කතුවැකි

වැළලෙනවාද පිච්චෙනවාද? වැදගත් කොයිකද?​

කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් තර්ක විතර්ක මතුවෙන්නට පටන්ගෙන තිබේ. කොරෝනා ආසාදිත මුස්ලිම් ජනතාවගේ මළ සිරුරු ආදාහනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි සිලෝන් තවුහිද් ජමාත් සංවිධානය නිවේදනය කිරීමත් සමගය. මේ සම්බන්ධයෙන් පොදු සමාජය තුළ විරෝධයක් මතු වෙන්නට පටන් ගැනීමත් සමග ආණ්ඩුව එවැනි තීරණයක් ගෙන නැතැයි කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරතිබිණ. මෙයින් පැහැදිලි වන්නේ කොරෝනා ආසාදිත මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානය කරන්නේද,නැතහොත් ආදාහනය කරන්නේද යන්න පිළිබඳ කාරණයද අපේ රටේ බොහෝ කාරණා මෙන්ම ප්‍රස්තුතයෙන් දුරස්ව දේශපාලනීකරණය වීම නිසා අර්බුදයක් බවට පත්ව තිබෙන බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත්තේ කොරෝනා ආසාදිතයකු මියගිය විට ඔහුගේ මළ සිරුර ආදාහනය කිරීම හෝ භූමදානය කළ හැකි බවටය. එහෙත් මින් කුමන ක්‍රමයක් අනුගමනය කරන්නේද යන්න තීරණය කළ යුත්තේ ඒ ඒ රටවල පවතින කාලගුණික, දේශගුණික සාධකයන් අනුව බවද ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී තිබේ. එසේම යම් හෙයකින් භූමදානය කරන්නේ නම් ඒ සඳහා සාමාන්‍ය භූමදානයකදී අනුගමනය කරන පිළිවෙතට වෙනස් පිළිවෙතක් අනුගමනය කළ යුතු බවද එම සංවිධානය පැහැදිලි කර දී තිබේ.

මේ අනුව අප රටද කිසිදු කොරෝනා ආසාදිතයකු මිය යන්නටත් පෙර තීරණය කර තිබුණේ කොරෝනා රෝගියකු මියගිය විටෙක භූමදානය හා ආදාහනය යන ක්‍රම දෙකම අනුගමනය කළ හැකි බවටය. නමුත් පළමු මුස්ලිම් ජාතික කොරෝනා රෝගියා මියයෑමත් සමග මේ තීරණය වෙනස් විය. එතැන් සිට මේ දක්වා එකම මුස්ලිම් ජාතිකයකුගේ හෝ මළ සිරුරු භූමදානය කරන්නට අවසර ලැබී නැත. ඊට හේතු වී ඇත්තේ මළ සිරුරුවලින් ජල මූලාශ්‍රවලට එක්වන වයිරසය මගින් රෝගය පැතිර යා හැකි යැයි යන අදහසය.

මේ හේතු දැක්වීම කොතරම් දුරට සාධාරණ දැයි කල්පනා කළ යුත්තේ අපටත් වඩා ජලාශ්‍රිත රටක් වන මාලදිවයින කොරෝනා මළ සිරුරු භූමදානය කරන බැවිනි. එසේම වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති ඇමරිකාව, බ්‍රසීලය, ස්පාඤ්ඤය වැනි රටවල්ද කොරෝනා මළ සිරුරු භූමදානය කරති.

මේ රටවල එසේ කටයුතු කරන්නේ ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට අනුවය. ඒ නිසා අප රටේද මුස්ලිම් ජාතිකයන්ට තම ආගමික විශ්වාසයට අනුව තම ඥාතීන්ගේ අවසන් කටයුතු කිරීමට අවසර දිය යුතු බව මුස්ලිම් ප්‍රජාව මෙන්ම පොදු සමාජයේ ඇතමකුගේ ද මතය වී තිබේ.

එසේ වුවත් මැලේසියාව, ඉන්දුනීසියාව වැනි අති බහුතරය මුස්ලිම් වන රටවල් කොරෝනා මළ සිරුරු භූමදානය මෙන්ම ආදාහනය කිරීම යන ක්‍රම දෙකටම ඉඩ සලසා තිබීම ගැන මේ අය කතා කරන්නේ නැත. එසේම පසුගිය අප්‍රේල් මාසයේ ඉන්දුනීසියානු ගම්වැසියන් පිරිසක් කොරෝනා මළ සිරුරු දෙකක් තම ගම් ප්‍රදේශයේ භූමදානය කිරීමට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක නිරත වූ බවද වාර්තා වී තිබේ.

ඉස්ලාම් දහමට අනුව මළ සිරුර භූමදානය කළ යුතු යැයි නියමයක් ඇතත් ඉන්දුනීසියානු ගම් වැසියන් එලෙස උද්ඝෝෂණය කරන්නේ තම ආගමික විශ්වාසයට වඩා තමන්ගේ ජීවිත ආරක්ෂාව වැදගත් වන නිසාය. එහෙත් අපේ රටේ සාමාන්‍ය මුස්ලිම් ජනතාව පමණක් නොව උගත්, බුද්ධිමත් මුස්ලිම් වියතුන්ට පවා වැදගත් වී ඇත්තේ රටේ ජනතාවගේ ආරක්ෂාව නොව ආගමික විශ්වාසයයි.

එහෙත් මේ අය රටේ පවතින තත්ත්වය තේරුම් නොගත්තා සේ තම මතයේම එල්බ සිටින්නේ ඇත්තෙන්ම ආගමික විශ්වාසයට ගරු කරන නිසාම දැයි අප කල්පනා කළ යුතුය. ආගමික විශ්වාසයට මුල්තැන දිය යුතු යැයි කල්පනා කරන්නේනම්, මළ සිරුරු භූමදානයට අවසර නොදෙන විට ආණ්ඩුවට බැණ වදිමින් සිටි පිරිස් ආණ්ඩුව ඒ අවසරය දුන් බව ප්‍රකාශ වූ සැණින් ඊට විරුද්ධ පිරිස්වලට කෝචොක් කරන්නේ කෙසේද? ඉන් පෙනී යන්නේ මේ ප්‍රශ්නය හුදු ආගමික විශ්වාසයන්ට ගරු කිරීම, මිය යන කෙනකුගේ ආත්මයට ශාන්තිය දීම යන කාරණා ඉක්මවා දේශපාලන ස්වරූපයක් ගෙන ඇති බවය.

මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමට එරෙහිව කෑගසන අයද එසේ කරන්නේ හුදෙක්ම විද්‍යාව මත පදනම්ව නොව ජාතිවාදය මුසු දේශපාලනය මත පදනම්වය. මේ වන විට කොරෝනා මරණ පනහකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මේ අයගේ අවසන් කටයුතු කළ කිසිදු අයකු මේ දක්වා ආසාදිතයකු වී නැත. එසේම මළ සිරුරකින් වයිරසය ව්‍යාප්ත වී ඇති බවක් මේ දක්වා මළ සිරුරු භූමදානය කරන කිසිදු රටකින් හෝ වාර්තා වී නැත. ඒ නිසා මළ සිරුරකින් වයිරසය පැතිරෙන බවට පවතින මතය සාවද්‍ය බව පිළිගැනීමට අපට සිදු වේ. මළ සිරුරු භූමදානය කරන්නට විරෝධය පළ කරන අය මේ කාරණා නොදන්නේ යැයි පිළිගැනීමට නොහැක්කේ ඒ කඳවුර තුළ ද උගතුන්, බුද්ධිමතුන් හා වියතුන් යැයි කියන අය සිටින බැවිනි.

දෙපාර්ශ්වයේම මේ අගතිගාමී ප්‍රතිපත්ති නිසා සිදුව ඇත්තේ ජාතික ව්‍යසනයක් හමුවේ එක්ව සිටිය යුතු රට ඉතාමත් ප්‍රාථමික ගෝත්‍රික කාරණයක් මුල්කරගෙන බෙදී සිටීමය. උදා වී ඇත්තේ ඒ සියලු වාද භේද පසෙකින් තබා රටත් ජනතාවත් පත්ව සිටින අර්බුදයෙන් ගොඩ එන්නට ක්‍රමයක් කල්පනා කළ යුතු අවස්ථාවකි. අප දැන් ගෙවමින් සිටින්නේ අපගේ හුරුපුරුදු ජීවන රටාවන්, විශ්වාසයන්, ඇදහීම්, පිළිගැනීම් සියල්ල ඵල රහිත බව සනාථ කර තිබෙන ​මොහොතකය. තම තමන්ට අනන්‍ය වූ ආගමික විශ්වාස, සංස්කෘතිය, චාරිත්‍ර වාරිත්‍ර අප කාටත් බොහෝ වටිනා නමුත් ඒ සියල්ලට වඩා මරණය ඉදිරියට පැමිණ ඇති මොහොතකි. එවන් අවස්ථාවක වැදගත්ම කාරණය වන්නේ අන් කිසිවක් නොව ජීවිතයයි. අප කවුරුත් එය තේරුම්ගත යුතුය.

මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන මේ බෙදීම රට තුළ අනවශ්‍ය බෙදීමක්, අර්බුදයක් දක්වා ඔ​ඩු දිවීමට මූලිකව වගකිව යුත්තේ ආණ්ඩුවය. එක්කෝ ආණ්ඩුව තමන් ගත් මුල් ස්ථාවරයේ සිටිය යුතුය. නැත්නම් එම ස්ථාවරය වෙනස් කරන බව සාධාරණ පිළිගත හැකි හේතු සමග ප්‍රකාශ කළ යුතුය. ගඟක මැදකට පීනා පැමිණි පසු කෙසේ හෝ පීනා ගොඩවිය යුතුය. නැතිනම් ආපසු පීනා යා යුතුය. නැතහොත් සිදුවන්නේ ගිලී මිය යාමටය.