විශේෂාංග

වැලෙන් වැටුණ ටාසන්

එක්දහස් නවසිය හැත්තෑඑකේ කැරැල්ල තනිකරම තරුණයන්ගේ වැඩකි. ජනතා විමුක්ති පෙරමුණේ නම ප්‍රචලිත නොවූ නිසා ලාංකිකයෝ මේ තරුණයන්ට එදා කීවේ චේගුවේරාකාරයෝ කියාය. චේගුවේරාකාරයෝ ආණ්ඩු බලය ගත්තොත් 60 ට වැඩි නාකින් මරා දමන බව මේ තරුණයන් එපා කරවීමට ආණ්ඩු හිතැත්තෝ රාවයක් ගෙන යාමෙන්ම එය එදා තරුණයන් ගේම කැරැල්ලක් වූ බව පෙනේ.

දේශපාලනය හෙවත් බලය ලබා ගැනීමේ කටයුත්තට ගිජු වූයේ දකුණේ තරුණයන් පමණක් නොවේ. එක්දහස් නවසිය හැත්තෑව දශකයේ ප්‍රභාකරන් ත්‍රස්තවාදයට අත්පොත් තැබුවේ තරුණයන් පිරිසක් සමගය. ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානය ආදී නම් ගැන නොදත් උතුරේ ජනතාව මේ ව්‍යාපාරයේ සාමාජිකයන් හැඳින්වූයේ ‘කොල්ලන්’ නමිනි. මේ තරුණ කැරලි ඒමට පෙරාතුව එදා කොමියුනිස්ට්, සමසමාජ ආදී පක්ෂවල තරුණ සම්මේලන මහා සරු බිම් වී තිබිණ.

එසේ තිබූ ලංකාවේ තරුණයන්ට දේශපාලන පක්ෂ අරහං යැයි කියැවේ. එම නිසාම එළඹෙන මැතිවරණවලදී දේශපාලන පක්ෂවලින් පිටස්තර වෘත්තීයවේදීන් තෝරාගෙන බලයට පත් කිරීමට ඔවුන් සිතන බව කියැවේ. මේ තරුණ පිරිසේ විශ්වාසය දිනාගැනීමට මුලින්ම ඉදිරියට ආවේ රොහාන් පල්ලෙවත්ත නම් ව්‍යාපාරිකයාය.

ලංකාවේ ණය එක දවසෙන් ගෙවා දමන බව ඔහු ප්‍රකාශ කළේ ය. දැවැන්ත ලෙස මුහුණු පොතේ වෙබ් මාධ්‍යවලින් තම ප්‍රචාරක ව්‍යාපෘතිය කරගෙන ගිය ඔහු ධම්මික පෙරේරාගේ ආගමනයත් සමග යට ගියේය.

ධම්මික පෙරේරා නම් දැවැන්ත ව්‍යාපාරිකයා මේ රටේ ප්‍රශ්න විසඳීම කෙරෙහි පළ කළ ව්‍යාපාරික අදහස් බොහෝ ආන්දෝලනාත්මක විය. උතුරේ ප්‍රශ්නය විසඳීමට උතුරේ පොලිස් ස්ථාන සියල්ලටම නිසි පහසුකම් දී පොලිස් නිලධාරින් යොදවන බව ඔහු ප්‍රකාශ කළේ ය. එහෙත් පසුකාලීනව දේශපාලනයේ ඇති වූ කලබගෑනි සමග ඒ නමද යට ගියේය.

මේ දෙදෙනා ප්‍රකට වුවත් තවත් අප්‍රකට දෙදෙනෙක්ද ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. එක් අයෙක් වූයේ අනෝජ් ද සිල්වාය.
අනෝජ් ද සිල්වා තමන් ජනාධිපති වුවහොත් වැසි වස්සවා ඇමෙරිකාව යටකර දමා ඇමෙරිකාව ගෙනෙන ජිනීවා යෝජනාවට විසඳුම් දෙන බව කීවේය. ඒ ප්‍රකාශයත් සමගම පාඨකාදීන්ගෙන් මතුව ආ සිනා හඬ මැද අපේක්ෂකත්වය යට ගියේ ය.

මේ සඳහා ඉදිරිපත් වූ අනෙක් ජනාධිපති අපේක්ෂකයා වූයේ ටියුෂන් ගුරුවරයෙකි. ඔහු ආරක්ෂ
කයන් පිරිවරාගෙන ගමන් බිමන් ගියේය. ඒ ආරක්ෂකයන් මහමඟදී වෑන් රථයකට පහර දීමත් සමග චරිතය යට විය.
මේ සියලු දෙනාට වඩා තරුණයන් අපේක්ෂා දල්වා බලා සිටියේ හිටපු රේගු නිලධාරියකු වූ නාගානන්ද කොඩිතුවක්කු කෙරෙහිය. අවංක බව ඍජු බව, ආදිය ගැන පතළ නමක් ඇත්තෙකු වශයෙන් පෙනී සිටි ඔහු දූෂිතයන්ට එරෙහිව ප්‍රබල හඬක් නැංවූයේය. ජනාධිපති අපේක්ෂකයකු සමග සටනක් දිය හැකි අයකුගේ මට්ටමට ඔහු මුහුණු පොතේත්, වෙබ් මාධ්‍යයේත් ජනප්‍රිය කෙරිණ. එහෙත් රේගු නිලධාරියකු වශයෙන් සිටියදී අල්ලස් ගෙන අත්අඩංගුවට ගත් සිද්ධියකදී ගත් ඡායාරූපයක් සහ ප්‍රවෘත්ති වාර්තාවක් මුහුණු පොතේ සංසරණය වන්නට විය.

ඊළඟට ඔහුගේ නිවසට ගිය ඉරාජ් වීරරත්න නම් මාධ්‍යකරුවා ඔහු කැසීනෝ ගැන දරන අදහස විමසුවේය. ‘‘මම ඊට තරයේ විරුද්ධයි.’’ ඔහුගේ පිළිතුර විය. ඉරාජ් වීරරත්න කළේ නිවසේ කනප්පුව යට තිබූ කැසිනෝ පෙට්ටියක් අතට ගෙන මේ මොකක්දැයි ඇසීමය.

දේශපාලන බලවේගයක් නියෝජනය නොකළ මේ පිරිස අහසට එසවූයේත්, පොළොවට අතහැරියේත් මුහුණුපොතේ තරුණයන්ය. ඔවුන් අල්ලා බිම හෙළුවේත් දේශපාලන පක්ෂ නියෝජිතයන්ට එරෙහි වූ තරුණයන්මය.

දැන් මේ සියල්ලෝ වැලෙන් වැටුණ ටාසන්ලා මෙනි. ගස් මුදුනට පද්දා ඔසවන වැල ටාසන්ට අත හැරුණොත් වන්නේ අසරණව බිම ලගින්නටය.

දේශපාලන බලවේගයක් නියෝජනය නොකරන, එයින් පිටුබලය නොලබන එම බලවේගයට වග නොකියන වෘත්තිකයන්ට ජනාධිපති කිරීමෙන් කවරක් සිද්ධ වේද? එබන්දක් කරන්නට යන තරුණයන්ට වන්නේද වැලෙන් වැටුණ ටාසන්ලා වීමටය.