පිනි පලස

වැසුණු සිනමාවට මුක්කු ගසන ෆේස්බුක් ගෲප්

සමාජ මාධ්‍ය වෙබ් අඩවි අද වනවිට ලොව පුරා ප්‍රධානතම මාධ්‍යක්ව පවතියි. එය කොතෙක් දුරට ව්‍යාප්තව ඇත්දැයි යන්න පැහැදිලි කරනවා නම් අහම්බෙන් හමුවූවෙකු දුරකථන නාමාවලිය තුළින් සොයා ගන්නවටත් වඩා මුහුණු පොතේ සොයා ගැනීම පහසු වන තත්ත්වයටම පැමිණ තිබේ. ගෙවුණු කොරෝනා අවදානම් මාස කිහිපය හේතුවෙන් අඩියටම ඇද වැටුණු සිනමාව යම් තාක් දුරකට හෝ ඔසවා තබන්නට මෙම සමාජ මාධ්‍ය උපකාරි වූයේය. එහි ප්‍රධානම උපමාව අපට ලැබෙන්නේ දකුණු ඉන්දියාවෙන්ය.

ආසියානු චිත්‍රපට වෙළෙඳපොළේ වැඩිම භාෂා සමූහයකින් චිත්‍රපට නිෂ්පාදනය වන රට වන්නේ ඉන්දියාවයි. භාෂා 30කින් නිර්මාණය වන මෙම චිත්‍රපට 1800ක් පමණ වසරකට නිකුත් වේ. කොරෝනා වයිරසය නිසා මෙවැනි බොහෝ චිත්‍රපට තිරගත කිරීම සඳහා තහංචි වැටුණි. සමාජ මාධ්‍ය එසේත් නැතිනම් මුහුණු පොත ඔස්සේ නිර්මාණය වූ සමූහ තුළින් රංගන ශිල්පීන්ගේ රසිකයන් ඔවුන් ගැන නිරන්තරයෙන් උනන්දු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස විවිධ චිත්‍රපටට උදෙසා, විවිධ නළු නිළියන් උදෙසා සහ විවිධ භාෂාවන් උදෙසා මුහුණු පො​ෙත් සිනමා ගෲෆ් බිහිවිය.

එසේ නිර්මාණය වූ සමූහ ඔස්සේ නළු නිළියන් සහ සිනමාව යාවත්කාලීන කරන්නට සිනමා රසිකයන් උත්සහ දැරීය. මීට අමතරව සිනමාවට සම්බන්ධ මාධ්‍යවේදීන් පවා තම ලිපි, මාධ්‍ය සාකච්ඡා මෙම සමූහ ඔස්සේ ජනගත කළේය. තෝරා ගැනුණු වේදිකාවක සිනමාව සම්බන්ධයෙන් ලියවෙන ලිපි නිසැකවම රසිකයා වැලඳ ගන්නේ ආදරයෙනි.

චිත්‍රපට නිෂ්පාදකයා සහ අධ්‍යක්ෂවරයා මේ සියලු සමූහ ගැන අවදානයෙන් පසුවිය. කොරෝනා අවදානමෙන් ඇද වැටුණු සිනමා කර්මාන්තය වෙනුවෙන් ඔවුහු විකල්පයන් සෙවූහ. ඒ අනුව උචිතම විකල්පය ඔවුන් සොයා ගත්තේය. මුහුණු පොතේ සමූහයන් වෙත චිත්‍රපට මුදා හැරීමට ඔවුන් අවසානයේ තීරණය කළේය. එම සමූහවල මිලියන ගණනින් සාමාජිකයන් සිටියේය. ඒ අනුව ඔවුන්ගේ චිත්‍රපට නරඹන්නන් ගණන දහස් ගණනින් ලක්ෂ ගණනින් ඉහළ ගියේය.
බෙංගාලි (ටොලිවුඩ්), භෝජ්පූර්, බඩගා, බිහාරි, චක්මා (චක්වුඩ්), චට්ටිස්ගාර්හි, ඩෙකනි (ඩෙකන්වුඩ්), ඩොග්රි, ගුජරාටි (ගොලිවුඩ්/ඩොලිවුඩ්), හර්යාන්වි, හින්දි (බොලිවුඩ්), ජාර්කන්ඩි (ජොලිවුඩ්) කාශ්මීරය, කන්නඩ (සඳුන්), කාසි සිනමාව, කොන්කනි, කොස්ලි, කච්චි, මලයාලම් (මොලිවුඩ්), මරාති, මයිටෙයි, ඔඩියා, පන්ජාබි, රාජස්ථාන්, සංස්කෘත, සන්තාලි, දෙමළ (කොලිවුඩ්), තෙළිඟු (ටොලිවුඩ්), ටුලු (වෙරළබඩ) ලෙස භාෂා 30කින් මෙලෙස මුහුණු පොතේ සමූහ (සිනමා ගෲෆ්) නිර්මාණය වී ඇති අතර අද වනවිට එය සිංහල ඉංග්‍රීසි වැනි උපසිරැසි සමගින්ද පෙනෙන්නට තිබීම විශේෂත්වයකි.

නියමිත වේලාවකදී, නියමිත දිනයකදී අදාළ චිත්‍රපටය දර්ශන වාරයක් අරඹන බවට මුහුණුපොත හරහා දැනුවත් කරන චිත්‍රපට අයිතිකරුවන් රසිකයාව එකම වෙලාවක එම දර්ශනය වෙත පොලඹවනු ලබයි. ඒ අනුව ‘රේටින්ග්ස්‘ නමැති ජනප්‍රියත්වය ඔවුන් වෙත ඈඳා ගන්නට චිත්‍රපට අයිතිකරුවන් සමත්ව සිටියි. මෙම චිත්‍රපටවල දර්ශන වාර ඉහළ යත්ම අතිරේක මුදලක්ද ඔවුන් වෙත ‘ෆෙස්බුක්‘ සමාගම ගෙවනු ලබයි. මෙය අද වනවිට ‘යූ ටියුබ්‘ මාධ්‍ය දක්වා ව්‍යාප්ත වී ඇති අතර යම් යම් චැනල ඔස්සේද ඔවුන් මේ වනවිට ලක්ෂ ගණනින් මුදල් ද උපයයි.
මේ වනවිට ගෙවුණු වසරේ යූ ටියුබ් ඔස්සේ වැඩිම පිරිසක් නැරඹූ චිත්‍රපටය වී තිබෙන්නේ ‘සරෙයිනෝඩු’ චිත්‍රපටයයි. තෙලිඟු චිත්‍රපටියක් වන මෙය මිලියන 290කට ආසන්න පිරිසක් නරඹා තිබේ. එය තෙලිඟු නළුවකු වන අල්ලු අර්ජුන් ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපටයක් වන අතර කැතරින් සහ රාකුල් ප්‍රීත් නිළියන් ලෙසින් එම චිත්‍රපටයට දායක වේ.

මෙම වසරේ අන්තර්ජාලය ඔස්සේ වැඩිම පිරිසක් නැරඹූ මලයාලම් චිත්‍රපටය ලෙස ‘ෂයිලොක්‘ චිත්‍රපටය පෙන්වා දිය හැකිය. මමුති සහ රාජ් කිරාන් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටයද අද වනවිට මුහුණුපොතේ ඉහළ ප්‍රේක්ෂක රසාස්වාදයක් ලබා සිටියි. මෙහි ලාභය ඉන්දීය රුපියල් මිලියන 500කි. මෙම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 127ක් අදායම් ලබා තෙලිගු අදායම් වාර්තා අලුත් කර තිබේ.

ගෙවුණු මාස කිහිපය තුළ මෙම මුහුණුපොතේ චිත්‍රපට නැරඹීම ශ්‍රී ලංකාවට ආගමනය වී තිබේ. ශ්‍රී ලංකාවේ චිත්‍රපට තවමත් මෙලෙස මුහුණුපොතේ සමූහයන් අතර සංසරණය නොවන නමුත් ඉන්දියානු සියලුම මාදිලියේ චිත්‍රපට උපසිරැසි සමගින් ප්‍රචාරය වේ.

මාස ගණනකට විවෘත නොවන චිත්‍රපට ශාලාවලට කදිම විකල්පයක් වන මෙය චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට සහ නිෂ්පාදකයන්ට ද අස්වැසිල්ලක්ම වන්නේය.

චතුර රණසිංහ