අතන මෙතන

සංඝ පනත විජේදාසගේ හිසේ කඩා වැටේ


බ‍්‍රහස්පතින්දා අගමැති නිවසේ එක්වූ මැති ඇමැතින් කතා බහේ යෙදෙද්දී හිටපු ජනාධිපතිවරයාට හින්ට් එකක් ගහන්නට විජේදාස රාජපක්ෂ ඇමතිවරයා අමතක කළේ නැත. ”මහින්දල අසාර්ථක විරෝධතාවක් විහාරමහාදේවි එකේ තිබ්බේ. රතුපස්වල තුන්දෙනෙක් වෙඩි තියල මරපු දවසට හරියටම වසර 05 ක් පිරෙන එක සමරන්න කියල ජනතාව කියනවා” විජයදාස රාජපක්ෂ කීවේ සිනා මැදය. පසුගිය කාලයේ රාජපක්ෂවරුන්ට කඬේ යන බවට එජාපයේ පසු පෙළින් විජේදාස ඇමතිවරයාට දැඩි චෝදනා එල්ල විය. දයා ගමගේ විජේදාසගේ කතාවට හරහට හිටියේය.

අර සංඝ පනත ගෙන ඒමේ අලූත් තත්ත්වය මොකද්ද? ප‍්‍රශ්ණ ඇතිවෙන ඒවාට අත ගහන්න නරකයි.” දයා ගමගේ කීය.

පනතට අදාළ කෙටුම්පත දැන් මහනාහිමිවරුන් අත තියෙන්නේ. උන්වහන්සේලයි අවසන් තීන්දුව ගන්න ඕන.” විජයදාස රාජපක්ෂ කීය.

මල්වතු අස්ගිරි මහනාහිමිවරු මේකට අත්සන් කළාට ඒ සංඝ සභා මේකට කැමති නැහැ. ‘එදා රජවරු හදපු නීති ප‍්‍රමාණවත්ය. පාර්ලිමේන්තුව අලූත් නීති ගේන්න ඕනේ නෑ. භික්ෂු විනය ගැන භික්ෂුන්ම බලා ගත යුතුයි’ කියන තැනයි උන්වහන්සේල ඉන්නේ” ලක්ෂ්මන් කිරිඇල්ල පැහැදිලි කළේය.