කතුවැකි

වැඩිපුර ගෙවූ 5000 දුන්න අයගෙන් අය කරගන්නේ නැද්ද?

‘‘පළමු රැල්ලේදී 5000 දෙපාරක් ගත් අයගෙන් නැවත අයකරගනී’’ යනුවෙන් වූ පුවතක් අප පුවත්පත ඊයේ (21 වැනිදා) ප්‍රධාන පුවතක් ලෙස වාර්තා කොට තිබිණි. එහි සඳහන් වූ ආකාරයට කොවිඩ් පළමු රැල්ලේදී අඩු ආදායම්ලාභීන්ට රුපියල් පන්දහසේ දීමනාව ලබා දීමේදී සිදුව ඇති අක්‍රමිකතා නිවැරදි කරන ලෙස රජයේ විගණකාධිපතිවරයා අදාළ අංශවලට දැනුම් දී තිබේ. ඒ අනුව එක්වරකට වඩා රුපියල් පන්දහසේ දීමනාව ලබාගෙන ඇති අයගෙන් වැඩිපුර ලබාගෙන ඇති මුදල යළි ආපසු අයකර ගැනීමට විගණකාධිපතිවරයා උපදෙස් දී ඇත. මේ අනුව ඇතැමකුගෙන් මේ වන විටත් එම මුදල් නැවත අයකර ගෙනද ඇතැයිද අප වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

ආණ්ඩුව අඩු ආදායම්ලාභීන්ට රුපියල් පන්දහසක් ලබා දුන්නේ යළි අයකර නොගන්නා පදනමිනි. ඒ අනුව එය ප්‍රදානයක් හෝ පරිත්‍යාගයක් ලෙස සැලකිය හැකිය. පරිත්‍යාගය, දානය අසරණයන්ට පිහිට වීම උතුම් ගුණයකි. දුන් දේ සුවඳයි – කෑ දේ ගඳයි යනුවෙන් ගැමි වහරේ කියමනක් නිර්මාණය වී ඇත්තේද මේ නිසා විය යුතුයි. මේ ආකාරයට පරිත්‍යාගය, දානය සම්බන්ධයෙන් කියමන් නිර්මාණය වී ඇතත් දුන් දෙයක් ආපසු ගැනීම ගැන එවැනි කියමන් නිර්මාණය වී නැත. දෙන කෙනා දුන් දේ ආපසු ඉල්ලන සිරිතක් නැති නිසා විය යුතුය. මේ නිසා දෙවරක් පන්දහස දී ඇති අයගෙන් යළි අයකර ගැනීම ගැන අපට කීමට ඇත්තේ එය නම් මහත්ම වූ හිඟනකමක් බවය.

දෙන දෙයක් ආපසු ඉල්ලීම මොනතරම් හිඟන වැඩක් වුවත් ආණ්ඩුවට ඒ හිඟන වැඩය කරන්නට හේතුවක් තිබේ. ආණ්ඩුව නිකං දෙන්නේ, ගෙදරින් ගෙනැවිත් නොව ජනතාවගේම මුදල්ය. මේ නිසා නිකං දෙන දෙයක වුවත් ගාණක් මිම්මක් සේම ක්‍රමයක්ද තිබිය යුතුය. වැඩිපුර ගෙවූ අයගෙන් එලෙස වැඩිපුර ගෙවූ මුදල නැවත අයකර ගන්නට තීරණය කිරීමෙන් පැහැදිලි වන්නේ පන්දහස ගෙවීම නිසි ක්‍රමයකට, පිළිවෙළකට සිදු වී නොමැති බවය.

එකම අයට වැඩිපුර ගෙවීම පමණක් නොව රුපියල් පන්දහස ගෙවීමේ වැඩපිළිවෙළ තුළ තවත් අක්‍රමිකතා සිදුවන බව වාර්තා වූයේ ඒ දිනවලමය. මෙම දීමනාව ලැබිය යුතුම අයට පවා එය නොලැබී තිබෙද්දී කිසිම හෙණයක් නැති අය පවා තම තමන්ගේ දේශපාලන හා පෞද්ගලික සම්බන්ධතාවල අනුහසින් රුපියල් පන්දහස ලබාගත් අවස්ථා තිබිණ. එසේම තමන්ගේ ඉල්ලීමකින් හෝ ඇඟවීමකින් තොරව අහසින් පාත්වන්නා සේ රුපියල් පන්දහසේ දීමනාව ලැබුණු අයද සිටිති.

එසේ තිබියදී එකවරකට වඩා පනදහසේ දීමනාව ලබාගත් අයගෙන් පමණක් යළි අයකර ගැනීම අපගේ කල්පනාවට අනුව බලවත් අසාධාරණයකි. පන්දහසේ දීමනාව ලබා දීමේදී සිදුව ඇති අක්‍රමිකතා නිවැරදි කරන්නේ නම්, දෙවරක් ලබාගත් අයගෙන් පමණක් නොව නියමින් හෝ අනියමින් අයුතු ලෙස එක්වරක් හෝ පන්දහසේ දීමනාව ලබාගත් අයගෙන්ද එය යළි අයකරගත යුතුය. ඇත්ත වශයෙන් යළි අයකර ගැනීම එකම ක්‍රමය සේ කල්පනා කරන්නේ නම් පළමුව නැවත අයකර ගන්නට පියවර ගත යුත්තේ තමන්ගේ ඕනෑකමට හෝ අහම්බයක් සේ හෝ අයුතු ලෙස මෙම දීමනාව ලබාගත් අයගෙනි.

රුපියල් පන්දහසේ දීමනාව ලැබීමට සුදුසුකම් නැතත් එය ලබා ගැනීම මෙන්ම සුදුසුකම් ඇතත් දැන හෝ නොදැන එය දෙවරක් ලබා ගැනීමද වරදක් වන බවට තර්කයක් නැත. එහෙත් මේ කිසිවකුත් බලහත්කාරයෙන් තර්ජනය කොට නිලධාරින් බියගන්වා හෝ නිලධාරින් නොදැන හොරෙන් රුපියල් පන්දහස තම තමන්ගේ සාක්කුවලට දමා ගත්තේ නැත. සියල්ල සිදු වූයේ නිලධාරින්ගේ දැනුවත්කම්ද සහිතවය. එක්කෝ නිලධාරින් දැන දැනම සුදුසුකම් නොමැති අයට රුපියල් පන්දහස ගෙවා දැමුවේය. නැතිනම් නොසැලකිල්ල නිසා නොලැබිය යුතු අයටද රුපියල් පන්දහස ලැබුණේය. ක්‍රමය කුමක් වුවත් රුපියල් පන්දහස ගෙවීමේදී සිදුව ඇති අක්‍රමිකතාවන්ට, නිලධාරීන්ද වගකිව යුතුය.

එකවරකට වඩා රුපියල් පන්දහසේ දීමනාව ලබාගත් අයගෙන් යළි අය කිරීමට නිර්දේශ කරන විගණකාධිපතිවරයා වරදේ සම වගකිවයුත්තන් වන නිලධාරින් සම්බන්ධයෙන් දෙන්නේ කුමන නිර්දේශයක්දැයි දැන ගැනීමට අප කැමැතිය. අප කල්පනා කරන ආකාරයට නම් වැඩිපුර මුදල් ලබා ගත් අයගෙන් යළි එම මුදල් අයකර ගන්නට පියවර ගත් ආකාරයට මෙම නිලධාරින්ගෙන්ද මුදල් අයකර ගත යුතු බවය. එහෙත් අතීත අත්දැකීම්ද අනුව මෙම නිලධාරින්ගෙන් මුදල් අයකර ගන්නවා තබා අඩුම වශයෙන් නිදහසට කරුණු විමසීමක් හෝ නොකරන බව සහතිකය.

ඒ බව තවදුරටත් සහතික වන්නේ පන්දහස ගෙවීමේ අක්‍රමිකතාවන්ට වගකිව යුතු දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරුන් කිසිදු විලි ලැජ්ජාවකින් තොරව තමන් විසින්ම වැඩිපුර ගෙවූ අයගෙන් යළි අයකර ගැනීමට කටයුතු කරමින් සිටින නිසාය.

රුපියල් පන්දහස ගෙවීමේදී නොව සෑම රජයේ ව්‍යාපෘතියකම සිදුවන දූෂණ, අක්‍රමිකතා හෝ දුර්වලතා සම්බන්ධයෙන් චෝදනා එල්ලවන්නේ පවතින ආණ්ඩුවට පමණය. නිලධාරින් අතින් සිදුවන වැරදි හෝ අඩුපාඩු පවා බැර වන්නේ ආණ්ඩුවේ ගිණුමටය. දේශපාලකයන් කිසිදු වරදක් නොකරන්නේ යැයි ඉන් අදහස් වන්නේ නැත. අප කියන්නේ රාජ්‍ය යාන්ත්‍රණයේ සිදුවන දූෂණ, වංචා, අක්‍රමිකතාවන්ට දේශපාලකයන් තරමටම නිලධාරින්ද වගකිව යුතු බවය.

සමෘද්ධි ව්‍යාපාරය අසාර්ථක බව ලෝක බැංකුව කියා ඇතැයි කියන පුවතක්ද ඊයේ අප පුවත්පතේ පළව තිබිණ. මේ පුවත දකින ඕනෑම කෙනකුගේ ඔළුවට එන්නේ සමෘද්ධි ව්‍යාපාරය අසාර්ථක වූයේ එය දේශපාලන ව්‍යාපෘතියක් වූ නිසා බවය. ඒ කල්පනාවේ වරදක් නැත. එහෙත් මෙම ව්‍යාපෘතිය අසාර්ථක වන්නට නිලධාරින් කොයිතරමට වගකිව යුතු දැයි කිසිවකු කල්පනා කරන්නේ නැත.

රුපියල් පන්දහසේ දීමනාව නුසුදුස්සන්ට ලබා දුන්නා සේම ආරම්භයේ සිටම නුසුදුස්සන් කොතරම් නම් ප්‍රමාණයකට සමෘද්ධි දීමනා ලබා දී තිබේද? වසරින් වසර සමෘද්ධි ප්‍රතිලාභීන් අඩුවිය යුතු නමුත් එසේ නොවූයේ එම වැඩපිළිවෙළ ඵලදායී එකක් නොවීම නිසාමද, නැතහොත් සමෘද්ධි වැඩසටහන තුළ ආර්ථික ශක්තියක් ලබාගත් අයට තවදුරටත් දීමනා ගෙවීම නිසාද? තමන්ගේ ඡන්ද පදනම රැක ගැනීම සඳහා අවශ්‍ය අනවශ්‍ය හැම කෙනාටම සමෘද්ධිය දෙන්නට දේශපාලකයන් කැමැති නමුත්, එම තත්ත්වය පාලනය කරන්නට නිලධාරින්ට ඉඩක් ඇත්තේම නැතැයි කිව හැකිද?