විශේෂාංග

විභාගෙ විභාගෙ විභාගෙ තමයි අපේ අභාගේ

අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත දූ දරුවන්ගේ උත්තර පත්‍රවලට හරි වැරදි දාන විභාග දෙපාර්තමේන්තුවට ඓතිහාසික වැරදි ලකුණක් ගරු අධිකරණය පසුගිය සතියේ දැමුවේය.

දෝන කවීතා සඳමිණි වීරසිංහ දැරිය 2013 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට තිබුණි. ඇය එහි ඉංග්‍රීසි විෂයට A සාමාර්ථයක් බලාපොරොත්තු වුවත් ලැබී තිබුණේ ‘‘B’’ සාමාර්ථයකි. සෙසු විෂයයන් හතටම A සාමාර්ථ තිබියදීත් ඉංග්‍රීසි විෂයට B සාමාර්ථයක් තිබීම මහත් ප්‍රහේලිකාවක් විය. ඒ නිසා ඇය පළමු වර ප්‍රතිඵල පරීක්ෂා කිරීමට අයැදුම් පතක් යොමු කළේ ඉමහත් විශ්වාසයෙනි. එහෙත් පෙර තිබූ ප්‍රතිඵලයම තහවුරු කළ නිවේදනය ඇයට ලැබිණි. කවීතා සඳමිණිගේ දෙමාපියෝ දෙවන වරටද ප්‍රතිඵල පරීක්ෂා කිරීමට තරම් ධෛර්යවන්ත වූහ. එහෙත් දෙවන වරද විභාග දෙපාර්තමේන්තුව එම ප්‍රතිඵල තහවුරු කළේය. තෙවන වරද එසේමය. ඒ දෙමාපියෝ දියණියගේ ප්‍රතිඵල කෙරෙහි කෙතරම් විශ්වාසය තැබුවේද යත් ඒ පිළිබඳව පරීක්ෂණයක් සඳහා ජනාධිපතිවරයා වෙතද කාරණය යොමු කළේය. විභාග දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාටද තහවුරු කළේ එම ප්‍රතිඵලයමය. උත්සාහය අත් නොහළ සඳමිණිගේ ධෛර්යවන්ත මාපියෝ විභාග දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු මගට බැස්සෝය. අධිකරණය සඳමිණි ලියූ උත්තර පත්තරය පරීක්ෂා කළේය. සඳමිණිගේ සෙසු ප්‍රශ්නවලට නියමිත පරිදි ලකුණු ලබාදී තිබූ අතර ඉංග්‍රීසි රචනාවට ලබාදී තිබුණේ 0කි. රචනාව පරීක්ෂා කර බැලූ අධිකරණය එයට ලකුණු ලබා දිය හැකි හොඳ නිර්මාණශීලීත්වයෙන් යුතුව එය තිබෙන බව හඳුනාගෙන ඇය A සාමාර්ථයේ පිහිටුවීමට නියම කළේ විභාග දෙපාර්තමේන්තුව අසමත් බව පෙන්වමිනි.

මේ කාරණයේදී විභාග දෙපාර්තමේන්තුව හැසිරී තිබෙන්නේ මේ රටේ ඉන්නා ඉතාම අවිනීත හා ඔලමොට්ටල සිසුවා මෙනි. සඳමිණි දැරියට ඒ සාමාර්ථයට අඩුව තිබුණේ ලකුණ දෙක තුනකි. උත්තරපත්‍ර පරීක්ෂකයා රචනාවට බින්දුව දීමේදී ඇයට ඒ සාමාර්ථය අහිමිව තිබිණ. අහිමිව තිබුණාට වඩා අහිමි කර තිබුණා කීවොත් නිවැරැදිය. ඒ බව පෙනි පෙනීත් තුන්වැනි වතාවටත් විභාගය පරීක්ෂා කරද්දීත් ජනාධිපතිවරයා විමසද්දීත් විභාග දෙපාර්තමේන්තුව දරුවාට දෙන්නට තිබූ ලකුණු නොදී මග හැරීම කෙතරම් අභාග්‍යයක්ද?

මේ සිද්ධිය හමුවේ අප තුළ ඇතිවන කෝපය පිළිකුල දරාගෙන ඉන් මතු කෙරෙන ප්‍රශ්නාවලිය සාකච්ඡා මේසයට ගෙන ආ යුතුය.

මේ රටේ විභාග අපේක්ෂකයෝ විභාග දෙපාර්තමේන්තුවෙන් එවන ප්‍රතිඵල යළි පරීක්ෂාවට ඉදිරිපත් වන්නේ ඉතාම අල්ප වශයෙනි. එසේ වීමට හේතුව උත්තර පත්තර පරීක්ෂා කරන උදවිය කෙරෙහි තිබෙන විශ්වාසය නොව, ඒ පරීක්ෂාව සඳහා ඉදිරිපත් වුවහොත් තිබෙන සාමාර්ථයත් අඩු කොට එවතියි තිබෙන බියය. අතීත සිසුවන්ට ඒ පිළිබඳ තිබෙන අත්දැකීමය. ඒ අත්දැකීම නිසා එවන ප්‍රතිඵල භාර ගෙන අනාගත ගමන තීන්දු වන උසස් අධ්‍යාපනය අතහැර ගත් අසරණයෝ කොපමණ විය යුතුද?

විභාග දෙපාර්තමේන්තුව උත්තර පත්‍ර පරීක්ෂාවේදී සේම ප්‍රශ්න පත්‍ර හැදීමේදීද ආණ්ඩු පවා දණ ගස්වන අවස්ථා වෙයි. වරෙක අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් වැරදි වීමෙන් ඒ විභාගයට ඉදිරිපත් වූ සියලු සිසුන්ට ලකුණු 10 බැගින් ලබා ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට ආණ්ඩුවට සිදු විය. 2007 වසරේ පැවැති ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න පත්‍රය සැකසූ එකා තබා ඒකාගේ මහ එකාටත් උත්තර දිය නොහැකි තරම් අමාරු විය. එබඳු පළමු වරට රජයේ විභාගයකට ඉදිරිපත් වන කුඩා වුන් බෙලහීන කළ විභාග දෙපාර්තමේන්තුව වරද නිවැරැදි කර ගන්නේ ශිෂ්‍යත්වය සමත් ලකුණු මට්ටම 127 දක්වා අඩු කරමිනි.

අද විභාග ප්‍රශ්න පත්‍ර ජාවාරමකි. විභාග ප්‍රශ්න පත්‍ර සාදන්නෝ පුද්ගලික උපකාරක පන්ති දේශන පවත්වති. ඔවුහු විභාග සඳහා ඉලක්ක පොත් ලියති. ඒ පොත්වල තිබෙන කරුණුවලට වඩා වෙනස් නිවැරැදි කරුණු වුව සිසුවකු ලීවොත් ඔහු අසමත්ය. එසේ ප්‍රශ්න පත්‍ර සකසන්නන් වෙනස් කිරීම ඉතා අපහසු කාර්යයකි. නිදහස් අධ්‍යාපනය ලබා ආණ්ඩුවේ විභාගවලට හිඳගන්නෝ මේ අභාග්‍යයත් දරා ගත යුතුය. විභාගවලට ලියන්නෝ දේව ස්තෝත්‍ර කියන්නේ බාරහාර වන්නේ ඒ නිසා විය යුතුය.