අතන මෙතන

විමල්ට හා ගම්මන්පිලට එරෙහිව මහින්දට පැමිණිල්ලක්

වේයන්ගොඩ ඉදිකෙරුණු නව සතිපොළ පසුගිය 16 වැනි දා විවෘත කෙරුණේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂගේ අතිනි. 2015ට පෙර අත්තනගල්ල ප්‍රාදේශීය සභාව විසින් වැඩ ආරම්භ කරන ලද මෙම සතිපොළේ ඉදිකිරීම් 2015 වසරින් පසුව නවතා දමා තිබුණි.

2018 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් අත්තනගල්ල ප්‍රාදේශීය සභාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එහි ඉදිකිරීම් යළි ආරම්භ කෙරිණි. සතිපොළේ ඉදිකිරීම් කටයුතු මෙන්ම 16 වැනි දාට නියමිත විවෘත කිරීමේ උත්සවයේ කටයුතු ද පෞද්ගලිකවම සොයා බැලුවේ ප්‍රසන්නය. විවෘත කරන දිනට පෙර දින වේයන්ගොඩ ගිය ප්‍රසන්න විවෘත කිරීමේ උත්සවයේ කටයුතු සොයා බැලුවේය.

“ප්‍රියන්ත මේවා හැදුවේ කවුද කියන එක රටට රහසක් නෙමෙයි. ඒ නිසා මහින්ද මහත්තයාගේ අතින් මේවා විවෘත කරන්න ලැබෙන එක අපිට ආඩම්බරයක්’’ ප්‍රසන්න අත්තනගල්ල සභාපතිවරයාට පැවසීය. උත්සවයෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ ඇතුළු ආරාධිත පිරිසට අසල පිහිටි හෝටලයක දිවා ආහාරය සූදානම් කර තිබුණි. එම ස්ථානයේ ප්‍රසන්න, ඩුලිප්, රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග අත්තනගල්ල සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර, දොම්පේ සභාපති මිලාන් ජයතිලක, මිනුවන්ගොඩ සභාපති කුමාර අරංගල්ල, බියගම සභාපති ආනන්ද ගනේපොළ ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

එතැන සිටි සභාපතිවරුන් විපක්ෂ නායකවරයා හමුවනතුරු සිටියේ පැමිණිල්ලක් කිරීමටය. පැමිණිල්ල උදය ගම්මන්පිල සහ විමල් වීරවංශට එරෙහිවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තනිව තරග කර ජයග්‍රහණය කළ නොහැකි බවට මෙම දෙදෙනා විසින් කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් සභාපතිවරුන්ගේ නොසතුටට මෙහිදී මහින්ද වෙත ප්‍රකාශ කෙරිණි.

“උදය ගම්මන්පිල මහත්තයා කියනවා පොදුජන පෙරමුණට සීයට 40කට වැඩිය ඡන්ද ගන්න බැහැ කියලා. එහෙම කතා කරන එක වැරැදියි සර්’’ අරංගල්ල පෙන්වා දුන්නේය.

“ඒක තමයි උදයයි විමලුයි දෙන්නා හැම තැනම කිය කියා යනවා පොදුජන පෙරමුණට දිනන්න බැහැ කියලා. හැබැයි අපි පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. අපේ ජයග්‍රහණයත් හෑල්ලු වෙනවා මේ නිසා’’ මිලාන් පැවසීය.

“පොදුජන පෙරමුණට දිනන්න බැහැ කියන කිසිම කෙනෙක් තමන්ගේ පක්ෂයෙන් තනිව තරග කරලා පාර්ලිමේන්තුවට ආපු අය නෙමෙයි. හැමදාම මේ අය පාර්ලිමේන්තු ආවේ කාගේ හරි සන්ධානයකට එකතු වෙලයි. ඒ නිසා තමයි මේ අය දිනන්න බැහැ කියලා හැමතිස්සෙම කියන්නේ’’ ප්‍රියන්ත කීවේය.

“සර් මමත් මේ ගැන අවධානයෙන් හිටියේ. දැන් මෙතැන කතා කරන්න හිතුවේ සභාපතිතුමන්ලා මේ ගැන කතා කරපු නිසයි. කවුරු වුණත් පොදුජන පෙරමුණ පහත් කරලා කතා කරනවා නම් අපි ඒකට විරුද්ධයි.

මොකද සර් වෙනුවෙන් කැපවෙච්ච මිනිස්සුන්ගේ පක්ෂය තමයි පොදුජන පෙරමුණ කියන්නේ. මේ පක්ෂයේ අයිතිකාරයෝ අපි නෙමෙයි. මේ රටේ සාමාන්‍ය ජනතාවයි. සර්ගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ පක්ෂය කර තියාගෙන ගියේ සාමාන්‍ය මිනිස්සු.
2018 ඔක්තෝබර් 26 වැනි දා සර්ට අගමැති පුටුවේ වාඩි වෙන්න පුළුවන් වාතාවරණයක් හැදුණේ පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයේ දී ලබපු ජයග්‍රහණයත් එක්කයි. ඒ නිසා අපේ පක්ෂයට අපහාස කරන්න දෙන්න බැහැ. අද පොදුජන පෙරමුණට බණින අයම තමයි 2015 අගෝස්තු මහ මැතිවරණය වෙලාවේ තනිව තරග කරනවට විරුද්ධ වුණේ.

ඒ අයම තමයි රනිල්ට විරුද්ධව ගෙනාපු විශ්වාසභංගය කරේ තියාගෙන ගිහින් අපිව සවුත්තු කළේ. ඒ නිසා මේ වෙලාවේ නම් ඒ වගේ අමාරුවක සර්වත් අපේ පක්ෂයවත් පාක්ෂිකයන්වත් දාන්න අපි ඉඩ තියන්නේ නැහැ“ ප්‍රසන්න දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

“අපි නම් හිතන්නේ පොදුජන පෙරමුණට පළාත් පාලන මැතිවරණයටත් වඩා ඉහළින් ජනාධිපතිවරණයක් වුණත් දිනන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ නිසා අපි කිසිම වෙලාවක අපේ පක්ෂය අවතක්සේරුවෙන් හිතන්න හොඳ නැහැ’’ ඩුලිප් පැවසීය.

සියලු දෙනාගේ කතාබහට සාවධානව කන් දී සිටි මහින්ද රාජපක්ෂ සභාපතිවරුන් අස්වැසුවේ’’ ප්‍රසන්න ඔයාලා කලබල වෙන්න එපා. අපි මේ ප්‍රශ්න කතා කරලා විසඳගමු’’ කියාය.