අතන මෙතන

විපක්ෂයේ ගායකයා පියල්

දිලුම් අමුණුගමගේ විවාහයේ දෙවැනි ගමනේ සාදය පසුගිය සෙනසුරාදා පැවැත්වුණේ නුවර අමායා හෝටලයේදීය. මහින්ද සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරු විශාල පිරිසක් ඊට සහභාගීව සිටියහ.

පියල් උත්සවයට එන විට මහින්ද, එස්. බී, කෙහෙළිය, මහින්දානන්ද, ලක්ෂ්මන් යාපා ඇතුළු පිරිසක් සිටියේ කතාවකය.

පියල් දුටු මහින්ද කීවේ “ආ මේ එන්නේ ගායකයා” කියාය.
“ඔව් සර් මෙයා නම් නියම ගායකයා. අදත් අපට සින්දුවක් අහන්න පුළුවන්” ලක්ෂ්මන් යාප පැවසීය.
“සර්ලා කිව්වම ඉතින් සින්දුවක් නොකියා කොහොමද? පියල් පැවසීය.
මහින්ද ඇතුළු පිරිස මෙහිදී සාකච්ඡා කරමින් සිටියේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙනි.
“ආණ්ඩුව දැනටමත් වැටිලා ඉන්නේ. අපි ශක්තිමත්ව ඉස්සරහට ගියොත් තව වැඩි කලක් මේ ආණ්ඩුවට දුවන්න වෙන්නේ නැහැ” එස්. බී පෙන්වා දුන්නේය.

“ඇත්ත තමයි. බලන්න ආණ්ඩුවට කිසිම දෙයක් හරියට කරගන්න බැහැනේ. මේ ආණ්ඩුවත් එක්ක බලන කොට විපක්ෂය හරිම ශක්තිමත්” පියල් පැවසීය.

“මේක යන එන මං නැති ආණ්ඩුවක්. දෙමළ සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ එක්ක එකතු වෙලා ආණ්ඩු කරන්න ගියාම ඔහොම තමයි” මහින්ද කීවේය.

“ඒ වෙලාවේ කා එක්ක හරි එකතු වෙලා ආණ්ඩුව හදාගන්නවා කියලා හිතුවට ආණ්ඩුව කරගෙන යන කොට තමයි රනිල්ලට ර‍‍ගේ තේරෙනවා ඇත්තේ” කෙහෙළිය පැවසීය.

මංගල සාදය ඉදිරියට යන අතරතුර මහින්ද මඳක් වේලාසනින් එතැනින් නික්ම ගියේ තවත් කරන්නට කටයුතු රාශියක් තිබූ බැවිනි. මංගල සාදයේ සංගීතය වෙනස් ආකාරයකට සූදානම් කර තිබුණු නිසා බලාපොරොත්තු වූ පරිදි පිරිසට පියල්ගෙන් ගීතයක් ගායනා කරවාගන්නට ද නොහැකිවිය.