විශේෂාංග

විදේශීය ඔත්තුසේවා දුසිමකට වඩා ලංකාවට ආවා

සිංගප්පූරුවේ නැන්යැංග් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (Nanyang Technological University) ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරයෙකි. The Three Pillars of Radicalitation, Needs, Narratives and Networks ‘කෘතියේ’ සමකතුවරයාය. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ බුද්ධි සංචිතය වන ජාතික අාරක්ෂක අධ්‍යයන ආයතනය පිහිටුවීමේදී එම සැලැස්ම (Blue Print) ලියන ලද්දේ ද ඔහු විසිනි.

මේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සමග කළ සාකච්ඡාවකි.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන බුද්ධි අංශ ඒ ගැන අනතුරු ඇඟවූ බව වාර්තා වී තිබෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර නොගැනීමට හේතුව කුමක් කියලද ඔබ හිතන්නේ?

පාස්කු ඉරිදා ප්‍රහාරය මගින් පෙන්නුම් කළේ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයේ අඩාළ බව. යම් හෙයකින් වෙනත් ආණ්ඩුවකට ප්‍රශස්ත හා නිවැරදි බුද්ධි තොරතුරු ලැබිලා තිබුණා නම් ඔවුන් වහාම ක්‍රියාත්මක වෙනවා. මේ තත්ත්වය ඉහළ නායකත්වයේ අසාර්ථකත්වය පෙන්නුම් කිරීමක් පමණක් නොවෙයි, නිලබල තන්ත්‍ර මට්ටමේදී පෙනෙන්නට නායකත්වයක් නොතිබීමකුත් වෙනවා. ඉහළ මට්ටමේ වගේම ඉහළ තත්ත්වයේ බුද්ධි තොරතුරු ලැබුණු වගකිව යුතු කවර පාර්ශ්වයක් වුණත් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුයි. පළමුව සමස්ත ආරක්ෂක බුද්ධි ප්‍රජාව, ඉලක්ක පිළිබඳ තවත් බුද්ධි තොරතුරු ලබාගත යුතුයි. දෙවනුව අදාළ මෙහෙයුම් අංශ මගින් ප්‍රහාර සැලසුම් කරන අය අත්අඩංගුවට ගැනීමට හෝ මරා දැමීමට කටයුතු කළ යුතුයි. තුන්වනුව අදාළ ඉලක්ක ආරක්ෂා කිරීමට පියවර ගත යුතුයි. මේ කිසිවක් හෝ සිදු නොවනවා කියන එකේ තේරුම ජාතික ආරක්ෂාව දුර්වල වීම.

2015 සිට ආසන්න වශයෙන් 500 ක පමණ හමුදා බුද්ධි අංශ නිලධාරින් පිරිසක් අත්අඩංගුවට ගත්තා. ප්‍රශ්න කළා. ඇඟිලි සටහන් ලබා ගැනීම හෝ ඡායාරූප ගැනීමත් සිදු කළා. මේ සංඛ්‍යා දත්ත ගැන කිසිවකුටත් ගැටෙන්න පුළුවන්කමක් නෑ. මොකද මම ‘බී’ වාර්තා එකතුවක් කළා. මේ සංඛ්‍යා හා දත්ත නිවැරදි බව එයින්ම පැහැදිලියි.

ආරක්ෂක හා බුද්ධි අංශ වේදිකාව බිඳ දැමුව. ආරක්ෂක මුරපොළ ඉවත් කළා. හමුදාව බැරැක්කවලට කැඳවූවා. ඉහළ අත්දැකීම් සහිත නිලධාරින් ඉවත් කළා. ඔවුන්ට හෘද සාක්ෂියක් තියෙනවා නම් සමස්ත ධුරාවලියෙන්ම ඉවත්විය යුතුයි. මොකද, ඔවුන් දන්නවා ඔවුන් ශ්‍රී ලංකාවට කළ හානිය කොතරම්ද කියලා.

ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු අයිඑස්අයිඑස්. සංවිධානය එහි වගකීම භාර ගත්තා. වසර 5 ක් පමණ තිස්සේ නිහඬව සිටි අයි.එස් නායකයෙක්ගේ බව සඳහන් වීඩියෝ පණිවුඩයකුත් නිකුත් වුණා. මේ ගැන ඔබ මොකද සිතන්නේ?

ඉරාකයේ හා සිරියාවේ කේන්ද්‍රගත අයි.එස්. සංවිධානය සමග 2015 ජනවාරි සිට ඉරාකය හා සිරියාව බලා ගිය ශ්‍රී ලාංකිකයන් 41 දෙනකු ශීඝ්‍රයෙන් සම්බන්ධතා ගොඩ නගාගත්තා. ඉන්පසුව දේශීය වශයෙන් ක්‍රියාත්මක වූ ජාතික තවුහිද් ජමාද් (NTJ) හා ජමියතුල් මිල්ලතේ ඉබ්‍රහිම් (JMI) සංවිධාන ශ්‍රී ලංකාවේ අයි.එස්. ශාඛා හැටියට ක්‍රියාත්මක වුණා. ශ්‍රී ලංකාවේ අයිඑස්. ශාඛාව බුද්ධ ප්‍රතිමාවලට හානි සිදුකිරීම, පොලිස් නිලධාරින් ඝාතනය කිරීම සහ පුහුණුවීම් සිදු කිරීම යන ක්‍රියාවන්වල යෙදුණා. ශ්‍රී ලංකාවේ අයිඑස්. ප්‍රහාරයක් සිදුවීම පිළිබඳ මූලික දර්ශක හැටියට ඒවා හැඳින්වීමට පුළුවන්. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මාසයකට පසුවත් ශ්‍රී ලංකාවේ නායකයන් ශ්‍රී ලංකාවේ අයි.එස්. ශාඛාව, සිරියාවේ හා ඉරාකයේ අයි.එස්. මූලස්ථානය අතරත් ඇති සම්බන්ධතා ගැන දැනුවත් ඇතැයි පෙනෙන්නේ නෑ. විදේශීය ආරක්ෂක හා බුද්ධි අංශ දුසිමකටත් වඩා ශ්‍රී ලංකාවට පැමිණියා. ඒත් ඔවුන්ට හෝ ඔවුන්ගේ දේශීය නියෝජිතයන්ට අයි.එස්. මාධ්‍යම ක්‍රියාකාරිත්වය ගැන ප්‍රමාණවත් තරම් පැහැදිලි කිරීමක් කිරීමට හැකියාවක් ඇත්තේ නෑ. තමන්ට පක්ෂපාතී දේශීය වශයෙන් ක්‍රියාත්මක කණ්ඩායම් සමග සම්බන්ධ වෙමින් ඔවුන් මතවාදීමය වශයෙන් හැඩගැස්වීම වගේම ප්‍රහාර සඳහා අවශ්‍ය මෙහෙයවීම කර ඇති බව පෙනෙනවා.

පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් අඳුරු කලාප හෝ ආන්දෝලනාත්මක තැන් ඇතැයි කිව හැකිද?

පාස්කු ඉරිදා ප්‍රහාරය පිටපුස එවැනි අඳුරු කලාප හෝ ආන්දෝලනාත්මක පසුබිමක් ඇත්තේ නෑ. මේ ප්‍රහාරය නායකත්වයේ ඉහළ සිට පහළට අසාර්ථක වීම නිසා සිදු වූවක් බව පැහැදිලියි. ශ්‍රී ලංකාව පාලනය කරන්නේ නායකයන් නෙවෙයි. දේශපාලනඥයන්. මේ ප්‍රහාරයට පෙර එම අවස්ථාවේ හෝ ඉන්පසුව රාජ්‍ය තාන්ත්‍රිකත්වයක් තිබුණේ නෑ. අද දක්වාම ආණ්ඩුව තුළ සාමුහික නායකත්වයක් ඇත්තේ නෑ. ප්‍රහාරයෙන් පසුව ජනාධිපති, අගමැති හා විපක්ෂ නායක එක තැනකට ආ යුතුයි. ඔවුන් තිදෙනාම එක්ව ජනතාවත් සමග මාර්ගයේ එකට ගමන් කළ යුතුයි. මහජන විශ්වාසය ගොඩනැගිය හැකිවන්නේ එවිටයි. රටේ උන්නතිය වෙනුවෙන් ඔවුන් එක්ව ක්‍රියාකිරීම ශ්‍රී ලංකාව යළි නැගී සිටීමේදී අවශ්‍යමයි. නව ආණ්ඩුවක් බලයට පත්වනතුරු පෞද්ගලිකත්වය හා පක්ෂ දේශපාලනය පසෙකින් තැබිය යුතුයි. එසේ නැතිනම් සිදුවන්නේ රට බෙදී තිබීමයි.

අද වනවිට ශ්‍රී ලංකාවේ ජනතාව තමන්ගේ දේශපාලන නායකයන් ගැන කෝපයෙන් පසුවෙනවා. අනාගතයේදී ශ්‍රී ලාංකිකයන් තමන්ගේ නියෝජිතයන් තෝරා ගැනීමේදී බුද්ධිමත්ව හා තර්කානුකූලව කටයුතු කළ යුතුයි. හැඟීම්බර නොවිය යුතුයි.

තමන් තෝරා පත් කළ නියෝජිතයන් සෑම අතකින්ම අසාර්ථක වීම ගැන ඔවුන් සිටින්නේ කෝපයෙන්. ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන් වගේම දැන් සමාජයීය වශයෙනුත් ඒ අසාර්ථක බව පිළිබිඹු වෙනවා. ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම හා රට සංවර්ධනය කිරීම වෙනුවට ඔවුන් කළේ යුද්ධය නිමා කළ හා සාමය රැගෙන අා අය දඩයම් කිරීමයි. ජාතික අභිලාෂය ඔසොවා තැබීම වෙනුවට ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව ගැන පවා ඔවුන් කටයුතු කළේ බටහිර ජාතිකයන්ගේ අභිලාෂයන්ට අනුවයි.

තමන්ගේම රටට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී රැගෙන ආ යෝජනාවට ඔවුන් කළේ සම අනුග්‍රාහකත්වය දැක්වීමයි. යුද්ධය පැවති කාල සීමාව පුරා ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරින් සහතික කළේ ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ යෝජනාවක් ඉදිරිපත් නොවන බවයි. නමුත් 2015 න් පසු බලයට පත් ආණ්ඩුව මුල්තැන දුන්නේ ජාතික අභිලාෂයට නොව බටහිර අභිලාෂයටයි. කලින් ආණ්ඩුව කළ දේ ආපසු හැරවූ ඔවුන් කළේ බටහිරට ඇරියුම් කිරීමයි. මුලින් ශ්‍රී ලංකාවේ චීන ව්‍යාපෘති නතර කර පසුව ඔවුන් කළේ චීනයට විශාල ලෙස හානිදායීව ක්‍රියා කිරීමයි. දේශපාලන පක්ෂ හා පාට වශයෙන් මේ රට බෙදීමෙන් මේ දේශපාලන හවුල ආර්ථික ඛේදවාචකයක අද්දරට හා සමාජ අස්ථාවරත්වය කරා රට ඇද දමා තිබෙනවා.

චීනය එක් මාවතක් එක් තීරයක් (BRI) සමුදුරු සේද මාවත ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේදී ශ්‍රී ලංකාව භූ දේශපාලනිකව හා උපායමාර්ගිකව වැදගත් කේන්ද්‍රස්ථානයක් වීම මේ ප්‍රහාරයට ලක්වීමට හේතුවක් බවයි ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහස?

චීනයේ BRI හා නව සේද මාවත ව්‍යාපෘතියේදී ශ්‍රී ලංකාව උපාය මාර්ගිකව වැදගත් රටක් බව ඇත්ත. ශ්‍රී ලංකාව භූ දේශපාලනිකව, භූ ආර්ථිකව හා භූ උපායමාර්ගිකව එහි මනාව ස්ථානගත වූ රටක්. කෙසේ වුවත්, පාස්කු ඉරිදා අයි.එස්. ප්‍රහාරය එල්ලවුණේ ශ්‍රී ලංකාව පහසු ඉලක්කයක් වූ නිසා. එහි මෙහෙයුම් මූලධර්ම පැහැදිලියි. අන්තවාදීන් හා ත්‍රස්තවාදීන් අරබයා ඔබ ආක්‍රමණික පිළිවෙතක පිහිටා නොසිටින්නේ නම් ඔවුන් ඔබ පසුපස පැමිණේවි. වර්තමාන පාලක පිරිස බටහිර වැදගත් පොත්පත්වල පවා ජාතික ආරක්ෂාව ගැන පෙන්වා දෙන කාරණය ගැන සම්මුතිකාමී නොවුණා වගේම සංහිඳියා පෙරමුණේදී කිසිවක් අත්කර ගැනීමටත් අසමත් වුණා. සුවිශේෂී හා අන්තවාදී කල්ලි කණ්ඩායම් ගැන තීරණාත්මක පියවර ඔවුන් ගත යුතුව තිබෙනවා.

බොදුබල සේනා, සිංහල රාවය, මහසෝන් බළකාය හා තවත් කණ්ඩායම් ප්‍රජාවන් අතර සමගිය ඇති කිරීමට බාධාකාරීව කටයුතු කරන බව පෙනෙනවා. ඔවුන්ගේ නායකයන් ගැන නීතිමය පියවර අරගෙන නෑ. ඔවුන්ගේ දේපොළ තහනම් කර නෑ. ඔවුන්ගේ සංවිධාන තවමත් ක්‍රියාත්මක වෙනවා. අන්තවාදය හා සුවිශේෂීත්වය ගැන ආණ්ඩුව අන්ධ පිළිවෙතක පිහිටන්නේ නම්, ඊළඟ අදියර ත්‍රස්තවාදය හා මහා හිංසනයක් වීමට පුළුවනි. ශ්‍රී ලංකාව එවැනි අන්තයකට යාමෙන් වැළැක්විය යුතුයි. ඒ සඳහා දේශපාලන ක්‍රීඩාව නතර කර ආරක්ෂාව හා ස්ථාවරත්වය තහවුරු කළ යුතුයි.

පවතින තත්ත්වය යටතේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) වැනි ඇමෙරිකා වැඩසටහන් පෙරට එමින් ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. මෙරට තුළ නේටෝ කඳවුරක් පිහිටුවනු ඇතැයිද මත පළ වෙනවා. ත්‍රිකුණාමල වැනි ප්‍රදේශයන් ගැන බලවතුන් උනන්දුවන බවයි ඔවුන් පවසන්නේ. මේ කාරණා අතර කිසියම් සම්බන්ධයක් ඇතැයි කිව හැකිද?

ශ්‍රී ලංකාව නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි. ඇමෙරිකාව, යුරෝපා සංගමය, රුසියාව, චීනය හා ඉන්දියාව සමග විශිෂ්ට අන්දමින් සම්බන්ධතා පවත්වා ගැනීමටත් කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකාව ක්‍රියා කළ යුත්තේ ස්වකීය ජාතික අභිලාෂයට අනුව මිස කවර හෝ බලවත් ජාතියකගේ අභිලාෂයට අනුව නෙවෙයි.

ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව හෙට දවස ගැන ඔබේ පුරෝකථනය කුමක්ද?

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මෙන්ම සිංහල අන්තවාදී කණ්ඩායම් සිදු කළ ප්‍රචණ්ඩ ක්‍රියා නිසාත් ශ්‍රී ලංකාවට හානි සිදු වුණා. එවැනි පසුගාමීත්වයක් තමයි මුස්ලිම්වරු රැඩිකල්කරණයට ගොදුරු කර ගැනීමට අයි.එස්. සංවිධානයට අවශ්‍ය. මේ කැරළි ක්‍රියාවලින් පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ බලයට පත් වූ නායකයන් ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමට කොපමණ අසමත් වී තිබෙනවාද යන බවයි. කෙසේ වුවත් මේ ප්‍රහාරකයන් හා ඔවුන්ගේ සහායකයන් සුළුතරයක්. ඔවුන් විශාල සාර්ථකත්වයක් අත් කරගන්නේ බාධාකාරී ක්‍රියා ඇති කිරීමෙනුයි. අප මුස්ලිම් ජනයාගේ හදවත් දිනා නොගතහොත් මේ ප්‍රහාරය නිසා බලපෑමට ලක් වූ ඔවුන්ට රැකවරණ සැලසීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාව නැවතත් පසුපසට ගෙනයන යුද්ධයක් අත්විඳීවි.

එක රටක් පිළිබඳ අභිමානය ගොඩනැගිය යුතුයි. ශ්‍රී ලංකාවේ සිටින අයි.එස්. අනුගාමිකයන්ගේ ඉස්ලාමීය උත්තරීතරබව කළමනාකරණය කළ යුතුයි. අයි.එස්. මතවාදවලින් බලපෑමට ලක් වූවන් පුනරුත්ථාපනය කළ යුතුයි. ආගමික හෝ වාර්ගික වශයෙන් මතුවන මතවාදීමය සුවිශේෂීතා වගේම අන්තවාදී හා ත්‍රස්තවාදය පරාජය කිරීමේ අභියෝගයට ශ්‍රී ලාංකිකයන් ලෙස අප සැවොම එක්ව මුහුණ දිය යුතුයි.

ධම්මික සෙනෙවිරත්න