විශේෂාංග

විල්පත්තු නඩුව දිනපු පරිසරවේදියා කියන කතාව

 

යහපාලන ආණ්ඩුව පෙරළෙන්නට බලපෑ හේතූන් අතරේ තිබෙන ප්‍රධාන කාරණාවක් වන්නේ විල්පත්තුව ජාතික වනෝද්‍යාන මායිමේ කල්ආරු වනය එළිකර ජනාවාස ඉදිකිරීමය .එය  කළේ එවකට ඇමැතිවරයෙක් වූ රිෂාද් බදුයුදීන්ය. විල්පත්තුව රැකගැනීම සඳහා බොහෝ පිරිස් සමාජ මාධ්‍යවල සහ මහ පාරේ සටන් කරද්දී ‘පරිසර යුක්ති කේන්ද්‍රය’ ඒ සඳහා අභියාචනාධිකරණයේ නඩුවක් පැවැරීය. එම නඩුවේ තීන්දුව ගිය සතියේ ප්‍රකාශයට පත් වූ අතර අධිකරණය තීරණය කළේ විනාශ කළ වනය යළිත් වරක් රිෂාඩ් බදුයුදීන්ගේ පෞද්ගලික මුදලින් පැළ රෝපණය කළ යුතු බවය. මෙම නඩුව පැවරූ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ සමග කළ සංවාදයකි මේ.

විල්පත්තුව රැකගැනීම වෙනුවෙන් සමාජ මාධ්‍ය සහ මහපාරේ කළ සටන් මීට වසර කිහිපයකට ඉහතදී අපි දැක්කා. ඒ සටන ඔබ අධිකරණයට ගෙන යන්න හිතුවේ ඇයි?
මෙහෙමයි. ලංකාවේ ඔය වගේ පරිසර සටන් එකක්වත් මහපාරේ කළ අරගලවලින් විසඳිලා නැහැ. මම දැන් වසර තිහක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ වැඩ කරනවා. අපිත් මහපාරේ සටන් කරලා තියෙනවා. එක්දහස් නවසිය අනූ එකේදී එප්පාවල ප්‍රශ්නය වෙලාවේ දස දහසක් විතර කොළඹට අරන් ආවා. කණ්ඩලම සටන වෙලාවේ පහළොස් දාහක් විතර දඹුල්ලට ගෙනිච්චා. වොයිස් ඔෆ් ඇමරිකා එකට එරෙහිව කෑ ගැහුවා. නොරොච්චෝලෙට එරෙහිව සටන් කළා. ඒ සටනේදී එක්කෙනෙක් මැරුණා.
එවන් සටන්වලින් ඵලක් නැති බවද ඔබ කියන්නේ?
ඔබ එහෙම තේරුම් ගැනීම වැරැදියි. එහෙම සටන් හොඳයි, ඒවට ඇහුම්කන් දෙන දේශපාලනඥයෝ, පාලකයෝ ඉන්න රටවලට. ප්‍රජාතන්ත්‍රවාදය සැබෑවට පවතින රටවලට. අනෙක් කාරණය තමයි ඔය වගේ උද්ඝෝෂණවලින් මෑතකාලීනව වෙච්ච දෙයක් තමයි යම් යම් දේශපාලන පක්ෂ ඔවුන්ට වාසි ගැනීම. එහෙම දේශපාලන පක්ෂවලට ඕනි පරිසරය ආරක්ෂා කරගන්නවත්, සිදුවෙලා තියෙන ගැටලුවට සාධාරණය ඉටු කර ගන්නවත් නෙමෙයි.
විල්පත්තු නඩුවේ මූලික දේවල් සිද්ධ වුණේ කොහොමද? කවුද ඔබට එයට සහය වුණේ?
එක්දහස් නවසිය අනූ එකේ ඉඳලා දෙදහස් හතර වෙනකම් මම වැඩ කළේ පරිසර පදනමේ. දෙදහස් හතරේ අපි කිහිප දෙනෙක් ඉන් ඉවත් වෙලා පරිසර යුක්ති කේන්ද්‍රය ආරම්භ කළා. නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේත් එහෙම ආපු කෙනෙක්. ඔහු තමයි විල්පත්තු නඩුවත් අපේ පාර්ශ්වයෙන් අධිකරණයේදී මෙහෙය වූවේ. පරසර යුක්ති කේන්ද්‍රය ආරම්භ කරනකොටම, පරිසර ප්‍රශ්නවලදී නඩු යනවා කියන එක අපේ ප්‍රමුඛ ඉලක්කයක් සහ අරමුණක් වුණා. මේ නඩුවට කලින් පරිසර ප්‍රශ්න ගණනාවකදී අපි අධිකරණය ඉදිරියට ගිහින් තියෙනවා.
විල්පත්තුව ආශ්‍රිතව ගැටලුවක් තියෙන බව ඔබලා අඳුන ගත්තේ කොයි කාලෙද?
දෙදහස් නවය අවුරුද්දේ විතර ඉඳලා අඳුන ගත්තා. දෙදහස් නවය, දහය, එකොළහ වසරවල අපි මේ ගැන අධ්‍යයන ආරම්භ කළා. දෙදහස් දහතුන, දාහතර අවුරුදුවල තමයි කැලෑව වැඩිපුරම කපන්න ගත්තේ. බන්දුල බඹරැන්ද සහ සජීව චාමිකර එක්ක මම මේ විනාශය බලන්න ගියා. එවකට පුත්තලමේ හිටිය සහකාර පොලිස් අධිකාරිවරයා අපට කිව්වා මඩු ප්‍රදේශයේත් කැලෑව කපනවා කියලා. අපි මඩුත් ගියා.ඔය ගමනෙන් පස්සේ නඩුව දාන්න අවශ්‍ය තොරතුරු සෑහෙන ප්‍රමාණයකින් සම්පූර්ණ කරගත්තා.
කැලෑ කපපු ප්‍රදේශවල කී වතාවක් සංචාරය කළාද?
කීප සැරයක්ම ගියා. අන්තිමට ගියේ පසුගිය ආණ්ඩුව කාලේ. දෙදහස් දහනමයේ.මේ නඩුව මුලින් අහපු විනිසුරුවරයා තීන්දුව දෙන්න බෑ කියලා කිව්වටත් පස්සේ. අපි එදා යද්දි සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා උදාගමක් හදන්න මුල්ගල තියලා. ඒ ආශ්‍රිත කැලෑවත් සෑහෙන ප්‍රමාණයකට කපලා. අපි එයත් ඡායාරූප අරන් ඇවිත් අධිකරණයට දැනුම් දුන්නා. ඊට පස්සේ සජිත් ප්‍රේමදාසගේ අමාත්‍යාංශ පාර්ශ්වයෙන් අධිකරණයට දැනුම් දුන්නා එය නවත්වනවා කියලා. උදා ගම්මානය හදන්න තවදුරටත් කැලෑව කපන්නේ නැහැ කියලත් ඔවුන් අධිකරණයට කිව්වා.
ඔබ කළ නිරීක්ෂණයන්ට අනුව මෙම වන විනාශයේදී වැඩිපුරම කපලා තිබුණේ මොන ගස්ද?
මේක වියළි කලාපීය වනාන්තරයක්. එවන් වනාන්තරවල තියෙන පලු සහ වීර ගස් තමයි වැඩිපුරම කපලා තිබුණේ. කළුවර ගසුත් කපලා තිබුණා.
කපපු ඔය ගස්වලට මොනවා වෙන්න ඇද්ද?
මෙහෙමයි. සාමාන්‍ය මිනිස්සු ගස් කැපුවා. හැබැයි ඒ මහා පරිමාණයෙන් නෙමෙයි. මහා පරිමාණයෙන් ගස් කපලා තිබුණේ ඩෝසර් එහෙම යොදාගෙන. රාජ්‍ය දැව සංස්ථාවෙන් කියලා තිබුණා ඔවුන් එයට සම්බන්ධ වුණේ නැහැ කියලා. ඔවුන් එයට සම්බන්ධ වුණේ නැත්නම් වෙනත් පාර්ශ්වයක් අතට ඒවා යන්න ඇති. කොහොම නමුත් එහි පාරවල්වලට තාර දැම්මේ, බෝක්කු හැදුවේ මාර්ග සංවර්ධන අධිකාරියෙන්. විදුලිය දුන්නේ විදුලිබල මණ්ඩලයෙන්. එහි ජනතාව පදිංචි කරවීමේ ක්‍රියාවලියට ඒ වගේ රාජ්‍ය ආයතන ගණනාවක් සම්බන්ධ වෙලා හිටියා.
මෙම නඩුව පැවැරීමේදීත් ඉන් පසුවත් මුහුණ දෙන්න වුණු දුෂ්කරතා මොනවාද?
අධිකරණයක නඩුවක් ගොනු කරන එක සරල කාරණාවක් නෙමෙයි. මෙම නඩු තීන්දුව විවේචනය කරන අය දිහා බැලුවම පේන්නේ ඔවුන් පොලිසියකටවත් ගිය අය නෙමේ කියලයි. නඩුවකට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ සත්‍ය තොරතුරු. එහෙම තොරතුරු හොයාගන්න අපිට සෑහෙන්න මහන්සි වෙන්න වුණා.
එයට නිදසුනක් විදියට කියනවා නම් අපට හොයාගන්න පුළුවන් වුණා නැවත පදිංචි කළ අයගේ නාම ලේඛනයක්. හැබැයි ඒ ලේඛනයේ හරියට නම් නැහැ. හැඳුනුම්පත් අංක නැහැ. එකම හැඳුනුම්පතේ අංකය දෙතුන් දෙනකුට තියෙනවා. පුද්ගලයන් එක්දහස් පන්සියයකගේ විතර නම් ඒ ලැයිස්තුවේ තිබුණා. අපට ඉන්නේ බොහොම සුළු මුදලකට මහජන නඩුකර කරන නීතිඥවරු. හැබැයි අපේ ප්‍රති පාර්ශ්වය වෙනුවෙන් පෙනී ඉන්නේ ඉතා ඉහළ මුදලක් අය කරන ජනාධිපති නීතිඥවරු. තවත් ලොකුම අභියෝගයක් තමයි ලිඛිත සාක්ෂි හොයාගෙන අධිකරණයට ඉදිරිපත් කරන එක.මොකද රජයේ නීතිඥවරු තර්ක කරන්නේ ඔවුන් හරි අපි වැරදියි කියන තැන ඉඳන්. නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයා කිව්වේ මෙතන දැන් මිනිස්සු පදිංචි කරලා ඉවරයි, ඒ නිසා මේ නඩුව අහලා වැඩක් නැහැ කියලා. බදුයුදීන්ගේ නීතිඥයෝ එන්නෙත් ඔවුන් හරි අපි වැරදියි කියන තැන ඉඳන්. එතකොට රජය සහ පරිසර විනාශකරුවා යන පාර්ශ්ව දෙකම එක පැත්තේ. අපි තනිවම සටන් කළේ එයට එරෙහිව.
මෙම නඩු තීන්දුවේ එක් තැනක සඳහන් වෙනවා පෙත්සමෙහි අදාළ අත්‍යවශ්‍ය පාර්ශ්වකරුවන් නම් කරලා නැහැ කියලා. එසේ නම් නොකිරීමෙන් පෙත්සමෙන් ඉල්ලලා තියෙන සහනයක් වන අදාළ රක්ෂිතයේ නිවාස ඉදිකිරීමෙන් එකේ සිට හය දක්වා වන වගඋත්තරකරුවන් ගත් තීරණය බල රහිත කරන රිට් ආඥාව නිකුත් කළ නොහැකියි කියලා. ඇයි අත්‍යවශ්‍ය පාර්ශ්වකරුවන් නම් නොකළේ?
ඔතන ඔය පාර්ශ්වකරුවන් කියන්නේ පදිංචි කරවපු මිනිස්සු. මම කලිනුත් කිව්වා එහෙම පදිංචි කරවපු අයගේ ලැයිස්තුවක් අපි සොයා ගත් බව. පුද්ගලයන් එක්දහස් පන්සියයකගේ විතර ලැයිස්තුවක්. කලිනුත් කිව්වා වගේ ඒකේ නම් හරියට නැහැ. අයි.ඩී. නම්බර්ස් නැහැ. එහෙම මිනිස්සු ටිකක් පාර්ශ්වකරුවන් කළා නම්, ඒ හැමෝටම නොතීසි නිකුත් කරන්න වෙනවා.
නිවැරදිම තොරතුරු නැති බහුතරයක් ඇතුළත් එක්දහස් පන්සියයකට නොතීසි බාර දෙන්න යන එකත් ගැටලුවක්. එහෙම වුණා නම් නඩුව අවුරුදු ගාණක් ඇදි ඇදී යන්න ඉඩ තිබුණා. ඒ නිසා අපට තීරණයක් ගන්න වුණා එහෙම ඇදි ඇදී යන විදිහට නඩුව ගොනු කරනවද, නැද්ද කියලා.
අනෙක් කාරණය තමයි ඒ මිනිස්සු වැරදි නැහැ. නොමිලේ ඉඩමක් දෙනවා කිව්වහම කවුරුත් ගන්නවා. නීති විරෝධීව එහෙම ඉඩම් දෙන්න මැදිහත් වුණු දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් තමයි සැබෑ වැරදිකරුවෝ.
නඩු තීන්දුවේ තව තැනක තියෙනවා රිෂාඩ් බදුයුදීන්ට එරෙහිව පෙත්සම්කරුවන් සෘජුවම නියෝගයක් ඉල්ලා නැති බව. ඇයි එහෙම ඉල්ලුවේ නැත්තේ?
අපි මේ නඩුවෙන් ඉල්ලුවේ රිට් එකක්. අභියාචනයකින් ඉල්ලන්නේ යම් රජයේ ආයතනයක් කරපු දෙයක් වැරදියි කියන්න හෝ නොකර හැරීමක් කරවා ගැනීමට. අපි මේ නඩුව හරියට තේරුම් ගන්න ඕනි. මහෙස්ත්‍රාත් උසාවියකට හරි දිස්ත්‍රික් මහාධිකරණයකට හරි නොගිහින් අපි අභියාචනාධිකරණයේ නඩු පැවරුවේ එය පදනම්ව. අපි කිව්වේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යම් වරදක් කරල තියෙනවා එය නිවැරදි කරන්න කියලා.
නීතිමය බලය තියෙන්නේ රාජ්‍ය ආයතනවලට. අපි වෙනසක් කරවා ගැනීමට උත්සාහ කරන්නේ රාජ්‍ය ආයතන හරහා. මෙතන වන සංරක්ෂක ඉන්නවා. ඔහු වැරදි දෙයක් කරලා තියෙනවා. දිස්ත්‍රික් ලේකම් ඉන්නවා. ඔහුත් වැරදි දෙයක් කරලා තියෙනවා. පුරාවිද්‍යා කොමසාරිස් ඉන්නවා. ඔහු නොසලකා හැරීමක් කරලා තියෙනවා. වනජීවි සංරක්ෂක ඉන්නවා. ඔහුත් නොසලකා හැරීමක් කරලා තියෙනවා.
පළමු වර නඩුව අහලා තීන්දුව දෙන්න බෑ කියලා විනිසුරු ඉවත් වුණු බව ඔබ දන්නවා. දෙවැනි වර නඩුව අහද්දී විනිසුරුවරු අපේ පාර්ශ්වයෙන් ඇහුවා බදුයුදීන්ට චෝදනා එල්ල කරනවද කියලා. අපේ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ කිව්වා අපි සෘජුව චෝදනා එල්ල කරන්නේ නැහැ කියලා. හැබැයි වන සංරක්ෂණ පනත උල්ලංඝනය කරන්න අනුබල දෙන්නාද වරදකරුවෙක් බව එම පනතේ සඳහන් වෙනවා. එයට අනුව බදුයුදීන් අනුබල දීමේ වරද කර ඇති බව අපි පෙන්වා දුන්නා. ඒ අනුවයි ඔහු හත්වෙනි වගඋත්තරකරු විදියට නම් කළේ.
නඩු තීන්දුව අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යළි ගස් සිටුවීමට මාස දෙකක් තුළ ඇස්තමේන්තුවක් සකස් කළ යුතුයි. ඔවුන් එය කරන ආකාරය ‘පරිසර යුක්ති කේන්ද්‍රය’ නිරීක්ෂණය කරනවාද?
ඔව්. අනිවාර්යයෙන්ම. මම ඔබට එයට හොඳ උදාහරණයක් කියන්නම්. අපි උමා ඔය නඩුව දැම්මේ දෙදහස් පහළොව අවුරුද්දේ. උමා ඔය උද්ඝෝෂණ අවුරුද්දක් දෙකක් යද්දී හැමෝම අතෑරලා දැම්මා. මේ වෙනකොට සමන්ත විද්‍යාරත්නත් මේක අතෑරලා.
හැබැයි අපේ නඩුව හරහා විනිසුරුවරු ඇහුවා මොකක්ද එතැන ප්‍රධාන ප්‍රශ්නය කියලා. අපි කිව්වා මිනිස්සුන්ට වතුර නැහැ කියලා. වහාම වතුර දෙන්න කියලා මිලියන පන්සීයක ව්‍යාපෘති තුනක් ඇති කළා. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද ඇහුවා. අපි කිව්වා මිනිස්සුන්ට වන්දි නැහැ කියලා. ඒ වගෙම ගෙවල් කුලී ගෙවන්න ඕන කිව්වා. අපේ නඩුව හරහා මේ වනවිට මිලියන හත්දහසකට වඩා උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත්වුණු ගම්වල මිනිස්සුන්ට අරන් දීලා තියෙනවා. එහෙම වන්දි හම්බ වුණෙත් සීයට විසිපහකට විතරයි. අපි අදටත් අධිකරණයට ගිහින් වන්දි නොලැබුණු අනෙක් මිනිසුන් වෙනුවෙන් සටන් කරනවා.
එංගලන්තයෙන් ගෙනාපු කුණු කන්ටේනර් ටික ආපහු ගෙනියන්න කියලා පසුගියදා නියෝග කළා. මම මේ දවස්වල මොනිටර් කරනවා ඒ කන්ටේනර් අරන් යන නැව් කොහෙටද යන්නේ කියලා. අපි දාන හැම නඩුවක් ගැනම ඒ විදියට පසු විපරම් කරනවා.
අනෙක් කාරණය තමයි ඇස්තමේන්තුව හදන එක විතරක් නෙමෙයි ඊට පස්සේ ගස් හිටවන එකත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක්. ඔබ කොහොමද එයට මැදිහත් වෙන්නේ?
වනාන්තරයක් වවනවා කියන්නේ ගස් ටිකක් හිටවලා එනවා වගේ සරල කාරණයක් නෙමෙයි. ඒක විශාල කාර්යභාරයක්. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එය නිවැරදිව කරනවද කියලා අපි නිරීක්ෂණය කරනවා. ඔවුන් නිවැරදිව කටයුතු නොකළොත් අපි නැවත අධිකරණයට යනවා.
නැවත වගාව ඒ භූමියේම කළ යුතුයි කියලද ඔබ හිතන්නේ? නැත්නම් වෙනත් ප්‍රදේශවලත් වගා කරන්න වේවිද?
මේ නඩු තීන්දුවට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නම් පුළුවන් පදිංචිකරුවන් ඉවත් කරන්න. හැබැයි ඒක ප්‍රායෝගික දෙයක් නෙවෙයි. පවුල් එක්දහස් පන්සියයක් විතර වෙන තැනකට ගෙනිහින් පදිංචි කරන එක ලේසි නැහැ. අනෙක ඒ මිනිස්සු හිටවපු පොල් ගස් වගේ වගාවන්වල ඵලදාවත් ලැබෙන්න පටන් අරන්.
කොහොම නමුත් විනාශ කළ වනයෙන් සියයට පනහකවත් මිනිස්සු පදිංචි කරලා නැහැ. තවත් සමහර මිනිස්සු ගෙවල් දොරවල් අතහැර දාලා ගියා පහසුකම් නැති කම නිසා. ඒ ඉඩම්වලත් නැවත වන වගාව කරන්න පුළුවන්. එහෙම බැලුවාම කපපු ඉඩම්වලින් තුනෙන් එකක වගේ තමයි දැන් මිනිස්සු පදිංචි වෙලා ඉන්නේ. ඉතිරි තුනෙන් දෙකම වන වගාව කරන්න පුළුවන්. ඊට අමතරව තවත් ස්ථාන සොයාගෙන වන සංරක්ෂණයට එකතු කරගත යුතුයි.