විශේෂාංග

විල්පත්තු සංහාරයෙන් කළේ වෙරළබඩ මර්මස්ථානවල අන්තවාදී කලාප බිහි කිරීමයි

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වුණු, ඉකුත් මාර්තු 21 වැනි පාස්කු ඉරිදාවෙන් පසුව, රටේ වැඩියෙන්ම කතාබහට ලක්වන ඇමැතිවරයා බවට පත්ව සිටින්නේ කර්මාන්ත හා වාණිජ කටයුතු සහ දිගුකාලීනව අවතැන් වුවන් නැවත පදිංචිකරවීමේ අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් ය. බෝම්බ ප්‍රහාර එල්ල කළ ‘තව්හිත් ජමාත් කල්ලිය’ සමග ඔහුට යම් යම් සම්බන්ධතා ඇතැයි චෝදනා එල්ල වීම, ඊට හේතුවයි.

මේ කාරණය පදනම් කර ගනිමින් දැන් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ. එයින් ජාතික තලයේ දේශපාලනය ද උණුසුම් වනු පෙනෙන්නට තිබේ.

රිෂාඩ් බදියුද්දීන් කවදත් විවිධ උණුසුම් මාතෘකාවලට නම ගෑවෙන දේශපාලනඥයෙකි. කලක් තිස්සේම, ඔහුට චෝදනා එල්ල වන සුවිශේෂ කාරණයක් තිබේ. ඒ, විල්පත්තු වන සංහාරයයි. විශාලත්වය සහ වන සත්ත්ව ගහනය අතින් ලංකාවේ ප්‍රකටතම ජාතික වනෝද්‍යානයක් වන විල්පත්තුව, එක් පැත්තකින් වයඹ මුහුදෙන් ද, අනෙක් පැත්තෙන් අනුරාධපුරය, මන්නාරම සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට ද මායිම් වුණු මහා වනෝද්‍යානයකි. එය හෙක්ටයාර් 1,31,693.7ක් පුරාවට පැතිරුණු වන භූමියකි. විල්පත්තුවට අයත් වනය කොටසින් කොටස අනවසරයෙන් කපා, එළි පෙහෙළිකර, වයඹ වෙරළාසන්නයේ මුස්ලිම් ජනාවාස තීරුවක් බිහි කළාය යන්න, රිෂාඩ්ට එල්ලවී ඇති ලොකුම චෝදනාවයි.

පරිසරවේදීන් පවසන අන්දමට, 2010 වසරේ පටන් ඔහු නව ජනාවාස තීරුව බිහිකර ඇත්තේ, යුද්ධයෙන් අවතැන් වුණු මුස්ලිම් ජනයා නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළක් යැයි කියමිනි. ඒ සඳහා කපා දැමුණු කැලෑ ප්‍රමාණය අක්කර තුන් දහසකට අධික ය. එය ප්‍රකටව ඇත්තේ ‘විල්පත්තුවේ මහා වන සංහාරය’ යනුවෙනි.

යුද්ධයෙන් අවතැන්වූවන් පදිංචි කිරීමට යයි කියමින්, රිෂාඩ් බදියුද්දීන් ඇමැතිවරයා වන සංහාරයක යෙදී ඇතැයි කියන ඉසව්ව හැඳින්වෙන්නේ, විල්පත්තු මහ වනයේ උතුරු මායිමේ පිහිටි ‘කල්ලාරු වන රක්ෂිතයට’ ය. එම ඉසව්ව අයත් වන්නේ, මන්නාරම දිස්ත්‍රික්කයේ ‘මුසලි’ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ය. කල්ලාරු වන රක්ෂිතය, ‘මරිච්චුකඩ්ඩෙයි/ කාරකුඩ්ඩි රක්ෂිතය’ යනුවෙන් ද හැඳින්වෙයි. එහි වන බිම් ප්‍රමාණය අක්කර 14,943කි.

පරිසරවේදීන් පෙන්වා දෙන අන්දමට, අවතැන්වූවන් පදිංචි කරනු පිණිස මරිච්චුකඩ්ඩෙයි/ කාරකුඩ්ඩි රක්ෂිතයේ අක්කර 2500ක් ද, ඊට යාබදව පිහිටි ‘විලාත්තිකුලම් රක්ෂිතයේ’ අක්කර 700ක් ද, වෙප්පාල් සහ මාවිල්ලු රක්ෂිතවලින් අක්කර සියය බැගින් ද, බලහත්කාරයෙන් අත්පත්කර ගෙන තිබේ. මේ අනුව, සංහාරයට ලක්වුණු මුළු වන බිම් ප්‍රමාණය අක්කර 3400ක් පමණ වෙතියි කියති. එම වන භූමි ප්‍රමාණය, වනජීවී සහ වන සංරක්ෂණ යන දෙපාර්තමේන්තු මගින් පාලනය වන ඒවා ය. රිෂාඩ් බදියුද්දීන් ඇමතිවරයාගේ ‘නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ’ සඳහා එම ඉඩම් අත්පත්කර ගෙන ඇත්තේ නීත්‍යානුකූලව ද නොවේ!

විල්පත්තු වනාන්තරය, මහා පරිමාණයෙන් ඉඳුල් වෙන්නට පටන් ගත්තේ 2009 වර්ෂයේ ය. විල්පත්තුව වනය මැදින්, එළුවන්කුලම සහ මොල්ලිකුලම යා කෙරෙන සේ මාර්ගයක් ඉදි කිරීම එහි මුල් ම සිද්ධියයි. මාර්ගය නීති විරෝධීව ඉදිකෙරුණු බවට ද චෝදනා එල්ල විය. ඒ සඳහා කැලෑ අක්කර 300ක් පමණ එළි පෙහෙළි කරන්නට සිදු වුණු බව එකල කියැවිණි. රිෂාඩ් බදියුද්දීන් ඇමතිවරයාගේ ‘නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ’ විල්පත්තුවට කඩා වැදුණේ එයින් පසුව ය.

විල්පත්තුව වනය ආශ්‍රිතව සිදුවන දේවල් සම්බන්ධයෙන් කලක පටන්ම, තිබුණේ අපැහැදිලිතාවකි. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් පසුව යුද හමුදාව විල්පත්තුවට බැස්සේ ය. ඒ සෝදිසි මෙහෙයුම් කරන්නට ය. මේ කටයුත්ත භාරව සිටියේ වන්නි ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා යටතේ වන 54 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාරය. ඔහු ද ඔහුගේ සෙබළුන් ද විල්පත්තුවේ වන විනාශය දැක කම්පාවුහ.

මේ අතර, හමුදා නිලධාරීන් කල්පනා කළේ ‘රුක් රෝපණ ව්‍යාපාරයක්’ මගින් වැනසුණු වනය යළි පුනරුත්ථාපනය කළ යුතු බවයි. ඒ අනුව ‘දෙරණ’ මාධ්‍ය ජාලයේ ද සහාය ඇතිව මැයි 18 වැනි දා පැළ 8000 ක් රෝපණය කරන්නට යෙදුණි.
මේ කටයුතු කර ගෙන යන අතරතුර, රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් විල්පත්තුවේ වැදගත්කම කුමක්ද යන කාරණය ද යුද හමුදාවේ අවධානයට ලක් විය. මෙතෙක් කල් විල්පත්තුවේ ප්‍රශ්නය රටේ අවධානයට ලක්ව තිබුණේ හුදු ‘වන සංහාරයක්’ වශයෙනි. එහෙත් විල්පත්තුව උතුරු මායිමේ කෙරෙමින් පවතින නැවත පදිංචි කිරීම්, ඊට එහා ගිය ‘යම් උපක්‍රමික සැලැස්මක්’ අනුව සිදුව ඇති බව එහි දී යුද හමුදාවට අනාවරණය විය!

නැවත පදිංචි කිරීම් වැඩසටහන් යටතේ එළිපෙහෙළි කෙරුණු අක්කර 2100ක පමණ භූමියක, මේ වන විට නව නිවාස 1893ක් ඉදිකර තිබේ. ඒවාට ආධාර ලැබී ඇත්තේ මැද පෙරදිග රටවලිනි. එයින් නිවාස 1592ක පුද්ගලයන් 5488 දෙනෙක් පදිංචි කර ඇත. එහෙත් ඉදිකළ නිවාසවලින් 389ක් තවමත් හිස්ය. ඒවා මිනිසුන් පදිංචියකින් තොරව අත්හැර දමා තිබේ.

මේ අතර ඉකුත් මැයි 24 වැනි දා ද, ප්‍රදේශයේ තව්හිත් ජමාත් මවුලවිවරුන් දෙදෙනෙකුගේ මෙහෙයවීමෙන් නිවාස 40 ක් අලුතින් ඉදි කරන්නට ගෙපල් කපා තිබේ. එය සිදුකර ඇත්තේ ද හොර රහසිනි.

බදියුද්දීන් ඇමැතිවරයා නිවාස ඉදි කිරීම් සඳහා භූමිය තෝරාගෙන ඇත්තේ ද අමුතුම පිළිවෙළකටය. එනම්, රටේ වයඹ දිග වෙරළට රට ඇතුළතින් දිගු ‘තීරුවක’ ආකාරයට ය. එය ජනාවාස වූ විට, වෙරළත් රට ඇතුළත ගොඩබිමත් අතර ජන පවුරක් බඳු ව්‍යුහයක් බිහි වන්නේය. ඒවායෙහි පදිංචි කරවන්නේ යුද්ධයෙන් අවතැන් වුණු මුස්ලිම් ජනයා පමණය. එවිට වෙරළට ඔබ්බෙහි රට ඇතුළෙන් මහා පරිමාණ මුස්ලිම් ජනාවාස තීරුවක් ඉබේටම නිර්මාණය වේ. එය ස්ථානගත වන්නේ ‘මෝදරගම්ආරු’ ගංගාවේ සිට සිලාවතුර දක්වා වෙරළබඩ භූමි කලාපයේය. ආරක්ෂක අංශවල අය කියන්නේ මෙය යටි අරමුණක් සහිත වැඩපිළිවෙළක් වියහැකි බවය.

විල්පත්තුවේ නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ, ඔවුන්ගේ අරමුණු අනුව ක්‍රියාත්මක වුවහොත්, මන්නාරමේ සිට වෙරළ තීරය ඔස්සේ පුත්තලම දක්වා ම එකම මුස්ලිම් ජනාවාසයක් වනු ඇත්තේය.

මේ ආකාරයට විල්පත්තුව සිට පුත්තලම, හලාවත පමණක් නොව කළුතර, ගාල්ල, හම්බන්තොට කලාපයේ සිට අම්පාර, මඩකලපුව, පුල්මුඩේ, ත්‍රිකුණාමලය දක්වා නැගෙනහිර වෙරළ තීරයත්, මුස්ලිම්වරුන්ගේ ග්‍රහණයට නතුවෙමින් තිබෙන්නේය. මේ අනුව බලන කල පුල්මුඩේ සිට නැගෙනහිර වෙරළ තීරයත්, දකුණු වෙරළ තීරයත්, බටහිර වෙරළ තීරය ඔස්සේ මන්නාරම දක්වා වෙනම ම බලයක් ගොඩනැගෙනු ඇත.

මේ කාරණය කියවා ගත යුත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි ප්‍රදේශයේ ද, වෙනම මුස්ලිම් ජනාවාස තීරුවක් නිර්මාණය කරන්නට ගත් උත්සාහය ද සමගිනි. රිෂාඞ් බදියුද්දීන්ලා විල්පත්තුවේ කරන්නට යන්නේ ද එවන් දෙයක් විය හැකි ය. වඩා විමසිල්ලෙන් බලන කල, අපේ රටේ ප්‍රබල ආර්ථික මර්මස්ථාන පිහිටි මුහුදුබඩ නගර හැම එකක ම පාහේ මුස්ලිම් ජාතික වෙළෙන්දන් පදිංචිව සිටිනු පෙනෙයි. එය කැපී පෙනෙන කාරණයකි. ඔවුන් අතර තව්හිත් ජමාත් කල්ලියේ අය සිටිත් ද? යන්න සහ ඔවුන් කුමක් කරතියි ද? යන කාරණය මහත් ගැටලුවකි.

විල්පත්තුවේ නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ, ඇතැම් විට මන්නාරමේ සිට හලාවත දක්වාම මුස්ලිම් කලාපයක් බවට පත්කර ගැනීමේ කපටි උත්සාහයක් වන්නට ද පුළුවන.

15 වන ශතවර්ෂයේදී ලංකාව ආක්‍රමණය කළ පෘතුගීසින්ද, ඉන්පසුව පැමිණි ඉංග්‍රීසින්ද, ලංකාව ආක්‍රමණය කරන්නට පිඹුරුපත් සැකසුවේ වෙරළබඩ කලාප සියතට ගනිමින් බව ඉතිහාසය දෙස බැලීමේදී පෙනීයයි. මෙයද එබඳු උපායමාර්ගික සැලැස්මක් විය හැකි බවද ආරක්ෂක අංශ අනතුරු හඟවයි.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා