ක්‍රීඩා

(වි)ජාතික ඔලිම්පික් කමිටුවේ ‘ලිංගික හිංසන’ සේල්

‘එකක් කඩතොළු මකාගන්නට ගිහින් මට වුණ වියෝයා – සියක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා’ යැයි අප වහරේ කියමනක් පවතී. කඩතොළු වූ එක තැනක් සදාදෙන්නට ගොස් කඩතොළු සියයක් ඇති කළ ඉඳුරුවේ ආචාරියාගේ වත්මන් චරිතයට පණ පොවනුයේ ජාතික ඔලිම්පික් කමිටුවද? එය ඔවුන් විසින් සිදුකරනු ලබනුයේ හෙවත් ‘හිංසනය ක්‍රීඩාවක් නොවේ’ නමැති සිය අලුත්ම ව්‍යාපාරය විසින් ද?

ජාතික ඔලිම්පික් කමිටුවට අනුව මෙම ව්‍යාපාරයේ අරමුණ ක්‍රීඩාව තුළ සිදුවන ලිංගික හිංසනයන් වැළැක්වීමය. ක්‍රීඩාවේ සිදු වන ලිංගික හිංසනයන්ට එරෙහිවීමය. එයට එරෙහිව කටයුතු කිරීම පිණිස ක්‍රීඩාවේ සියලු අංශයන්ට දිරි දීමය. ජාතික ඔලිම්පික් කමිටුව මේ දිනවල සියලු වෙර-වීරිය යොදා රැගෙන යන්නේ මේ ව්‍යාපාරයයි. ඒ වෙනුවෙන් ඔවුන් දැවැන්ත ප්‍රචාරණ වැඩසටහනක් කරගෙන යන අතර අත දිගහැර වියදම් කරන අයුරක් බැලූ බැල්මටම පෙනී යයි.

ගැටලුව වන්නේ මේ සා වෙර වීරියක් යොදා, මේ සා ධනස්කන්ධයක් විය පැහැදම් කරමින්, ජාතික ඔලිම්පික් කමිටුවට මේ දිනවල තම අංක එකේ කටයුත්ත බවට පත්කර ගැනීමට තරම් මේ කියන්නා වූ කාරණය මෙරට ක්‍රීඩාව උදෙසා බලපෑමක් කර තිබේද යන්නය. වෙනත් ලෙසකින් කියන්නේ නම් මෙරට ක්‍රීඩාවේ මේ වන විට පවත්නා දැවැන්තම අර්බුධය, ගැටලුව, වහා වහා පිළියම් යෙදිය යුතු ප්‍රශ්නය වන්නේ මෙරට ක්‍රීඩාවේ සිදු වන ලිංගික හිංසනයන්ද යන්නයි.

ඉහළ පෙළ ක්‍රීඩා උළෙලකදී මතක ඇති කාලයකින් හරි හැටි පදක්කමක් දිනා නොගත්, පේන තෙක් මානයකට එවැනි ජයග්‍රහණයන් නොපෙනෙන, ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ තැන් (ජාතික ඔලිම්පික් කමිටුවද ඇතුළත්ව) දූෂිත පරිපාලනයන්ගේ ගොදුරු බවට පත්ව ඇති මෙන්ම පවතින කොවිඩ් වසංගතය හමුවේ ක්‍රීඩකයන්ට මෙන්ම පුහුණුකරුවන්ටද යන එන මං නැතිව තිබෙන වකවානුවක, ජාතික ඔලිම්පික් කමිටුව හමුවේ පැන නැගී ඇති බරපතළම ගැටලුව වී ඇත්තේ මෙරට ක්‍රීඩාවේ සිදුවන ලිංගික හිංසනයන්ය.

ක්‍රීඩාවට සම්බන්ධ ලිංගික හිංසනයන් පිටුදැකීම අරමුණු කරගත් අනුකමිටුවක් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව යටතේ ඇත්තේය. සැලවන අන්දමට ඔවුන් වෙතින් බර මුදල් කුට්ටියක් ජාතික ඔලිම්පික් කමිටුව වෙත ලැබී ඇත. දැන් කළ යුත්තේ ඒ ලැබුණු මුදල, ජාත්‍යන්තරයෙන් දුන් තේමාව පෙරට දමා වියදම් කිරීමය. කරනු ලබන වියදමට අනුව ඒ ඒ අංශ සෘජුව මෙන්ම වක්‍රවද ලාභ ලබන්නේය. ඒ අනුව මේ උදාවී ඇත්තේ ‘ක්‍රීඩාව පසුපස ඇති ලිංගික හිංසනය’ විකුණා ලාභ ලැබීමේ කාලයයි. ‘හිංසාව ක්‍රීඩාවක් නොවේ’ ව්‍යාපාරය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ව්‍යාපාරයක් හෙවත් ‘බිස්නස් එකක්’ ද යන්න විමසා බැලීමට කාලය පැමිණ ඇත.

ඒ උදෙසා මෙම ව්‍යාපාරයෙන් රටට හෝ රටේ ක්‍රීඩාවට වන ලාභය පළමුවෙන්ම විමසා බැලිය යුතුය. පෙර සඳහන් කළ ආකාරයේ අනේකවිධ ප්‍රශ්න, ගැටලු, බැරිඅමාරුකම් ඇති මෙරට ක්‍රීඩාවේ අර්බුධයට තුඩු දී ඇති හේතු ප්‍රමුඛතා අනුපිළිවෙළින් පෙළගැස්වුවේ නම් ‘ලිංගික හිංසනය’ එම ලැයිස්තුවේ කී වැනි තැනට වැටෙනු ඇතිද?

අප කවුරුත් දන්නා කරුණ නම්, මෙරට ක්‍රීඩාව හමුවේ මේ වන විට ඇති ලොකුම අර්බුධය අප සමාජය ක්‍රීඩාවෙන් ඈත්වීමයි. සමාජයක් ක්‍රීඩාව වෙත ආකර්ෂණය කරගැනීම රැඳෙනුයේ ජයග්‍රහණ වාර්තාවීම සහ ක්‍රීඩාවට යොමුවන්නන්ගේ අනාගත ස්ථාවරය මතය. අද අප ක්‍රීඩාව හමුවේ ඇති අභියෝගය වන්නේ ක්‍රීඩාවට යොමුවීමෙන් අනාගතය අස්ථාවර වේය යන සමාජ ආකල්පයයි. දරුවකු පිටිය වෙත යොමු කිරීමට සාපෙක්ෂව දහස් ගුණයක් උනන්දුවක් දරුවාව ටියුෂන් පංතිය වෙත යොමු කිරීමට දෙමාපියන් විසින් දක්වනු ලබන්නේ මේ ආකල්පයේ පිහිටාය. මෙම ආකල්ප බිඳ හෙලිය හැක්කේ ක්‍රීඩාව සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්ති සකස් කිරීම මගිනි. ජාතික මට්ටම, ජාත්‍යන්තර මට්ටම ආදී වශයෙන් ක්‍රීඩාවේ පෙරට එන්නන්ගේ හෙට දවස පිළිබඳ වගකියන ප්‍රතිපත්ති සැකසීම මෙයට පිළියමයි. ඒවා කළ යුත්තේ ක්‍රීඩා පරිපාලනය විසිනි. (ඒ වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුවටද විශාල කාර්යභාරයක් ඇත) ඒවා නොකිරීම පරිපාලන වැරදිය. පරිපාලන දුර්වලතාවය. ක්‍රීඩාවේ පරිපාලනය විසින් කළ යුත්තේ මෙය තේරුම්ගෙන අවශ්‍ය කටයුතු යොදනු විනා තමන් විසින් කළ යුතුම දේ අමතක කර ‘සයිඩ් බිස්නස්’ කරන්නට යෑම නොවේ. අපට පෙනෙන පරිදි ජාතික ඔලිම්පික් කමිටුවේ ලිංගික හිංසනයට එරෙහි ව්‍යාපාරයද එවන් ‘සයිඩ් බිස්නස්’ එකකි. නමුත් එහි බලපෑම මෙන්ම අතුරු විපාක කෙසේ වේ දැයි ඔවුන් ප්‍රමාණ කර, විමසා බැලුවේද?

ඔලිම්පික් සංගමය, මේ ‘සයිඩ් බිස්නස්’ එක උදෙසා කරනු ලබන දැවැන්ත ප්‍රචාරණයේ මීළඟ ප්‍රතිඵලය වනුයේ මෙරට ක්‍රීඩාවේ දැවෙන ප්‍රශ්නය වනුයේ ක්‍රීඩාව තුළ සිදුවන ලිංගික හිංසනය යැයි අර්ථයක් සමාජගත වීමයි. එහි අතුරු ප්‍රතිඵලය වනුයේ මේ වන විට තම දරුවන්ව ක්‍රීඩාවට යොමුකරන හෝ යොමු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින දෙමාපියන් කිහිපදෙනාද හෙට වන විට තම දරුවන්ගේ ආත්මය ආරක්ෂා කරගනු පිණිස ඔවුන්ව ක්‍රීඩාවෙන් මෑත්කර ගැනීමයි.
යම් පද්ධතියක දෝෂයක් වෙනුවෙන් යොදනු ලබන පිළියම විසින් තවත් දෝෂ ඇති නොකළ යුතුය යන්න කළමනාකරණයේ මූලික සිද්ධාන්තයකි. ජාතික ඔලිම්පික් කමිටුව මෙම ‘සයිඩ් බිස්නස්’ එකට යොමුවුණේ මේ සරළ සිද්ධාන්තවත් නොදැනද? ඔවුන් දන්නා කළමනාකරණය මෙතරම්ම සොච්චම්ද?

අපි වෙනත් උදාහරණයක් ගනිමු. සංචාරක ක්ෂේත්‍රයේදී මෙරටට එන විදේශිකයන් ඒ ඒ තැන්වලදී අඩු වැඩි වශයෙන් සූරාගැනීමට ලක්වන බව නොරහසකි. නමුත් ‘සංචාරකයන් සූරා නොකමු’ යන තේමාවෙන් දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුවහොත් කුමක් වේද? එවැන්නකදී අන් සියල්ලට පෙර, මෙය සංචාරකයන් සූරාකන රටක් ලෙසට ආකල්පයක් මතුවීම වැළකිය හැකිද? එවැනි ආකල්පයක් ලෝකයා හමුවට ගියහොත් සංචාරකයන් පැමිණේද? ජාතික ඔලම්පික් කමිටුවේ ‘හිංසනය ක්‍රීඩාවක් නොවේ’ යන ‘සයිඩ් බිස්නස් එක’ මෙකී උදාහරණයෙන් වෙනස් වන්නේද?
සංවාදයට නැගිය යුතු අනෙක් කරුණ නම් ජතික ඔලිම්පික් කමිටුවේ මෙම ‘සයිඩ් බිස්නස් එක’ උදෙසා ඔවුන් කරන ප්‍රචාරණයේදී යොදාගනු ලබන වචන ලැයිස්තු සහ රූප රාමු ආදියයි. එහි එක් වචන පෙළක් වනුයේ ‘ලකුණුවලට හාන්සි නොවී මහන්සි වෙන්න’ යන්නය. බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක් නිරූපිත රුවක් රැගෙන පළවන එම පෝස්ටරයේ සඳහන් අදාළ වචන පෙළ දුටු පමණින් බබෙක් නොවෙන ඕනෑම අයෙක්ට හැඟෙන්නේ කුමක්ද? මෙරට ක්‍රීඩාවේ එක් මහගෙදරක අනුග්‍රහයෙන් පළකරනු ලබන මෙවන් දෙයකින් සමස්ත රටට ලෝකයට යන පණිවුඩය කුමක්ද? අපරිමිත කැපකිරීම් කරමින් පෙරට එන ක්‍රීඩකයකුට ක්‍රීඩිකාවකට මේ දුටු විට කුමක් හැඟේද?

‘ඇත්තටම මේක දැක්කහම හරියට ක්‍රීඩාවක් කරල ඉස්සරහට ආපු අපිට ලැජ්ජයි’ යනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩිකාවක් අප සමග පැවසූ එම වචනවලින් ජාතික ඔලිම්පික් කමිටුවට මෙයින් ලැබෙන සහතිකය පැහැදිලිය.

‘හිංසනය ක්‍රීඩාවක් නොවේ’ නමැති සයිඩ් බිස්නස් එක වෙනුවෙන් යොදාගන්නා අනෙකුත් රූප ගැන සැලකිලිමත්වීමේදී ඔවුන් ඒ හැමතැනකම පාහේ යොදාගෙන ඇත්තේ ක්‍රීඩිකාවන්ගේ රූපය. ඒ අනුව මෙම ලිංගික හිංසනය යන කරුණ මේ රටේ ක්‍රීඩිකාවන් උදෙසා පමණක්ම නැතහොත් ක්‍රීඩාවට සම්බන්ධ කාන්තාවන් උදෙසා පමණක්ම සිදුවන්නක්ය යන හැඟීමෙන් යුතුව ප්‍රචාරණ නිර්මාණයට නගා ඇති බවක් පෙනෙයි. එය එසේ සිදුවූයේ, මෙම ‘සයිඩ් බිස්නස්’ එක සැලසුම් කළ ‘මුදලාලිලා’ගේ අත්දැකීම් අනුවද නැතහොත් මේ රට හෝ සංස්කෘතික චින්තනය ගැන වගේ වගක් නැතිව මීළඟ ඔලිම්පික් සම්මානයක් බලාපොරොත්තුවෙන් මෙම ව්‍යාපාරය සැලසුම් කළ නෝනලාගේ අත්දැකීම් අනුවද යන්න වෙනම විමසා බැලිය යුතු කරුණකි.

ජාතික ඔලිම්පික් කමිටුවේ ‘හිංසනය ක්‍රීඩාවක් නොවේ’ යන සයිඩ් බිස්නස් එක සම්බන්ධයෙන් අප සමග අදහස් හුවමාරු කරගත් මනෝවෛද්‍යවරයකු පැවසුවේ, සමාජය තුළ ප්‍රසිද්ධියේ කථා නොකරන සහ සමාජයට පොදු කරුණක් නොවූ දෙයක් කරළියට ගෙන කථා කිරීම තුළින් ඒ සඳහා අනියම් පෙලඹවීමක් සිදුවන බවය. ජාතික ඔලිම්පික් කමිටුව විසින් මෙම ව්‍යාපාරය මේ අයුරින් දියත් කළේ එම මනෝමූලික කාරණා කෙරෙහිවත් අවධානයක් නොමැතිවද?

අප වැනි සමාජයක් තුළ බස් රථයක ගමන් කිරීමේදී පවා ලිංගික හිංසනයකට ලක්වීමේ අවස්ථාව ඇති නමුත් අප වැනි සංස්කෘතියක් තුළ එය සීරුවෙන් කථා කළ යුතු මාතෘකාවකි. හැරත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ඇත්තන්ට මේ සම්බන්ධයෙන් දැනෙන තරම් හිසරදයක් අප සමාජයට මෙකී කරුණ සම්බන්ධයෙන් දැනෙන්නේද නැත. අප ක්‍රීඩාව මෙයින් සහමුලින්ම නිදහස් තැනක් යැයි සහතික නොදිය හැකි නමුත් ලොව වෙනත් රටවල් සමග සැසඳීමේදී අප රටේ සංස්කෘතිය විසින් ලබාදුන් සමාජ සුරක්ෂාව ක්‍රීඩාවට ද පොදු බව සත්‍යයකි. මෙම යථාර්ථය තේරුම් ගැනීමට මේ ලක් පොළොවේ පය ගසාගෙන සිටින අයකුට නම් අපහසු නැත. නමුත් ආයුබෝවන් වෙනුවට ‘හායි’ කියන සාමාජිකයන් සිටින ජාතික ඔලිම්පික් කමිටුවෙන් මෙයට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක. ඒ අනුව වරෙක ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා විසින් මෙය ජාතික ඔලිම්පික් කමිටුව නොව විජාතික ඔලිම්පික් කමිටුව ලෙසින් හැඳින්වූ එම වචනවල සත්‍යතාව අදටද වලංගු බව පැහැදිලිය.
ක්‍රීඩාවේ සිදුවන ලිංගික හිංසනයක් වේ නම්, එය සමාජයෙන් සහමුලින්ම වසන් කළ යුතු මාතෘකාවකැයි අපි කිසිසේත් නොකියමු. මෙය අප ආමන්ත්‍රණය කළ යුතු කරුණකි. නමුත් ඒ ආමන්ත්‍රණය ‘හාන්සි නොවී මහන්සි වෙන්න’ වැනි රෙද්ද ලිහාගත් ආකාරයේ වනචාරී ආමන්ත්‍රණයක් නොවිය යුතු බව (වි) ජාතික ඔලිම්පික් කමිටුවට වැටහිය යුතුය ‘ක්‍රීඩාවේ යහපැවැත්ම උදෙසා විනයවත් බව’ නැතහොත් ‘හැම අතින්ම සුරක්ෂිත ක්‍රීඩාවක්’ ආදී සභ්‍ය සහ ‘හිරිකිත’ නැති මාතෘකා ඔස්සේ මෙම කරුණට සීරුවෙන් ආමන්ත්‍රණය කරන අයුරක් ගැන (වි) ජාතික ඔලිම්පික් කමිටුවට නොවැටහුනේ මන්ද?

මෙරට ක්‍රීඩාව උදෙසා ඉටුකිරීමට දහසකුත් එකක් හරාත්මක දෑ තිබියදී යාන්තමින් අමුනාගෙන දුවන ක්‍රීඩාවටත් විනකටින ආකාරයේ මෙවන් දෑ (වි) ජාතික ඔලිම්පික් කමිටුව විසින් සිදුකරද්දී එහි අනුබද්ධිත ක්‍රීඩා සංගම් නිවට නියාළු ස්වරූපයෙන් සිටිනුයේ මන්ද? මේ රටේ ක්‍රීඩාව උදෙසා අධිකාරීත්වයක් ඇති තැන් නොදුටු දෑස්ව සිටිනුයේ මන්ද? බුද්ධිමතුන්ට පමණක් පෙනෙන සළුවක් දරාගෙන සිටිනුයේය යන මනෝවිකාරයෙන් රජතුමා හෙළුවෙන් යද්දී ‘ශා අපූරු ඇඳුම’ යැයි ඒ ගැන වර්ණනා කළ මෝඩ නිවට පණ්ඩියන් ගැන කියවෙන සීතාම්භර කථා වස්තුව සහ (වි)ජාතික ඔලිම්පික් කමිටුවේ මේ විගඩම් ගැන විමසීමට කොන්දක් නැති අය අතර ඇති වෙනස කුමක්ද?
සීතාම්බර සළුවේ මානසිකත්වයෙන් මිදී බැලූ විට පැහැදිලිව පෙනෙනුයේ (වි)ජාතික ඔලිම්පික් කමිටුව විසින් තමන්ට ජාත්‍යන්තරයෙන් ලැබුණු ඩොලර් කුට්ටියක් වාසිදායක ලෙස වියදම් කිරීම පිණිස අටවාගත් මෙම ‘අටමගල’ විසින් ක්‍රීඩාව විෂයෙසි සිදුවන්නේ යැයි කියන ලිංගික හිංසනයන් ලාබ ලැබෙන සේ සීරුවෙන් විකුණන බවකි.

කාමය උදෙසා ගෑණු ශරීර විකුණන ‘ඩීල් එක’ කරන එවුන්ව අප සමාජය විසින් හඳුන්වන්නේ ‘පිංපියන්’ ලෙසින්ය. ලාභය උදෙසා ‘ලිංගික හිංසනය’ විකුණන එවුන් ඇත්නම් උන්ට කියන වචනය කුමක්ද? ‘පිංපියන්’ යන වචනයෙන් පරිභාහිර වෙනත් නමක් හෝ වචනයක් වේ නම් ඒ නම අපට යෝජනා කරන මෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ ඇත්තන් වෙතින් කාරුණිකව ඉල්ලා සිටිමු. ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් හෝ එයට ඉහළ ඇත්තෙකුගේ මැදිහත්වීමෙන් කළ යුතු අවශ්‍යම කරුණ වනුයේ මෙවැනි ‘සීතාම්බර කල්ලියකින්’ ක්‍රීඩාවට වන හිංසනයෙන් ක්‍රීඩාව ගලවාගැනීමය.

ඉන්ද්‍රජිත් සුභසිංහ