කතුවැකි

වෑංජන දෙකක් එක්ක දානේ වළඳන්න ලෑස්තිද?

‘‘රසවාහිනී’’ නම් පුරාණ ග්‍රන්ථයේ කතා වස්තුවක් ගෙන දානයේ ආනිසංස විස්තර කරන භික්ෂූහු මෙසේ වදාරති.

‘‘පිංවත්නි, පුරාණ කාලේ භික්ෂූන් හැට නමක් දඹදිව සිද්ධස්ථාන වන්දනාවේ ගිහින් පිඩුසිඟා වඩිමින් දුර්භීක්ෂයක් නිසා සාගතය පැතිරුණ පැලලුප් නුවරට ආවා. පැලලුප් නුවර පිඩු සිඟා වඩිද්දී එක ගෙදරක දනට පූජා කරන්න බත් ඇටයක, තරම් දෙයක් තිබුණේ නෑ. භික්ෂූන් වහන්සේට අරුණු යැයි කියන්නට ඒ උදවියට සිත් දෙන්නේත් නෑ. මේ ගෙදර ගෙහිමියෝ තමන්ගේ බිලිඳු පුතා මරා උයා භික්ෂූන් වහන්සේට දනට දෙන්ට තීන්දු කළා. ඒ අනුව දරුවාගේ අත තුඹසකට ඔබා නාගයා ලවා දෂ්ට කරවීමට සැලැස්සුවා. නමුත් තුඹසේ උන් නාග රාජයා මේ මහා පිංකමේ ආනුභාවය දැක දරුවා අතේ නාග මාණික්‍යයක් තැබුවා.’’

මේ නම් බුදු හාමුදුරුවන්ගේ ශ්‍රී මුඛ දේශනාවක් නොවේ. එක්තරා ජනාධිපති අපේක්ෂකයකුටත් ශ්‍රී මුඛයක් තිබෙන බව පසුගිය ජනාධිපතිවරණ කාලයේ කියැවුණ බැවින් මේ එබඳු මුවකින් දෙසූවක් විය හැකිය. කෙසේ වෙතත් උපාසක උපාසිකාවන්ගේ බඩ සාගිනි ගැන බත්තුලක්, අබ පිල්ලක්, තරම්වත් නොතකන ඉසින්, කඳින්, බඩින් මහත්ව සසරට බැඳි කණු සේ ඉන්නා භික්ෂූන් අද සේම අතීතයේද වැඩ වාසය කළ බැවින් මෙබඳු බණ කතා අපට පුරුදුය.

කෙසේ වෙතත් ඩබ්ලිව්. ඒ සිල්වා නම් අප මහා නවකතා චක්‍රවර්තිගේ පියාගේ තුන්මසේ දානේ දා මෙම සූත්‍රයෙන් බණ කියූ භික්ෂුවකට එතුමා මෙසේ කී බව කතා රජ කතාව නම් ජීවිත කතාවේ එයි.

‘‘මම නම් ඔය බණ කතාව අහලා තියෙන්නේ වෙන විදියකට. ඔය කියන ගෙදරට පිඬු සිඟා වැඩියා පින් පාට හොඳට මස් වැඩුන භික්ෂුවක්. දරුවා කුස ගින්නේ අඬ අඬා හිටියේ. අර පින්පාට තර භික්ෂුව දැක්ක ගෙහිමියා මන්නයක් අරන් භික්ෂුව මරලා කෑලි කපලා උයලා… ’’

අප මේ කතා දෙක මතක් කරන්නේ පසුගිය සතියේ ඕමල්පේ සෝභිත හාමුදුරුවන් කර තිබූ කාලෝචිත ප්‍රකාශයක් නිසාවෙනි.

‘‘දානෙට වෑංජන දෙකක් ගෙනාවාම ඇති. අතුරුපසත් එපා.’’

හාමුදුරුවන් මේ කියා ඇත්තේ වෑංජන හතරක් පහක් එක්ක කන අයටය. ව්‍යාංජන දෙකක් තබා වේලක් හැර වේලක් පා කර ගන්නටත් දහ අතේ හිතන්නට වී ඇති පවුල් අද අපමණය. ‘‘අතුරුපසත් එපා’’ කිව්වද මේ ර​ටේ අති බහුතරයක් කෑමෙන් පසු බඩේ ඉතිරි අඩ වතුරෙන් පිරවූවා විනා කෑ අතුරුපසක් නැත. සියලු රසමසවුළු පිරී දන් වළඳා අවසානයෙහි තැඹිලි, කෝපි, කිරි, සකුරු, උක්, තල, මිදි, ඇපල් ආදිය ද වළඳා ඒ අන්තයේ දැහැටිද, වැළඳූ භික්ෂූ පරපුරකින් පැවතෙන අපේ හාමුදුරුවෝ අතුරුපසත් එපා කියා ඇත්තේ සංසාර පුරුද්දටය.

සෝභිත හාමුදුරුවන්ගේ මේ සෝභමාන ප්‍රකාශය අගයන අප මේ රටේ සියලු භික්ෂූන් හොඳින් සිව් පසයෙන් සංග්‍රහ ලබනවා යැයි නොසිතිය යුතුය. ඈත පිටිසර ගම්මානවල භික්ෂූන් අතර සිව්පසක් තබා එක පසක්වත් නැති තැන් බොහෝය. උදේ හීලට ගෙදරින් සම්බෝලයක් කොටාගෙන කෙසෙල් කොළයක ඔතාගෙන කඩෙන් පාන් රත්තලක් ගෙන භූමිතෙල් භාගයක්ද සමග පන්සලට ගෙනිහින් දෙන පින්වතුන් පිටිසර පළාතකට ගියහොත් අපට දැකගත හැකිය.

කොළඹ ඇතැම් පන්සල්වල භික්ෂූන් කඨිනය කරන්නේ චාටර් ගුවන් යානයක් ගෙන තම දායක පිරිස් සමග දඹදිව ගොසිනි. අනාගතයේ ඇතැම් පන්සල්වල කඨින පිංකම අවසානයේ හාමුදුරුවන්ට පිරිකරට පුදන්නේ සුඛෝපභෝගී රථයකි. එහෙත් ගම්වල කඨිනය දාට පන්සලේ හදන ‘කප්රුකේ’ එල්ලන්න දායකයන්ට තිබෙන්නේ කොත්තමල්ලි, වෙනිවැල්ගැට, සීනි මුල් ආදියය. කප්රුකේ වුවද ගමේ එල්ලන්නට තිබෙන්නේ දුගීකමේ ලකුණුය.

කොළඹ පන්සල් රජයෙන් ඉල්ලන්නේ අලිය. අලි ගහන පන්සල්වල ඉල්ලන්නේ අලි වෙඩිය. ​කෙසේ වෙතත් මේ වසංගත කාලේ මේ මහේශාක්‍ය පන්සල්වල කරුණා ඇස තම ඈත පළාත්වල අසීරුවෙන් සිව්පසේ සොයා සපයා ගන්නා සහෝදර බුද්ධ පුත්‍රයන් දෙස යොමු වන්නේ නම් එය මහා පින්වන්ත කාරණයකි.

ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ම කියන පරිදි විදේශගත කාන්තාවන් උපයා එවන ඩොලර්වලට වඩා වැඩි විදේශ විනිමයක් ලංකාවට ගෙනෙන්නේ අපේ විදේශගත ධර්මදූත සංග්‍රහවල යෙදෙන භික්ෂූන්ය. ඒ විදේශගත සබඳතා පවතින භික්ෂූන් මෙරටට ගෙන්වන ගෙනෙන මුදල් ගණනය කිරීමක් වෙන්නේ නැත. ඒ ගෙනෙන මුදල් කන්දරාවේ තරම තේරෙන්නේ මේ රටේ ඉදිකර ඇති විශ්වවිද්‍යාල බඳු අධ්‍යාපන ආයතන හා බෞද්ධ මධ්‍යස්ථානවල දෙස බැලීමෙනි.ඒ ගෙනෙන මුදල් දෙස බැලූ විට සිරිපාදෙට, අටමස්ථානෙට, කළුතර බෝධියට වැටෙන්නේ සිල්ලර මුදලකි. විදේශ දානපතියන්ගෙන් නොමඳ සංග්‍රහ ලබන එබඳු භික්ෂූන් ලංකාවේ 5000 ක් වූ භික්ෂු සංඝයාට එකවර දානයද, පිරිකර පන්දහසක්ද පූජා කරති. මෙරට සශ්‍රීකම යුගය වූ අනුරාධපුර යුගයේ මහාපාලි දාන ශාලාවේද එකවර දානය දී ඇත්තේ පන්දහසකටය. ගුවන් යානයෙන් වැඩ මහා යානයෙන්, තන්ත්‍රයානයෙන් වජ්‍රයානයෙන් වේවා මොන යානයෙන් හෝ මේ මෙරටට විදේශ මුදල් ඕනෑ වේලාවකි. මේ යුගයේ සසුන් කෙත අස්වද්දනවාට වඩා පොහොර අර්බුදය නිසා පුරන් වූ කෙත අස්වැද්දීමට මුදල් ඉතා වැදගත් යුගයකි.

ඇතැම් භික්ෂූන් ඉන්නේ මෝල් හිමියන් රකින්නය. මෝල් හිමියන් රකින්නට ආ භික්ෂූන් රටට කන්න නැති මොහොතේ මෙබඳු ප්‍රකාශයක් කළා නම් කොතරම් හොඳද? ඇතැම් හිමිවරුන් ඉන්නේ ගෑස් සමාගම් රකින්නටය. ලිට්රෝ ගෑස් සමාගමෙන් මාසෙකට ලක්ෂ ගණනක දීමනාවක් ගත් හාමුදුරුවන් ගෑස්වලින් බත උයන්නට බැරිව ලතවෙන ගෘහණියන්ගෙන් දානෙ සරල කරන්නැයි කියාවිද?

පන්සල තුළම මෙබඳු මහා ධනපති – නිර්ධන භේදයක් තිබෙද්දී ව්‍යාංජන දෙකක් එක්ක බත් දුන්නොත් ඇතැයි කීම අපට පෙනෙන්නේ විප්ලවීය කීමක් ලෙසය. එහෙත් මේ ව්‍යසන වෙලාවේවත් සෙසු සංඝයා ඊට සාධුකාර දෙන බවක් නැත.