කතුවැකි

විමල් හොඳයි කීවත් වැරදියි සාගර හොඳයි කීවත් වැරදියි

විමල් වීරවංස සහ පොහොට්ටුවේ ගැටුමෙන් ගිය සතියේ රට ඇවිළී ගියේය. එය රසබර එකක් මිස හරබර වූවක් නම් නොවේ.

මේ සටන ඉබේ ඇවිළුනාක් සේ පෙනුණාට එසේ හදිසියේ ඇවිළුනක් නොවේ. මේ සටනට අතීතයක් තිබේ. අනාගත බලාපොරොත්තුවක්ද තිබේ.
අතීතය ඇරැඹෙන්නේ මහින්ද රාජපක්ෂ පරාජය වී 2015 ගෙදර යාම සමගය. ජනපති මන්දිරය අතහැරි මහින්ද ගෙදර ගියේ දශ ලක්ෂ ගණනක් ජනතාවත් තමන්ගේ පැත්තට අරගෙනය. හිටපු නායකයාට වඩා ගෙදර ගිය මහින්දට ජනතා ගරු සැලකිලි ලැබෙන්නට විය. තංගල්ලේ කාල්ටන් නිවස ඉදිරිපිට දහස් ගණනින් දිනපතා පෝලිම් ගැහී මහින්ද වන්දනාමානයක් පටන් ගැනිණි.

ගඟ ගැලුවාට වැඩක් නැත. එයින් වැඩක් ගන්නට වේලි බැඳ එක අරමුණකට රැස් කරන්නට ඕනෑය. ජන ගඟද එසේමය. ඒ වෙද්දී බොහෝ දෙනෙකුන් කීවේ වසර දෙකක් යනතෙක්වත් මහින්ද ගෙදර සිටිය යුතු බවය. ටික කාලයක් දේශපාලනයෙන් ඈත්ව ඉන්නා විට ජනතාව ඇවිත් මහින්දව රජ ගෙදරට කැන්දාගෙන යනු ඇතැයි හිතවත් පාර්ශ්ව පවා කීය.

පරාජය වී මාස තුනක් යන්නටත් මත්තෙන් විමල් වීරවංසත් උදය ගම්මන්පිලත් එක්ව ‘මහින්ද සුළඟ’ නිර්මාණය කළෝය. නුගේගොඩ ආනන්ද සමරකෝන් රඟහල පිහිටුවූවාට පසු ඒ මත රැස් කෙරුන දැවැන්තම ජන රැලිය ‘මහින්ද සුළඟ’ බවට විවාදයක් නැත.

එයින් පසු එළඹුණේ 2015 අගෝස්තු මහ මැතිවරණයය. ඒ වන විට මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේනට භාර දී තිබුණි. මහින්දට පක්ෂයක් ඇති. එහෙත් ජනතාවගේ පක්ෂය මහින්දය. තවත් විදියකින් කීවොත් මහින්ද පක්ෂයකට වඩා ලොකුය.
2015 අගෝස්තු මහ මැතිවරණය මහින්ද ඉල්ලිය යුත්තේ කවර පක්ෂයකින්ද යන උභතෝකෝටිකය පැන නැගිණ. මහින්දටත් මහින්ද ඉදිරිපත් කරන අපේක්ෂකයින්ටත් ශ්‍රීලනිපයෙන් නාමයෝජනා ලැබේද නැද්ද යන ගැටලුව ඡන්දයට නාමයෝජනා දෙන්නට දිනය ළං වෙන තෙක් විසඳී නොතිබිණි. මේ නිසා බැසිල් රාජපක්ෂ දුරදිග සිතමින් පොහොට්ටුව ලකුණ දරන පක්ෂය ආරම්භ කර තිබිණ. ශ්‍රීලනිපයෙන් නාමයෝජනා නොලැබෙන්නේ නම් පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට සිදු වෙන තැනට වැඩ කටයුතු පෙළ ගැසෙමින් තිබිණ.

එහෙත් විමල්, උදය, දිනේෂ්, වාසු ඇතුළු පක්ෂ සිටියේ මහින්ද ශ්‍රීලනිපයෙන්ම ඡන්දය ඉල්ලිය යුතුය යන මතයේය. පොහොට්ටුවකින් ඉල්ලීම ගැන කාටත් තිබුණේ අකමැත්තකි. මේ කාගේත් අදහස් පරිදි මහින්ද ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලැබ ඡන්දයට ඉදිරිපත්ව ආසන 95ක් දිනා ගත්තත් විපක්ෂ නායකකමවත් ගන්නට ශ්‍රීලනිපය මහින්දට ඉඩ දුන්නේ නැත. ශ්‍රීලනිප මන්ත්‍රීවරු ඡන්දෙ ඉල්ලුවේ යහපාලන ආණ්ඩුවට එරෙහිවය. ශ්‍රීලනිපයෙනි. එහෙත් ශ්‍රීලනිපය සිටියේ යූඑන්පීය සමග යහපාලන ආණ්ඩුවේ බැවින් කිසි හිරිකිතක් නැතිව මහින්ද අතහැර මන්ත්‍රීවරු ආණ්ඩුවේ ඇමැතිකම් ගත්හ. මහින්ද තනි කෙරිණ.

තමන් අසු වූ උගුල තේරුම් ගත් මහින්ද පාර්ශ්වය වහ වහා පොහොට්ටුව පක්ෂයක් ලෙස ගොඩ නගන්නට සූදානම් විය. එහෙත් පොහොට්ටුව පක්ෂය හදන්නට විමල් වීරවංස කැමැති වූයේ නැත. මහින්ද සුළඟ වේදිකාවේ පොහොට්ටුව ලකුණ රැගත් කොඩියක් එල්ලන්නටවත් විමල් ඉඩ දුන්නේ නැත. ඔහුගේ අදහස වූයේ මහින්ද ඒකාබද්ධ විපක්ෂය ය​ටතේ සිටිය යුතු බවත් ඡන්දය ඉල්ලිය යුත්තේ තමන්ගේ පක්ෂය යටතේ බවත්ය. තම පක්ෂය ඒ වෙනුවෙන් පුදා මහින්දව යළි ගෙන ඒමට එබඳු පරිත්‍යාගයක් කිරීමට තරම් ඔවුන් උදාර විය.

මේ පරිත්‍යාගයන් සංවේදීය. එහෙත් දේශපාලනඥයන් මේවා කරන්නේ සංවේදිකමට නොවේ. එසේම දේශපාලනඥයකු මෙබඳු උසස් පරිත්‍යාග භාර නොගන්නේ ගුණමකුකම නිසාද නොවේ. දරුවකු දුටු මතින් හද උණුවෙන උන් වඩාගෙන සුරතල් කරන හදවත් මෙබඳු පරිත්‍යාග හමුවේ උණුවන්නට ගියහොත් බඩු බනිස් වන බව අත්දැකීම් ඇත්තෝ දනිති.

යම් හෙයකින් මහින්ද විමල්ගේ පක්ෂයෙන් නාමයෝජනා ගෙන ඡන්දෙට ගියා නම් වන දේ තේරුම් ගන්නට බොහෝ සෙයින් ඔළුව වෙහෙසන්නට වුවමනා නැත. අලුතින් පක්ෂයක් පිහිටවුවහොත් රාජපක්ෂලාව පාරේ ඇවිද්දවනවා යැයි ජනාධිපති මෛත්‍රී තර්ජනය කළේය. පොහොට්ටුව පක්ෂය පිහිට වුවද මහින්ද ශ්‍රීලනිපය අත්හලේ නැත. ශ්‍රීලනිප නායක මෛත්‍රී මහින්දව පක්ෂයෙන් නෙරපන්නේ නැතිව තියා ගත්තේද පණ නැතිකම නෝංජල්කම නිසා නොවේ. මහින්ද නෙරපුවොත් වෙන දේ දත් නිසාය. ඒ පක්ෂයට තිබුණ සංසාරික බැඳීමද නොවේ. පොහොට්ටුව පක්ෂය පිහිටුවා ශ්‍රීලනිපය හැර නොගිය මහින්ද ශ්‍රීලනිප පක්ෂ නායකයාගේ අගමැතිකමද ලද්දේය. අගමැතිකම ලත් දාට පසුදා මහින්ද කළේ තමන්ට අගමැතිකම දුන් ශ්‍රීලනිපය හැරදා ගොස් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීමය.

මහින්ද පොහොට්ටුව පක්ෂයක් පිහිටවනවාට අකමැති වූ විමල් වීරවංස ඇතුළු පක්ෂ නායකයෝ 2019 මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ පොහොට්ටුව මුල් කරගත් සන්ධානයකිනි. විමල් පොහොට්ටු අතේ තියාගෙන මහ ජන රැළිද අමතා වසඟ කළේය.

අද ඔහු ජනාධිපති, දේශපාලන බලවේගයක් නැතිව තනි වූ බවකින් ඉන්නා බැවින් පොහොට්ටුවේ නායකත්වය විධායක බලය හිමි ජනාධිපතිට දිය යුතු යයි යෝජනා කරයි. ඒ නරකකට නොවේ හොඳකටද නොවේ. පොහොට්ටුව පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් ඇතුළු පිරිස විමල්ව පතුරු ගසති. අතීතය එබඳුය. මේ ගමනේ ඒ අනාගත ඉලක්කයක් ඇත්තේ 2025ය.

දැන් මේවා තේරුම්ගත යුත්තේ යුක්තිගරුකද, නැද්ද, අයිතියක් තිබේද, නැද්ද යන පදනම යටතේ නොවේ. මේ කවුරුත් 2025 දිහා බලන්නට පෙලඹුන අනාගත ප්‍රාර්ථනා ඇති අයය යන ඇහෙනි. ඒ නිසා අප අතීතයේ ගුවන්විදුලියෙන් ඇහුණු ගීයක තනුවට අනුව මෙසේ කියා මිහිරක් විඳ ගනිමු.

විමල් හොඳයි කීවත් වැරදී
සාගර හොඳයි කීවත් වැරදී
ඒ හින්දා නංගියෙ මල්ලියෙ මම කියනෙමි,
දෙන්නම හොඳය කියා