කතුවැකි

විපක්ෂයක් ආවොත් කැවුම් කිරිබත් කඤ්ඤං

ආණ්ඩුව රට ආණ්ඩු කරයි. ඒ බව පෙනෙන්නේ පාරේ දමන ටොෆි කොළය ඉවත් කිරීමේ සිට බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂය ලංකාව දෙකඩ කිරීමට මැදිහත්වන බවට දුන් මැතිවරණ ප්‍රතිඥාවට ප්‍රතිචාර දැක්වීම දක්වා කුදුමහත් සෑම දෙයකම වගකීම භාරගෙන ඇති නිසාය.

තේ හදන එකාගේ අතින් පිඟන් කෝප්ප බිඳේ. කෙතරම් සැලසුම් සහගතව වුවත් වැඩ කරගෙන යන විට ආණ්ඩුවකට වැරදීම් සිදු වෙයි. එසේම ආණ්ඩුව වැරදි පාරේ යතොත් ඊට එරෙහි වීමටද, රටේ පැවතීමට ආරක්ෂාවට හානියක්වන විට ආණ්ඩුවට සහාය දීමටද විපක්ෂයක් ඕනෑය.

මහින්ද රාජපක්ෂ නම් 2015 ජනවාරි 09 වැනිදා ගෙදර ගිය මොහොතේ සිට විපක්ෂය ලෙස තම කාරිය ඉටු කළේ ය. මැදමුලන මහ ගෙදරට ගොස් නිවසේ ජනෙල් පොල්ලේ එල්ලීගෙන කළ කතාවේ සිට ඔහු ආණ්ඩුවේ විපක්ෂය වූයේය. රටේ ජනතාව රට බේරා දෙන ලෙස ඉල්ලා සිටියේ රනිල් – සිරිසේන ආණ්ඩුව පත් කළ සම්බන්ධන් නම් විපක්ෂ නායකයාගෙන් නොව මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමෙනි. එහෙත් දැන් ජනතාවට විපක්ෂයක් නැත.

ඒ අතරේ රනිල් වික්‍රමසිංහ වෙඩි නොවදින වාහනයක්, පොලිසියේ 200 ක්, ආණ්ඩුවෙන් ඉල්ලා ඇත්තේ විපක්ෂ නායකවරයා වශයෙන් කටයුතු කිරීමට නොවේ, හිටපු අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමටය. සති කිහිපයක ඇවෑමෙන් පසු පෙළ මන්ත්‍රී පිරිසකගේ වෑයමෙන් සජිත් ප්‍රේමදාස දැන් විපක්ෂ නායක වී ඇත්තේය. දැන් මේ මහා භාරධූර වගකීම දරන්නට වන්නේ හොඳ ඩයිනමෝවක්, එංජිමක් තිබෙන බව කියූ සජිත්ටය. එම වගකීම ඔහුටද මහා එකක් වනු ඇත.

මක්නිසාද යත් අයාලේ යන හරකෙක් සිරියාවතීගේ හේනට පැන මිරිස් ගස් 12 ක් කාලා ආදී දෑ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා විනා සජිත් ජාතික වැදගත්කමක් තිබෙන කිසිවකට මැදිහත් නොවූ බව පාර්ලිමේන්තු ඉතිහාසය පෙන්වා දෙයි. හැන්සාඩ් වාර්තා ඊට සාක්ෂි සපයයි.

සැබැවින්ම ආණ්ඩුවක් වශයෙන් වගකීම් නොගත් අයගේ විපක්ෂයක් වශයෙන් වගකීම් ගනු ඇතැයි සිතිය නොහැකිය. එබැවින් දැන් විපක්ෂය වශයෙන් වගකීම ගන්නට සිදුව ඇත්තේ ජනමාධ්‍යයටය. මුහුණු පොත ඇතුළු ඉලෙක්ට්‍රොනික් මාධ්‍යයටය.

ගොනාගේ මස් වැඩේ
මනස නොවැඩේ

රටට ආදරය කරන්නෝ නැතැයි බොහෝ දෙනා මැසිවිලි නගති. එසේම සිංහලයාට දෙසතියකින් සියල්ල අමතක වන බව ප්‍රභාකරන් කියූූ නිසා එය එසේම යැයි කියා දුක් වන්නෝද වූහ.

එහෙත් එය එසේ නොවන බව දැන් පෙනේ.

රටට ආදරය ඇත්තන්ගේ නැගී සිටීම් අවස්ථා කිහිපයක් මෑත ඉතිහාසයේ දක්නට ලැබුණි. එයින් එක් අවස්ථාවක් වූයේ සුනාමි ව්‍යසන මොහොතය. වෙරළබඩ ගොඩ ගැසුණ සුන්බුන් කන්ද ඉවත් කිරීමට වසර ගණනක් ගත වෙතැයි දුටුවකුට සිතුණි. මළවුන් වළ දැමීමද අනාථ වූවන්ගේ කුස පිරවීමද අති මහත් දුෂ්කර කාර්යයක් විය. එහෙත් දෙසතියක් ගතවන විට ඒ මහා සුන්බුන් කන්ද ද දුක් වේදනා කන්දද අතුගා දැමීමට අපට පුළුවන් විය. ඒ හයිය දුන්නේ ආණ්ඩුව නොවේ, ජනතාවය. එහෙත් එදා ඇති කර ගත් හයිය දිය වී ගියේය. මීටර් සියයක් මුහුදෙන් ඈතට ගෙවල් හැදිය යුතු යැයි දුන් නියමයට එරෙහිව රාජිත නැගූ හඬත් සමගම ජාතික සමගි හැඟීම පරාජිත විය.

ඊළඟ සමගිය ඇති වූයේ ලොව දරුණුම ත්‍රස්තවාදය පරාද කිරීමේ යුද්ධයේදීය. ලෝක ආහාර හිඟය, මූල්‍ය අර්බුදය ආදී මහා අර්බුද මැද්දේ ආණ්ඩුවට යුද්ධය ජය ගන්නට පුළුවන් වූයේ ජනතාව දුන් සහාය නිසාය. යුද්ධය ජය ගත් දා ජාතියේ හදවතේ ඇති වූ අභිමානය රට ගොඩනැගීමටද දායක කර ගන්නට තිබුණි. වැලි මිරිකා තෙල් ගන්නට යකඩ විකා දිය බොන්නට තරම් හයියක් ලාංකික ජන හදවතට ලැබිණ. ගුවන්තොටුපොළවල්, අධිවේගී මාර්ග, වාරයවල්, මුහුද ගොඩකර හදන නගර මහ දේවල් නොවීය. එහෙත් ඒ අභිමානවත් බව 2015 බිඳ වැටිණ. බිඳ දැමිණ.

අද ආයෙත් ඒ අභිමානවත් මිනිසා නැගිට තිබේ. බොන වතුර බෝතල මූඩිය බිම නොදා කසළ රඳවනයක් හමුවනතුරු සාක්කුවේ දමාගෙන යන, දුම්රිය මගියෝ අපමණය. පොඩි දරුවකුටවත් ටොෆි කොළයක් බිම දාන්නට නගරයේ අම්මලා ඉඩ දෙන්නේ නැත. කුණු දාන්නට අවසර ඇත්තේ බල්ලන්ට පමණය කියා වෛර වැකි ලියූ තාප්ප දැන් තරුණ ප්‍රජාව අතින් පිරිසිදු වෙයි. ඒවායේ වීර විකුම් ඇති අතීතයක සිතුවම් ඇඳේ. මේ ඇඳෙන්නේ චිත්‍ර නොව හදවතේ රටට තියෙන ආදරයයි. අපේ රටට කලඑළියට රුවට, ගුණට තියා ගන්න ඕනෑ කියන හැඟීම ඇත්තේ තරුණයන්ටය.

මේ මහා අභිමානවත් තැනීමට සිනාසෙන හරීන් ප්‍රනාන්දු මේවා ගොං ජෝක් බව කියා තිබිණ. ගොනා කෙබඳු දැයි බුදුන් දෙසා ඇත.

මස්සානං වඩ්ඪති
මනසානං නවඩ්ඪති
මස් වැඩේ – මනස නොවැඩේ. දෙමළේ ද එබඳු අදහසක් ඇති කියුමක් ඇත.
මෝඩයා තල් ගසක් සේ වැඩේ.