මිලියන 813 ඉක්මවා ඇත. එසේ ලද මුදල්වලින් ඔබ අද උගතකු වී වෙනත් රටවල හෝ ආයතනවල උසස් නිල තල හොබවමින් වැජඹෙන බව අපි දනිමු. අනාගත් පරම්පරාවට අධ්‍යාපනය ලබා දීම සඳහා ඔබ ජනතාවගෙන් ලබාගත් ණය මුදල මෙම මොහොතේ අපට අවැසිව ඇත. උපන් බිමට සහ මව්බිමේ ජනතාවට ඔබ ද්‍රෝහියෙක් නොවෙනු ඇති බව විශ්වාස කරමු. ණයකරුවෙනි, ඇපකරුවෙනි මෙහි සඳහන් මුදල් සහ එම පොලී මුදල් වහාම ගෙවා ණයෙන් නිදහස් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.”

කන්නන්ගර මහතා 1945දී නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙන්නට පෙර ලංකාවේ තිබුණේ මුදල් ගෙවා හිමිකරගත යුතු ධනපති අධ්‍යාපන ක්‍රමයකි. මේ නිසා බොහෝ දෙනෙකුට අධ්‍යාපනය අහිමි විය. කන්නන්ගර මහතා වරෙක පැවසුවේ ඈත හද්දා පිටිසර පොල්අතු පැලක ඉපිද දැනුමින් ලෝකය පුබුදු කරන්නට දුගී දුප්පත් දරුවන්ට ද නිදහස් අධ්‍යාපනය මගින් අවස්ථාව උදාවන බවකි.

නිදහස් අධ්‍යාපන සංකල්පය යටතේ පළමු වසරේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වෙන තුරුම නිදහස් අධ්‍යාපනය හිමි වුවද ඉන් පසු ලබාගන්න පශ්චාත් උපාධි සඳහා මුදල් ගෙවන්නට සිදු වේ. බොහෝ පශ්චාත් උපාධි අපේක්ෂකයන්ට මුහුණ දෙන ප්‍රශ්නයක් වන්නනෙනේ ඒ සඳහා ගෙවන්නට න මුදල සොයා ගැනීමය. එම අපහසුවට සහනයක් ලෙස අවශ්‍ය මුදල ණය මුදලක් මගින් ලබා දෙන්නට විශ්වවිද්‍යාල කොමිෂන් සභාව පහසුකම් සපයා ඇත. අදාළ උපාධිය හැදෑරීමෙන් පසු ඔවුන් කොටස් වශයෙන් මෙම ණය මුදල විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට ගෙවිය යුතුය. මෙය හුදෙක් දැනුමෙන් සන්නද්ධ බුද්ධිමත් පිරිසක් ඇති කිරීමේ අරමුණෙන් රජය විසින් ගනු ලැබූ තීරණයකි. මේ වන විට ඒ ණය පහසුකම් යටතේ අධ්‍යාපනය ලැබූ බොහෝ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, විශ්වවිද්‍යාල නිලධාරීන් මෙම ණය මුදල පියවා නැත. විශ්වවිද්‍යාල කොමිෂන් සභාව සඳහන් කරන ආකාරයට 2017. 12. 31 වන විට ණය නොගෙවූ පිරිස ගෙවිය යුතුව ඇති මුදල මිලියන 813කි. ණය මුදල පියවන ලෙස දැන්වීම් කළද කිසිවෙකු ප්‍රතිචාර දක්වා නැත. මේ පිළිබඳව තොරතුරු විමසූ විට විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මොහාන් ද සිල්වා මහතා මෙසේ පැවසුවේය.

“අද මේ අයගෙන් බොහෝ දෙනෙක් ලංකාවේ නැහැ. විදේශ රටවල ඉහළ වැටුප් ලබන රැකියාවන් තමයි ඔවුන් කරන්නේ. එ්ත් ඔවුන්ට දැන් මේ ණය අමතක වෙලා. මේ අයට ණය දෙනකොට ඒ ගිවිසුමට අත්සන් කරන්නේ විශ්වවිද්‍යාල උපකුලපති සහ පාලක මණ්ඩලය. ඒ අනුව මේ මුදල් නොගෙවන අයට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ඒ අයටම තමයි. නෛතික ක්‍රියාමාර්ග දෙවනුවට තබා පළමුව මේ විදියට ඔවුන්ගේ නම් ප්‍රසිද්ධ කරන්න ඕන කියල ඇමැතිතුමා තීරණය කළා.

එංගලන්තය ඇතුළු ලෝකය බොහෝ රටවලවල ක්‍රියාත්මක වෙන්නේ ‘සිස්ටම්ස් රන් පීපල්’ ක්‍රමය. ඒ කියන්නේ යම්කිසි ක්‍රියාවලියකට අනුව මිනිසුන් හැඩගැස්සවීම. හැබැයි ලංකාවේ තියෙන්නේ ‘පීපල්ස් රන් සිස්ටම්’ එකක්. ඒ කියන්නේ මිනිසුන්ට ඕන විදියට ක්‍රියාවලිය හැඩගැස්සවීම. මේ නිසා සිස්ටම් එක දවසින් දවස වෙනස් වෙනවා. අපිට ඕන සිස්ටම් එකකට මිනිස්සු තල්ලු කරවන්න. එ්කයි අපි විශ්වවිද්‍යාලවලට ලියාපදිංචිය පවා ‘ඔන්ලයින්’ කළේ. මේ විදියට ණය නොගෙවපු පිරිසගේ නම් ප්‍රසිද්ධ කිරීමත් යම් ක්‍රියාවලියකට අනුගත කරන්න ගත්ත පියවරක්.’’

මේ වෙනකොට ලබාගත් ණය මුදලට පොලී එකතු වී 2017. 12. 31 වන විට ගෙවිය යුතු මුදල තවත් වැඩි වී ඇත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පුවත්පත් දැන්වීමේ සඳහන් නම්වලින් කිහිපයක් සහ ඔවුන් ගෙවිය යුතුව තිබෙන මුදල අපි මෙසේ සදහන් කරමු. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ජේ. ජෙයමලර් රු. 26,494,958. ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කේ. බී. ඩී. ජී. සමරජී රු. 24,865,027. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ටී. තනරාජ් රු. 23,569,302. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පී. ජයකුමාර් රු. 16,111,185. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ටී. එම්. කරුණාරත්න රු. 13,778,818. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ එස්. උමාශංකර් රු. 12,977,288. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බී. ආර්. එම්. එන්. රත්නායක රුපියල් 10,858,707. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ටී. බී. අබේසේකර රු. 9,518,874. මොරටුව විශ්වවිද්‍යාලයේ ජී. ප්‍රතීපන් රු. 8,679,585.

ණය ගෙවීමට ඇති දමිළ උගතුන් ප්‍රමාණය සාපේක්ෂ ලෙස වැඩිය. මේ අතරින් බොහෝමයක් මේ වන විට විදේශ රටවල පදිංචි වී ඇති බව දැන්වීමේ සඳහන් ලිපිනයන්ගෙන් පෙනී යයි. ඇතැම් විට ශ්‍රී ලංකාව සමග තිබූ සියලු සබඳතාද ඔවුන් නවත්වා තිබෙනවා විය හැක. දැන්වීමට අනුව (ආසන්නව) මිලියන 26 ගෙවීමට ඇති වැඩිම මුදලය. මිලියනයකට ආසන්න මුදලක් ගෙවීමට ඇති පිරිස අඩු අතර මිලියන දෙකකට වඩා ගෙවන්න ඇති පිරිස වැඩිය.

ශ්‍රී ලංකාවෙන් තම අධ්‍යාපනය ලැබූ මේ බොහොමයක් දෙනා මේ වන විට සේවය කරන්නේ විදේශ රටවලටය. ඔවුන්ගේ සේවය හිමි වන්නේ ඉගෙනගත් රටට, මව් රටට නොව වෙනත් රටවලටය. මේ සමහරුන් විදේශ රටවල කථිකාචාරයවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් විය හැක. ඔවුන් උපයන්නේ ඉතා ඉහළ ආදායම් විය හැක. එසේනම් ඔවුන්ට මේ මුදල ගෙවීමට අපහසු නැත. සමහරවිට ඔවුන් හිතාමතාම කරන්නේ වංචාවක් නම් ඔවුන් වංචාකරුවන් දේයදේශ ද්‍රෝහීන් ලෙස හැඳින්විය හැක. බුද්ධි ගලනයෙන් සේම මෙලෙස විශාල මුදල් ප්‍රමාණයක් අහිමි වීමෙන්ද රටට විශාල හානියක් සිදු වේ. ඔවුන් වංචා කරන්නේ තමන්ට උගන්වන්නට වෙහෙස වූ ජනතාවගේ ධනයයි. මතු අධ්‍යාපනය ලබන්නට සිටින පරපුරු වෙනුවෙන් වැය කරන්නට ඇති ධනයයි. අධ්‍යාපන දාර්ශනිකයකු වූ ප්ලේටෝ වරෙක අධ්‍යාපනය සම්බන්දයෙන් මෙසේ කීය. ‘‘අධ්‍යාපනය මගින් පූර්ණ සදාචාර වර්ධනයකින් හෙබි පුද්ගලයින් බිහි කළ යුතුය. පරමාදර්ශී පුද්ගලයන්ගෙන් සමන්විත පරමාදර්ශී සමාජයක් බිහි කිරීම එහි ප්‍රධාන ඉලක්කය විය යුතුය’’. පැරණි ලාංකිකයන් කීවේ ‘‘විද්‍යාදදාති විනයං’’ කියාය. එනම් අධ්‍යාපනය නිසා විනය, ශික්ෂණය ඇති වන බවය. අපට කොතැනක හෝ වැරදි ඇති බව ඉහත කී පුවත්පත් දැන්වීම අපට ඇඟිල්ලෙන් ඇන සිහිකර ඇත.