විශේෂාංග

වැස්සටත් මෙල්ල නොවූ ග්‍රීස්මේ

වර්ෂාව ඇදහැළුණද පසුගිය දිනවල පැවැති ග්‍රීස්මය තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නැත. විදුලි පංකාවක් හෝ වායුසමීකරණයක් අසල නොසිටින්නකුට මෙම තත්ත්වය වඩා හොඳින් අත්දැකිය හැකි වෙයි. වැසි තත්ත්වයක් යටතේ වුව වායුගෝලයේ උෂ්ණත්වය පහත නොවැටීම ඇඟට දැඩි රස්නයක් දැනීමට හේතුවයි. පහත නොවැටෙන එම උෂ්ණත්වය මේ දිනවල පවතින්නේ සෙල්සියස් අංශක 30c – 32c වැනි ඉහළ අගයකය.

මෙලෙස වායුගෝලයේ උණුසුම ඉහළ යාම ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් මුහුණ දෙන ප්‍රධාන පෙළේ ගැටලුවක් බවට ද පත්වී ඇත. මෙය මුළු ලෝකයම දන්නා කාරණයක් වුවත් මේ සඳහා බලපාන පාරිසරික අර්බුදයේ ස්වභාවය තේරුම් ගැනීමට බොහෝ දෙනෙක් අසමත්ව සිටිති.

ඇතැම් පාරිසරික අර්බුද එසේත් නැත්නම් පරිසර විනාශයන් ස්වභාවිකව ඇතිවන අතර ඇතැම් ඒවා මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන අර්බුදයි.

ස්වාභාවිකව ඇතිවන පරිසර විනාශයන් භූමිකම්පා, ජලගැලීම්, සුනාමි, සුළි කුණාටු වැනි තත්ත්වයන්ය. 2004 වර්ෂයේ මුහුණ දීමට වූ සුනාමි ඛේදවාචකය එවැන්නකි. මනුෂ්‍ය ජීවිත දෙලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් එහිදී ලෝකයට අහිමි විය. ශ්‍රී ලංකාවේ පුද්ගලයෝ තිස්දහසකට අධික පිරිසක්ද මෙම සුනාමියට බිලිවූහ. මිනිසාද පාරිසරික සත්ත්වයෙක් වන බැවින් මෙලෙස මිනිසුන් ජීවිතක්ෂයට පත්වීමද පාරිසරික විනාශයකි. ස්වාභාවිකව සිදුවන මෙම පරිසර විනාශයන් සඳහා මිනිසාටද යම් වගකීමක් පැවරෙන අවස්ථා ඇති නමුත් පොදුවේ ගත් කල මෙවැනි පරිසර විනාශයන් ස්වාභාවික විපත් ලෙස පිළිගැනීමට ලක්වෙයි.

ස්වාභාවිකව සිදුවන පරිසර හානියට වඩා වැඩි බලපෑමක් පරිසරයට එල්ල කරන්නේ මිනිසා විසින් සිදුකරන පරිසර හානියයි. ජනාවාසකරණය, වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් වැඩිවීම, මීතෙන් වායුව වැඩිවීම, හරිතාගාර ආශ්‍රිතව නිකුත් වන අහිතකර වායූන්, බලශක්ති භාවිතය, වනාන්තර විනාශය වැනි පරිසරයට වන බලපෑම්වලට වගකිව යුත්තේ මනුෂ්‍ය වර්ගයා වෙයි.

මෙම ක්‍රියාවලීන් අතර වනාන්තර විනාශය පරිසර අර්බුදයට ප්‍රධාන ලෙසට බලපාන සාධකයක් ලෙස ඉස්මතුව තිබේ. 2080 වර්ෂය වන විට යුරෝපයේ වනාන්තර 40%ක් ද 2085 වන විට අප්‍රිකාවේ වනාන්තර 25%ක්ද ලෙස විනාශයට පත්වන බවට පරිසරවේදීහු අනතුරු අඟවති. 1882 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ වනගහනය 82%ක් වූ අතර 1948 වර්ෂයේ සුද්දා අපට රට බාරදෙන විට වන ගණත්වය වූයේ 30%කි. සුද්දාගෙන් රට භාරගත් අපේ ඇත්තෝ වසර 71ක් වැනි කාලයක් ඇතුළත වන ගණත්වය 17% දක්වා පහත හෙළා ගැනීමට සමත් වූවෝ වෙති. ඒ අනුව ලෝකයේ වන වගාවන් විනාශ වීමට ලක්වෙන ප්‍රධාන රටවල් දහස අතරින් 4 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත් කිරීමට අපේ ඇත්තන්ට හැකිවී තිබේ.

1882 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකාවේ වතු වගාව ආරම්භ වීමත් 1960 පමණ ජනපද පිහිටුවීමත්, වාරි යෝජනා ක්‍රමත් වන සංහාරයට ප්‍රබල හේතු කාරණා විය. ජනගහනය වැඩිවීම සහ ඔවුන් වෙනුවෙන් රට සංවර්ධනය කිරීමේ වුවමනාව මත සිදුවූ බව කියන මෙම සංවර්ධන යෝජනා ක්‍රම මෙයට වඩා අවම පරිසර හානියකින් යුතුව ඉටු කිරීමට හැකියාවක් නොතිබුණේ ද යන්න යළි විමසා බැලිය යුතුව තිබේ. මන්ද, ඉහළ බෑවුම් සහිත කඳු භූමිවල තේ වගා කිරීමට සුද්දා ගත් තීරණය හේතුවෙන් කඳු බෑවුම් සෝදා පාළුවට ලක්වීමේ විනාශයට අපට මුහුණපෑමට සිදුවූ හෙයිනි. මහවැලි ගඟේ ජලය අද දක්වාම බොර පැහැයෙන් ගලන්නේ මෙම කඳුමුදුන්වල සාරවත් පස සෝදා දිය කරමිනි. කළු, කැලණි ගංගාවලට කරදිය මුසු වීමද මේ හා සමාන හේතු කාරණා මතම මතු වන පරිසර ගැටලුවකි. පොල්ගොල්ල,

ලුණුගම්වෙහෙර, වෙහෙරගල මෙන්ම උමාඔය ව්‍යාපෘතිද මීට වඩා අවම පරිසර හානියකින් යුතුව සිදු කිරීමට හැකියාව තිබූ බව වාරි ඉංජිනේරුවරුන්ගේ ද අදහස වී තිබේ. පරිසරවේදී ජගත් ගුණවර්ධන පවසන්නේ සංවර්ධන යෝජනා ක්‍රමයන්ට අක්කර දහස් ගණන් කපා විනාශ කිරීම මගින් ශ්‍රී ලංකාවේ වන ගහනය විශාල වශයෙන් විනාශ වූ බවයි. විල්පත්තුවට ඉහළින් පැවැති කැලෑවේ අක්කර 2000ක පමණ මිනිසුන් පදිංචි කිරීමට ගත් තීරණය එම ප්‍රදේශයේ වන වගාව විනාශ වීමට මෑත කාලීනව බලපෑ කාරනයකි. එහෙත් පරිසරවේදීන්ගේ බලපෑම එල්ල වීම හමුවේ. මෙම ප්‍රදේශයේ පවුල් පදිංචි කරවීමට හැකිවී ඇත්තේ 300- 400ක ප්‍රමාණයකි.

විල්පත්තුව හරහා සිලාවතුර දක්වා මාර්ගයක් ඉදිකිරීමට කටයුතු කිරීමද වන වගාව විශාල වශයෙන් විනාශ වීමට බලපෑ කරුණකි. විල්පත්තුව අවට ප්‍රදේශයන්හි වන විනාශය අද දක්වාම දේශපාලන ආශිර්වාදය මධ්‍යයේ සිදුවෙමින් පවතී. සිංහරාජය මැදින් මාර්ගය ඉදිකිරීමට පසුගියදා ගත් උත්සාහයන්ද සුළුවෙන් තැකිය නොහැකිය.

මෙලෙස වන වගාවට අදාළ විනාශයන් පමණක්ම නොව රජය මගින් ගනු ලැබූ වෙනත් බොහෝ තීන්දු තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට එල්ල වූ බලපෑම සුළු පටු නැත. කොළොන්නාවේ කුණු කන්ද ජීවිත ගණනාවක් බිලිගත්තේය. සාමසරකන්ද නායයාමෙන් අවතැන් වූවෝ අදටත් කඳුළු සලමින් සිටිති. රතුපස්වල දී ජීවිතවලින් වන්දි ගෙවීමට ජනතාවට සිදුවිය. මුතුරාජවෙල පාරිසරික ආරක්ෂක කලාපයක් බවට පත්කිරීමට ගැසට් නිවේදන නිකුත් කරන බව කීවද පරිසර අමාත්‍යාංශයේ ඇමැති ධුරය ජනාධිපතිවරයා සතුව තිබෙන මෙම අවස්ථාවේවත් එවැන්නක් ඉටු කර ගැනීමට නොහැකි වී ඇත. අභය භූමියක් ලෙස මුතුරාජවෙල නම් කිරීමට පරිසරවේදීන්ට දුන් පොරොන්දු ද පොරොන්දු පමණක්ම බවට පත්වී තිබේ.

මෙම ලිපිය ආරම්භයේදීම සඳහන් කළ පරිදි පරිසර අර්බුදයේ ස්වරූපය තේරුම් ගැනීමට මෙම සිදුවීම් යම් තරමක් දුරට මග පෙන්වයි. එනම් සැබෑ ලෙසම පරිසරය විනාශ කරමින් තිබෙන්නේ කවුද යන්න හඳුනා ගැනීමය. පරිසර අර්බුදයට බලපාන ස්වාභාවික තත්ත්වයන් සහ මානව ක්‍රියාකාරකම් අතරින් ‘‘මානව ක්‍රියාකාරකම්’’ යන උදෘතය පිළිබඳව අවධානය යොමු කිරීමේදී සැබෑ ලෙසම පරිසරය විනාශ කරන ‘‘මානව ක්‍රියාකාරිකයා’’ වී තිබෙන්නේ දේශපාලන අධිකාරියේ අනුග්‍රහය ලබන බලවතුන්ය.

එසේ නොවන්න කැලෙන් දර කපා ගන්නා මිනිසා, ගොවිතැනට වනය කපා ගිනි තියන ගොවියා මෙන්ම තම ජීවිතය සරිකර ගැනීමට පරිසරය සමග සටන් වදින සාමාන්‍ය ජනතාව පරිසර විනාශයේ වරදකරුවන් නොවේ.

මේ අනුව දේශපාලන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ පරිසර අධිකාරිය සහ මධ්‍යම පරිසර අධිකාරිය පරිසර විනාශයන් වැළැක්වීමට ගනු ලබන ක්‍රියාමාර්ග සැබෑ පරිසර අර්බුදයට කොතෙක් දුරට විසඳුම් ඉදිරිපත් කරයිද යන පැනය ජනතාව ඉදිරියේ පවතී. මීළඟට වනය වෙනුවෙන් පෙනී සිටින ආයතනය වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි. එහි මෙහෙවර ලෙස සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ වනාන්තර හා වනගත පරිසරයන් ආරක්ෂා කිරීම මෙන්ම ව්‍යාප්ත කිරීමයි’’ ඔවුන්ගේ එම මෙහෙවර ඉටුවෙනවාද යන්න ඔවුන් විසින්ම ප්‍රශ්න කරගත යුතු කාලයයි මේ.

ශ්‍රී ලංකාව පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද තත්ත්වය මෙසේමය. පරිසරය සුරැකීම සඳහා විවිධ ලෝක සංවිධාන බිහි වී ඇත. කියුතෝ ගිවිසුම, රියෝ සම්මුතිය, රම්සා සම්මුතිය එවැනි සංවිධාන සහ ආයතන කිහිපයකි. මෙවැනි ආයතන කෙතරම් බිහිව තිබුණත් ලෝක පරිසර අර්බුදයද දිනෙන් දිනම උග්‍ර වෙමින් පවතී. එයට හේතුව වන්නේ ද ලෝක බලධාරීන් පරිසර විනාශයේ අදෘශ්‍යමාන හස්තයක් ලෙස ක්‍රියාත්මක වීමයි.

එවැනි ජාතික සහ ජාත්‍යන්තර තත්ත්වයක් හමුවේ ‘‘පරිසර අර්බුදයද’’ ‘‘ගෝලීය උණුසුම’’ද හුදු මාතෘකාවක්ම පමණක් වනු ඇත.

තුෂාර උඩවත්ත