කතුවැකි

විදේශ උපාධි ආයතන නියාමනය කළ හැකිද?

පසුගිය සිකුරාදා (10වැනිදා) අප මෙම තීරයේ සටහන් කළේ මෙරට උසස් අධ්‍යාපනයේ අර්බුදය සම්බන්ධයෙනි. ඒ අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස වාර්තා වූ ඛේදජනක සිද්ධියක් මුල්කරගෙන අද මෙම සටහන තබන්නට සිදුව තිබේ.

අසර්බයිජානයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හැදෑරීමට ගිය ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනකු එහිදී මරණයට පත්වූ අවාසනාවන්ත පුවත වාර්තා වූයේද පසුගිය සිකුරාදා (10වැනිදා) මය. වර්තමානයේ මෙරට සිටින බොහොමයක් සිසුන් හා දෙමාපියන්ගේ සිහිනය වී තිබෙන්නේ විදේශ උපාධියක් බව අපි පසුගිය සිකුරාදා පෙන්වා දුන්නෙමු. අසර්බයිජානයේදී මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරුව ඇත්තේ ඒ රැල්ලට හසුවූ අපේ රටේ දරුවන් තිදෙනෙකි.

මේ පුවත ඇසූ බොහෝ දෙනකුට මතුවූ පළමු ප්‍රශ්නය වූයේ අසර්බයිජානය යනු මේ ලෝකයේ පිහිටි රටක්ද යන්නය. එය මේ ලෝකයට අයත් රටක් බව තහවුරු කරගත් පසු ඔවුන්ට දැනගන්නට අවශ්‍ය වූයේ එය පිහිටා ඇත්තේ කොහේද යන්නය. කෙසේ හෝ වේවා මෙයින් තහවුරු වන්නේ අපේ දරුවන් අසර්බයිජානය වැනි වැඩි දෙනකු නොදන්නා රටවලට පවා උසස් අධ්‍යාපනය සඳහා යන බවය. ඒ අනුව අප රටේ උසස් අධ්‍යාපනයේ අර්බුදයේ තරම තේරුම් ගත හැකිය.

අපේ දරුවන් උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගතවීමට හේතු ගණනාවක් තිබේ. ඉන් එකක් වන්නේ මෙරට උපාධි පාඨමාලාවන්හි ප්‍රමිතිය පහළ මට්ටමක පවතින බවය. එවැනි හේතු මත ඇතිව තිබෙන විදේශ උපාධි රැල්ල අද කොයිතරම් දුරට විනාශකාරී තැනකට ගමන් කර තිබේද යන්න අසර්බයිජානය වැනි වැඩි දෙනකු නොදන්නා රටවලට පවා අපේ දරුවන් යන්නට පෙලඹීමෙන් වටහා ගත හැකිය.

අසර්බයිජානය යනු පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත් රටකි. 1991 වසරේ සිට ස්වාධීන රාජ්‍යයක් බවට පත්ව ඇති මේ රට සමග ශ්‍රී ලංකාව තවමත් තානාපති සබඳතා හෝ ආරම්භ කර නැත. ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් තවමත් පැහැදිලි තොරතුරක් වාර්තා නොවීමට මෙයද හේතුවකි. මේ සිසුවියන් ඉගෙනුම ලැබූ විශ්වවිද්‍යාලය 1991 තරම් මෑතකදී ආරම්භ කරන ලද පෞද්ගලික විශ්වවිද්‍යාලයකි. ලොව ඕනෑම විශ්වවිද්‍යාලයක සිසුන්ට නේවාසික පහසුකම් සැපයීම මූලික අවශ්‍යතාවක් වන නමුත් මේ විශ්වවිද්‍යාලයේ විදේශ සිසුන් සඳහා නේවාසික පහසුකම් නොලැබෙන බව කියැවේ. අපේ සිසුවියන් තිදෙනා විශ්වවිද්‍යාලයෙන් පිටස්තර පෞද්ගලික ස්ථානයක නවාතැන් ගෙන සිට ඇත්තේ මේ නිසාය.

අප රට තානාපති සබඳතා හෝ නොපවත්වන රටක මෙවැනි විශ්වවිද්‍යාලයකට අපේ දරුවන් යවන්නට අවසර දී තිබෙන්නේ කවුද? මෙවැනි තවත් කුමන රටවලට අපේ සිසුන් යනවාදැයි බලධාරින් දන්නේද? ලෝකයේ ප්‍රධාන රටවල පවා අපේ සිසුන් ඇතුළත් වන්නේ කුමන අන්දමේ විශ්වවිද්‍යාලවලටදැයි දන්නේ කවුද?

මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට කිසිවකු නැත. අප රටේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති නියාමන ආයතනය වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමය. එසේ වුවත් මේ වන විට විදේශ උපාධි පාඨ‍මාලා සඳහා සිසුන් යවන ආයතන කොතරම් සංඛ්‍යාවක් තිබේදැයි එම ආයතනය දන්නේද?

කොළඹ හා තදාසන්න නගරවල බැලූ බැලූ තැන විදේශ උපාධි පිරිනමන ආයතනය. ඇතැම් විදේශ උපාධි සඳහා ඉගෙනුම් කෙරෙන්නේ මෙරටදීය. නමුත් මේවා හුදෙක් ව්‍යාපාරික ආයතන මිස උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ බැඳීමක් නැත. අද දවසේ කොත්තු කඩයක් දාන්නා සේ ඕනෑම කෙනකුට විදේශ උපාධි සඳහා සිසුන් රට යවන ආයතනයක් ආරම්භ කළ හැකිය. අවම වශයෙන් සිසුන්ගේ අධ්‍යාපනය ගැන නොව මේ හරහා කොතරම් විදේශ විනිමයක් රටින් පිටතට ඇදී යන්නේදැයි සොයා බලන්නට කෙනෙක් නැත.

විදේශ උපාධි පිරිනමන ආයතන නියාමනය කිරීමට පියවර ගන්නා බව අසර්බයිජාන ඛේදවාචකයෙන් පසු උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කොට තිබේ. අමාත්‍යවරයාගේ ප්‍රවේශය අගය කළ යුතු වුවත් එම උත්සාහය සාර්ථක වනු ඇත්ද යන්න සැක සහිතය. පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට​ කිසිම බලපෑමක් කළ නොහැකි බැවිනි. විදේශ උපාධි සඳහා ළමුන් ගෙන යන පෞද්ගලික ආයතන සම්බන්ධයෙන් තබා රටපුරා අගුපිල්වල පවා ඉදිවන ජාත්‍යන්තර පාසල් ගැන හෝ අපේ අධ්‍යාපන බලධාරීන්ට මැදිහත්වීමට හැකියාවක් නැත.

නියාමනය කිරීම කෙසේ වෙතත් මූලික පියවරක් ලෙස රටපුරා ආකර්ෂණීය නම්වලින් පවත්වාගෙන යන විදේශ උපාධි පිරිනමන ආයතන ලේඛනයක් හෝ සකස් කළ හැකි නම් එය වැදගත් පියවරක් වනු ඇත. එසේම ඉදිරියේදී මෙරට ළමුන් යැවෙන්නේ අප රට සමග තානාපති සබඳතා පවත්වන රටවලට පමණක් බවට නියමයක් පැනවිය නොහැකිද? මේ ආයතන සඳහා අවසර දිය යුත්තේ එම විශ්වවිද්‍යාලවල පහසුකම් ගැන සොයා බලා සෑහීමකට පත්වන්නේ නම් පමණකි.

දැනට ආණ්ඩුවේ කිසිදු මැදිහත්වීමකින් තොරව සිසුන් විදේශයන්ට යැවීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද කිසිදු සහතිකයක් නැත. අවම වශයෙන් සිසුන් විදේශයන් වෙත ගෙන යන ආයතන ඔවුන්ට රක්ෂණ ආවරණයක් හෝ ලබාදිය යුතු බව අනිවාර්ය කිරීමට ආණ්ඩුවට හැකියාවක් තිබිය යුතුය.