අතන මෙතන

ව්‍යායාම ගුරුවරයා ගැසූ කනේ පහරින් සිසුවා රෝහලට

තණමල්විල ජාතික පාසලේ 11 වසරේ ඉගෙනුම ලැබූ සිසුවකුට එම විද්‍යාලයේ ශාරීරික ව්‍යායාම ගුරුවරයා කළ පහරදීමකින් ප්‍රතිකාර සඳහා සිසුවා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත.

පසුගියදා එම පාසලේ 10 ශ්‍රේණියේ සිසුන් අතර ගැටුමක් ඇති වී තිබේ. මේ සම්බන්ධයෙන් සොයා බැලීම් සිදුකළ අදාළ පහරදීම සිදුකළ බව කියන ගුරුවරයා මෙම ගැටුමට කිසිදු සම්බන්ධයක් නොමැති 11 වසරේ ඉගෙනුම ලබන ලුණුගම්වෙහෙරේ පදිංචි එච්.ඩබ්ලිව්. නිරාෂ රසාංජන ශිෂ්‍යායට වැරෙන් වම් කනට පහරදී තිබේ. එහිදී අවට සිටි සිසුන් සර් නිරාෂ මේකට සම්බන්ධයක් නැතැයි පැවැසුවද ගුරුවරයා එය කිසිදු තැකීමකට නොගෙන සිසුවාට පහරදී තිබේ.

පහරකෑම හේතුවෙන් දරුවාගේ වම් කනෙහි ඇති වූ සංකූලතා හේතුවෙන් දරුවා ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ. පහර කෑමට ලක් වූ සිසුවා දින කිහිපයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීමෙන් පසු පසුගිය 19 වන දින නිවසට පැමිණ ඇත. නැවත දින කිහිපයකින් රෝහලට පැමිණ පරීක්ෂණ සිදුකරගත යුතු බව වෛද්‍යවරු පවසා තිබේ.

තමන් මෙම පහරදීම සිදුකළ බව කියන ගුරුවරයාගෙන් මේ පිළිබඳ කළ විමසීමේදී ​‘මෙය තමාගේ 10 වැනි පහරදීම බවත්, මෙය මට විරුද්ධව ලියවෙන 10 වන පොලිස් පැමිණිල්ල බවත්, පසුගිය පැමිණිලි නවයෙන්ම තමන් බේරුණු බවත් තමන්ලාටත් පුළුවන් දෙයක් කරලා පෙන්වන’ ලෙස පැවැසූ බව සිසුවාගේ පියා පැවැසීය.

‘දරුවන් වැරදි කරනවා නම් ගුරුවරු හැටියට දඬුවම් කළ යුතුයි. ඒකට අපි විරුද්ධ නෑ. ඒත් දරුවකු වරදක් කළා කියා කන පැලෙන්න ගහන්න ගුරුවරුන්ට හැකියාවක් නෑ. ඒ නිසා මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස මන් වගකිවයුතු පාර්ශ්ව වලින් ඉල්ලනවා.’ යැයි සිසුවාගේ පියා වන රසික චන්දන පැවැසීය. මේ සම්බන්ධයෙන් අප තණමල්විල ජාතික පාසලේ විදුහල්පති එස්.එල්.ඒ. සිරිරත්නගෙන් විමසූ විට මෙසේ පැවැසීය.

‘අපි දරුවන්ට ආදරෙයි. ගුරුවරු දරුවන්ට දඬුවම් කරන්නේ වැරැද්දකටයි. ගුරුවරයකු විසින් කරනු ලබන දඬුවම දරුවට අනාගතයේදී ලොකු වටිනාකමක් වෙනවා. පාසලේ සිසුන් අතර ඇති වූ ගැටුමකට මේ දරුවා මුල්වෙලා තියෙනවා. ඒ නිසා අදාළ ගුරුවරයා දරුවාට දඬුවම් කරලා තියෙනවා. හැබැයි ගුරුවරයා දරුවට කන පැලෙන්න ගැහුවද කියා මන් දන්නේ නෑ. ඒ නිසා මේ ගැන පොලිසිය, කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය පරීක්ෂණයක් පවත්වනවා. විදුහල්පතිවරයා ලෙස මන් දෙමාපියන් ගෙන්වා කරුණු පැහැදිලි කර දුන්නා.’

නුවන් ජයසේකර – මීගහජදුර